දර්ශන තලයෙන් එළියට ගියාම මම සාමාන්‍ය කෙල්ලක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මට නම් හිතාගන්න බෑ මේක දැන් ගෙයක්ද, හිර කූඩුවක්ද කියලා? මෙහෙම කියන්නෙ ගුග්ලි නාට්‍යයේ සුද්දිගෙ චරිතය රඟපාන ඩිලුක්ෂි වීරපෙරුමය. රඟපෑමේ ක්ෂේත්‍රයේදී අනෙක් අයට ගරු කරමින් නිවැරදි ගමනක් යාමට අරමුණු කරගෙන සිටින ඇය පාසල් වේදිකාවේ සිට රංගනයට අවතීර්ණ වූයේ රංගනයට ඇති ආසාව නිසාම යැයි කියයි. මේ විදියට අපට හමුවන මේ ඩිලුක්ෂි වීරපෙරුම සමඟ කළ පිළිසඳරකි මේ.

ඩිලුක්ෂි කවින්ධ්‍යා වීරපෙරුම, මොන නමටද වඩා කැමති?

ඩිලුක්ෂි කියන නම කියන්න. හැමෝම අමතන්නෙ ඒ නමින්.

ඩිලුක්ෂි වීරපෙරුම, ගැන විස්තරයක් කළොත්?

මට ඉන්නෙ අම්මයි, තාත්තයි, අක්කයි. මමයි අක්කයි ඉගෙන ගත්තෙ කොළඹ විශාඛා විද්‍යාලයෙන්. මුලින්ම කලා ක්ෂේත්‍රයට ඇවිත් හිටියෙ අක්කා. එයා අවුරුදු 6 ක් විතර මේ කලා ක්ෂේත්‍රය හිටියා. විවාහයෙන් පසුව එයා අයින් වුණා. අක්කා නිසා තමයි මමත් ක්ෂේත්‍රයට ආවෙ. මගේ ගමන පටන්ගත්තෙ 2016 දි. මගෙ අක්කගෙ නම දෙනුෂ්කා වීරපෙරුම. 2016 දී මගේ පළමු චිත්‍රපටය කළේ. ඒකෙ නම ගෝත්‍ර. තවම තිරගත වුණේ නැහැ.

ඩිලුක්ෂිගෙ ගම?

මම උපන්නෙ බම්බලපිටියෙදි. දැන් අපි පදිංචිය මොරටුව කටුබැද්දෙ.

අම්මා තාත්තා ගැන කිව්වොත්?

අම්මා ආයතන ලේකම්වරියක්. තාත්තා ව්‍යාපාර කරන්නෙ.

ඩිලුක්ෂිට තියෙන අරමුණ මොකක්ද?

ඉස්සර ඉඳලාම මම රංගනයට හරි ආසයි. නර්තන අංශයෙන් අරංගේත්‍රම් පවා කළා. නර්තනය කළේ කලාවට ඇති ආසාව නිසයි. ඩ්‍රාමා විෂය කළෙත්, කලාවට ඇති ලැදියාව නිසාමයි. වේදිකා නාට්‍යවල රඟපාලා සහතික පවා ලැබුවා. පාසලේදි කලා අංශයේදි පැවැත්වූ තරග වලටත් සහභාගි වුණා. ඒ ඔක්කෝම කළේ කවදාහරි ක්ෂේත්‍රයට ඇවිත් දක්ෂ රංගන ශිල්පිනියක වෙන්න ඕනෑය කියන අරමුණ ඇතිවයි. ඒක ලෙහෙසි වුනේ අපෙ අක්කත් මේ ක්ෂේත්‍රයේ හිටපු නිසයි.

අක්කා දෙනුෂ්කා, දැන් මොනවද කරන්නෙ?

අක්කා විවාහකයි. අපේ පවුලේ ව්‍යාපාරවලට සම්බන්ධව කටයුතු කරනවා.

දැන් ඩිලුක්ෂි නර්තනය කරන්නෙ නැද්ද?

