දෙපැත්තම බැලන්ස් කරගෙන යන්න පුලුවන්නම් තමයි හොඳ ගායිකාවක් වෙන්නේ
ෆැෂන් එකම තිබුනාට ඒක මදි මොනා හරි පසුබිමක් තියන්නත් ඕනේ
කුඩා කල සිටම සංගීත අධ්‍යාපනයක් ලබමින් සංගීත ක්ෂේත්රයේ ඉදිරියට පැමිණි ඇය මේ වන විට සයිබර් අවකාශයේ බොහෝ රසික පිරිසකගේ අවධානය දිනා ගැනීමටද සමත්ව තිබේ. ඒ ඇය විසින් අන්තර්ජාලයට යොමු කරන ලද ඇගේ පළමු ගීතය වන 'නුඹත් එක්ක' නම් ගීතය හරහා මෙන්ම සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම ගීත ගායනයට ඇති හැකියාව නිසාය. සංගීත ක්ෂේත්‍රෙය් දිගු ගමනක් යාමට අදහස් කරමින් සිටින ඇය නමින් අමා ජයසිංහ නම් වන අතර, මේ වන විට තම උසස් අධ්‍යාපන කටයුතු සිදුකරමින් යන අතරම සංගීත ගුරුවරියක් ලෙසින් කුඩා දරුවන් පුහුණු කරමින් ද සිටියි. මේ ඇය සමග සම්මුඛව සිදුකල සාකච්ඡාවකදී ඇගේ සංගීත ගමන පිලිබඳ දැක්වූ අදහස් කිහිපයකි.
ඔබ ගැන පොඩි හැඳින්වීමක් කලොත්
ඇත්තෙන්ම මම පොඩි කාලේ ඉඳන්ම සංගීතයට නැඹුරු වුන කෙනෙක් එතැනදි බටහිර සංගීතයට තමයි මම ගොඩක් නැඹුරු වුනේ. ඒ වගේම අවුරුදු 7 ඉඳලා තමයි මම මගේ ආරම්භය ටික ටික පටන් ගත්තේ. මගේ පාසල විශාඛා විද්‍යාලය මම පාසල් කාලයේදීත් ගීත ගායනා කරලා තියනවා. ඒ වගේම පාසල් ගායන කණ්ඩායමේ නායිකාව විදිහටත් වැඩකටයුතු කලා. ඒ වගේම පාසල් නාට්‍යවලත් රඟපාලා තියනවා. මේ වෙනකොට මගේම ගීතයක් නිර්මාණය කරලා තියනවා. ඒ වගේම දැනට නාට්‍ය වලත් රඟපානවා එතනදි ඉංගීසි තියටර් වලට තමා ගොඩක්ම නැඹුරු වුනේ. ඒ වගේම මේ වෙනකොට සංගීත ගුරුවරියක් විදිහටත් පාර්ට් ටයිම් මම වැඩ කරමින් ඉන්නවා සහ උසස් අධ්‍යාපනයත් ලබමින් ඉන්නවා එතනදි මම වෙනම ක්ෂේත්රයක තමයි අධ්‍යාපනය හදාරන්නේ ඉතිං මම මේ දෙකම සමබරව කරමින් මගේ වැඩ කරගෙන යනවා.
ගායිකාවක් වෙන්න කුඩා කාලයේ ඉඳලාම ආශාවක් තිබුනාද ?
ඔව්, ආශාවක් තිබුනා, ඒක තවමත් තියනවා. මගේ සීයා ගත්තොත් ඔහු නිමල් ජයසිංහ. ඔහු රංගන ශිල්පියෙක්. මගේ මගේ තාත්තා පසන් ජයසිංහ, ඔහුත් කුඩා කාලයේ රංගනයෙන් ගායනයෙන් දායක වෙලා තියෙනවා. ඉතිං රංගනය සම්බන්ධව ඒ ආභාෂයත් මට පවුලෙන්ම තියනවා ඒ වගේම ඒ වගේම මගේ එකම සහෝදරයා, ඔහුත් දක්ශ ලෙස පියානෝව වාදනය කරනවා. ඒ නිසා පවුල් පරිසරයේදි පොඩි කාලේ ඉඳන්ම තමයි මට මේ ආශාව ආවේ.
ඔබ මේ වෙනවිට ඔබගේම ගීතයක් නිර්මාණය කරලා තියනවා ඒ ගැන කියුවොත් ?