පාසල් කාලයේදි වැඩිපුරම කළේ නර්තනය, චන්දන වික්‍රමසිංහ සර් යටතේ ඉගෙන ගෙන සර්ගෙ නර්තන කණ්ඩායම එක්ක ප්‍රසංග වලටත් දායක වුණා. දැන් හැබැයි අඩුවෙන්ම කරන්නෙත් නර්තනයයි.

ටෙලිනාට්‍ය රංගනය පටන් ගත්තෙ කොතැනින්ද?

මා ගැන මුලින්ම වැඩිදෙනෙක් කතා කරන්න පටන්ගත්තෙ ලොක්කි නාට්‍යයේ රඟපෑම එක්කයි. ලොක්කිගෙ අනා ගෙ චරිතය නිසා දැනටත් මට මිනිස්සු කතා කරන්නෙ අනා කියලයි. ඒක හාස්‍ය රසය රැගත් චරිතයක්. ඉන්පස්සෙ ධරණි ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඒකෙ චරිතයෙ නම විහංසා.

අද ඩිලුක්ෂි අපට හමුවන්නෙ?

ගුග්ලි නාට්‍යයේ, ඒකෙ සුද්දි. මීට පෙර කළ චරිතවලට වඩා සුද්දි වෙනස්. මීට පෙර මම කළ ඒවා ටිකක් දඟලලා කරපු චරිත. ඒත් සුද්දි ගෙ කතා කරන ශෛලිය පවා වෙනස්. හැබැයි මේ චරිතයටත් ලැබෙන ප්‍රතිචාර හරිම හොඳයි. ඉදිරියේදි ලොක්කි - 2 සහ තවත් නිෂ්පාදන දෙකක රඟපෑමට සූදානමින් ඉන්නෙ. ඊටත් අමතරව දමිත් ෆොන්සේකා මහතාගේ චිත්‍රපටයේ මම චරිතයක් රඟපෑවා. ඒකෙ නම බෆලෝ ට්‍රැවල්ස්. බන්ධු සමරසිංහ මහතා සමග කාන්තා චරිතය එහි රඟපාන්නෙ මම. ඒ වගේ පුළුල් තිරයක දකින්න ලැබීම මට ලොකුම ලොකු සතුටක්.

ඩිලුක්ෂිට ව්‍යාපාර කරන්න ආසා නැද්ද?

මම වැඩියෙන්ම ආසා කරන්නෙ රඟපෑමේ විෂයට. මිනිස්සු ගොඩක් ආදරය කරන ක්ෂේත්‍රයක්. ඒ වගේම මාත් හරියට රෙස්පෙක්ට් කරන අංශයක්. රංගනය ගැන මට බොහෝ දේ ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේම මම රංගනය කවදාවත් අත්හරින්නෙ නැහැ. ඒ හැර මට තව අරමුණු තියෙනවා. ඒ අරමුණුවලට ගියත්, රංගනය මම අත්හරින්නෙ නැහැ. රංගනයට ආසා නිසාම තමයි ඒ ගැන ඉගෙනීමටත් උනන්දු වෙන්නෙ.

රඟපෑමට මෙච්චර උනන්දු ආසාව නිසාද? නැත්නම්, ජනප්‍රියත්වයට කැමති නිසාද?

මට ජනප්‍රිය වෙන්න නම් කිසිම ආසාවක් නැහැ. ජනතාවගෙ ප්‍රියත්වය ලැබෙන එක පිනක්. ඒත් මම ඒ මත්තෙම හඹා යන කෙනෙක් නම් නෙවෙයි. කවදාහරි දවසක දක්ෂතම ශිල්පිණිය කියන සම්මානය දක්වා යන්න ආසයි. ඇක්ෂන් කට් කියන දර්ශන තලයෙන් එළියට ගියාම මම සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍ය චරිතයක්. පාරක මග තොටක සාප්පුවකට ගියාම මිනිස්සු මා දිහා බලද්දි තමයි මට තේරෙන්නෙ මම රඟපානවා නේද කියලා. මොකද මම නිළිය කියන චරිතය ඔළුවෙ තියාගෙන යන කෙනෙක් නෙවෙයි. ජනප්‍රියවීමේ උණක් මට නැහැ. ජනතාවගේ ප්‍රියතාවය එක්ක සම්මානයක් ලබාගැනීමට අරමුණු කරගෙන යන ගමනක්.

කතා කරද්දි ඩිලුක්ෂි අනෙක් අයට කතා කරන්න ඉඩක් නොදෙන තරමට වේගවත්ලු? ඒ කියන්නෙ එක දිගට කතා කරන කෙනෙක්? එහෙම නේද?

අනේමන්දා මට ඒ ගැන යාළුවොත් කියනවා. ඒක මට පවුලෙන් එන දෙයක් වෙන්න ඇති.

ගෙදරදි කොහොමද හැසිරීම?

විනෝදයෙන් ඉන්න ආසයි. මට ඉන්නෙ ඉතාම සීමිත යාළුවෝ ටිකක්. එයාලා එක්ක කාලය ගත කරන්න ආසයි. ළඟකදිත් අපි මෙරිගෝ රවුන්ඩ් ගියා. අපි ටිකදෙනා එකතුවුණාම ඒ විදියයි. ඒ හැරුණම මම වැඩියෙන්ම ආසා කරන්නෙ තනියම මගේ කාමරේට වෙලා ඉන්න. මට හිතෙන විදියට මම හරිම සංවේදී චරිතයක්. පොඩිදේටත් ඉක්මණට දුක හිතෙන කෙනෙක්. ඒත් මම නිතරම කෑගහල දුවලා පැනලා නටලා ඉන්න නිසා සමහර අය හිතන්නෙ මම හරියට කොල්ලෙක් වගේ විසේකාර කෙල්ලෙක් වෙන්නැති කියලයි. ඒත් මම එහෙම නැහැ. මගේ සංවේදීකම මම බාහිර ලෝකයට පෙන්වන්නෙ නැහැ.

හොඳම යාළුවො ගැන කිව්වනෙ, කවුද ඒ අය?

ටෙහානි ඉමාරා සහ සචිනි දිල්හාරා. ටෙහානි සහ සචිනිට මම නොකියන දෙයක් නැති තරම්. අම්මට වගේම මගේ සෑම දෙයක් ගැනම මම කියන්නෙ ඒ දෙන්නට. ඒ යාළුවෝ එක්ක ඉන්නකොට මට දැනෙන්නෙ ලොකු සැහැල්ලුවක්.

පැරණි ගී අහන්න හරි ආසලු නේද?

පැරණි ශාස්ත්‍රීය ගීත අහන්න හරි ආසයි. මගේ යාළුවො ඒ ගැන පුදුම වෙනවා. අද කාලයේ ගීතත් අහනවා. බයිලා පැත්තට නැතත් වඩා කැමති ශාස්ත්‍රීය පැත්තට.

ප්‍රියතම ගායිකාව?

මගේ හොඳම යාළුවා ටෙහානි ඉමාරාට තමයි. ඒ හැර උමාරියාගෙ ගීත වලටත් ආසයි. සනුකගෙ සහ බාචි සුසාන්ගෙ ගීතවලටත් හරිම ආසයි.

හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංගට ඇයි කැමති? එයා ප්‍රියතම ක්‍රීඩකයාලු නේද?

අපට ලෝක කුසලානය දිනා දුන් නායකයනෙ. එයාලා ක්‍රීඩා කළ පැරණි මැච් බලන්න බලන්න ආසයි. එතුමා අද අපේ පවුලේ ඥාතීන්. මොකද මගේ අක්කා දෙනුෂ්කා විවාහ වෙලා ඉන්නෙ අර්ජුණ රණතුංග මහතාගේ පුතා සමගයි.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