ඔව්, 'නුඹත් එන්න' කියලා මම ගීතයක් සහ එහි රෑප රචනයක් පසුගිය සැප්තැම්බර් මාසයේදී එළිදැක්වුවා. එහි පද රචනයෙන් මනුරගං විජේසේකර, තනු නිර්මාණය ලහිරු පෙරේරා, සංගීතය තිසල් රන්දුනු. ඒ වගේම රෑප රචනය සඳහා සන්දේශ් බණ්ඩාර දායක්වය දැක්වුවා.
කොහොමද ගීතයට ලැබුණු ප්‍රතිචාර ?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා, ඒ නිසාම ITN චාට් ශෝ එකේදි මගේ සින්දුව පලමු තැනට ආවා. ඒ වගේම රේඩියෝ නාලිකා වලත් ගීතය ප්‍රචාරය වුනා. ගොඩාක් අය ඒ සින්දුවට කැමති වෙලා තිබුනා ඒ වගේම ලඟදි මම ප්‍රසංගයකට ගිහින් මේ සින්දුව කියුවාට පස්සේ ඒ ප්රේක්ෂකාගාරයත් ඒ සින්දුව කියන්න පටන් ගත්තා. එතකොට මට තේරුණා මගේ සින්දුව එතනටත් ගිහින් තියන්නේ කියලා. ඒ ගැන ඇත්තටම මට ගොඩක් සතුටුයි.
ගීතයත් එක්ක මේ වෙනකොට ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවාද ?
ඔව්, ආරාධනා ලැබෙනවා. සිංහල සහ ඉංග්‍රීසි භාශා දෙකෙන්ම අවස්ථාව පරිදි මම ගායනයේ යෙදෙනවා. ඉතිං ඒ අවස්ථා වලදි මට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබිලා තියනවා.
සංගීත ක්ෂේත්‍රෙයන් ඉදිරියට යන්න බලාපොරාත්තු වෙනවානම් බටහිර සංගීතයට වැඩිපුර කැමති?
දෙපැත්තෙන්ම යන්න කැමතියි. මොකද ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රෙය් වැඩ කරද්දි සිංහලෙන් තමයි ඉස්සරයට යන්න පුලුවන් වෙන්නේ. හැබැයි මට ආශාවක් තියනවා ඉංග්‍රීසි ක්ෂේත්රයෙනුත් ඉස්සරහට යන්න. මොකද මට දෙපැත්තම බැලන්ස් කරගෙන යන්න පුලුවන්නම් තමයි හොඳ ගායිකාවක් වෙන්න පුලුවන්.
ගායිකාවක් විදිහට ඉදිරියට යනවානම් ගෘහස්ත ප්‍රසංගද වඩා කැමති එලිමහන් ප්‍රසංගද ?
මම ගොඩක් කැමති ගෘහස්ථ ප්‍රසංගවලට මොකද මම හිතන්නේ එලිමහන් ප්‍රසංගවලට වඩා ගෘහස්ථ ප්රසංගවලදි මට හොඳට ප්‍රෙක්ෂකාගාරයට ඒක ඉදිරිපත් කරන්න පුලුවන්. නමුත් එලිමහන් ප්‍රසංග කියලා ප්‍රශ්ණයක් නෑ නමුත් වැඩිපුර කැමති ගෘහස්ථ ප්‍රසංගවලට.
පවුලේ තොරතුරු ගැන කියුවොත් ?
ඔව්, මගේ අම්මායි, අප්පච්චියි ඒ වගේම මගේ සීයායි ආච්චියිත් ඉන්නවා සහ මට වැඩිමහල් සහෝදරයෙකුත් ඉන්නවා එයා මේ දවස් වල ඔස්ට්‍රේලියා වල ඉන්නේ ඒ වගේම මට පොඩි බලු පැටියෙකුත් ඉන්නවා.
පවුලේ අයගෙන් කොහොමද ඔයාට ලැබෙන සහයෝගය ?
ඇත්තටම මගේ පවුලෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා. සංගීත වැඩ කටයුතු වලට විතරක් නෙවෙයි, මගේ අධ්‍යාපන කටයුතු අතුලු සෑම දේකදිම ලැබෙන සහයෝගය ඉතා විශාලයි. අම්මායි අප්පච්චියි ගත්තොත් මම හිතන්නේ මටත් වඩා මට සපෝර්ට් කරන්නේ ඒ දෙන්නා. මොකද ඕන වෙලාවක කොන්සර්ට් එකක් තියනවානම් ඒ ගොල්ලෝ මට මාර් සපෝටිව්. ඒ වගේම ඕන වෙලාවක මට ඕන දේ අරන් දෙනවා. ඒ ඔක්කොම අවශ්‍යතා ඒ ගොල්ලෝ මට පොඩි කාලේ ඉඳන්ම අරන් දෙනවා.
මෑතකදි ඔබ සහභාගී වූ මංචි කොමේ වැඩසටහනට සමග සම්බන්ද වුනේ කොහොමද?
මට ඒක හම්බුනේ නිසල් කල්දේරා මහත්මා හරහා. ඒ ගිය අවුරුද්දේ තිබුණ ප්රසංගයකදි. ඒකෙදි ඒ වැඩසටහනට මාව සම්බන්ද කරගත්තේ නාද සංගීත කණ්ඩායමමයි.
සංගීත ක්ෂේත්‍රෙය් ඉන්න අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
විශේෂයෙන් නිසල් කල්දේරා මහතාව විශේෂයෙන් මතක් කරන්න ඕන. එතුමා මං ගැන විශ්වාසය තියලා මට පසුගිය අවුරැද්දේ තිබුනු 'Dream fest' ප්‍රසංගයට ගීත ගැයිම සදහා ආරාධනා කරා. ඒ හරහා සංගීත ක්ෂේත්රයේ යම් පිරිසක් මාව හඳුනා ගත්තා. %හන්තාන සිහිනේ^ ගීතය සංගීතවත් කල අරැණ ගුණවර්ධන මහතාත් එදින එම ශාලාවේ රැඳී සිට තිබුනා. පසුව මට ඔහුත් සමගත් නිර්මාණ කටයුත්තක් සදහා දායක වීමටද අවස්ථාව ලැබුණා. නාද සංගීත කන්ඩායම මාව අදුන ගත්තෙත් මම හිතන්නේ එදිනමයි. ඊට අමතරව මගේ පලමු සංගීත ගුරැවරයා ආචාර්ය සුමදි සුරවීර සහ එතෙක් මෙතෙක් මට සංගීතය උගන්නපු සෑම ගුරැවරයෙකුටම මම ස්තූති වන්ත වෙනවා.
තරුණ පරපුරේ ගොඩක් අය සංගීත ක්ෂේත්රයට පැමිණෙමින් තිබෙනවා. ඔබ හිතනවාද සංගීතය පිලිබඳ යම් හැදැරීමක් මේ අයට ලැබිය යුතුයි කියලා?
මම නම් හිතන්නේ සංගීතය පිලිබඳව අධ්‍යාපනයක් ලැබීම ගොඩක් හොඳයි ගායකයෙක් විදිහට ඉස්සරහට එනවානම්. මොකද එතකොට මූලික අඩිතාලම එතනින්ම තියනවානේ. රියලිටි ශෝස් වලට ගිහින් එනකොට එතනදිත් මූලික අඩිතාලමක් ලැබෙනවා. ෆැෂන් එකම තිබුනාට ඒක මදි මොනා හරි පසුබිමක් ඕනේ. ඒ කියන්නේ අධ්‍යාපනික හෝ මොකක් හරි පසුබිමක් තියනවානම් තමයි ඉස්සරහට එනවානම් හොඳ. මොකද මම දැන් උගන්වනකොටත් මට තේරෙන්නේ පළමු වතාවට මගේ ගාවට එන අය මුකුත් දන්නේ නැතිව මූලික අදියරේ ඉඳන්ම උගන්වන්න පටන් ගන්නකොට, මාස තුනක් යද්දි ඒ අයට පොඩි අයිඩියා එකක් එනවා මේ සින්දුව කොහොමද කියන්නේ, මේ නෝට් එක කොහොමද පිච් කරන්නේ කියලා. ඒ නිසා මම හිතනවා ෆැෂන් එකත් එක්ක, ඒ ඩ්‍රීම් එකත් එක්ක, අධ්‍යාපනයත් පොඩ්ඩක් ඕන කියලා.
අදහසක් නැද්ද ගීත ඇල්බම් එකක් ඉදිරිපත් කරන්න ?
අදහසක් තියෙනවා. දැනටමත් ගීත දෙකක් සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙන්නේ. තවත් ගීතයක් දැනට කරගෙන යමින් පවතිනවා. ඔක්කම එකතු කරලා ගීත ඇල්බම් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම හරිම කැමතියි කුමන ශෛලියක ගීතයක් වුනත් උසස් රසවින්දනාත්මක ගුණයක් සහිතව මගේ රසිකයන්ට ලබාදෙන්න. ඒ සදහා මම හැකි පමණ උත්සහා දරනවා.