දැනට මම මගේම කියලා ගීත පහක් කරලා තියෙනවා ගීත රූප රචනා දෙකක් එක්ක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගායකයෙක් මෙන්ම තවත් විටෙක රංගන ශිල්පියෙක් ලෙසද කටයුතු කරන කලා ශිල්පියෙකු මෙවර අපට මුණ ගැහුණා. ඔහු නමින් දයානන්ද දේශප්‍රියයි. මේ වනවිට කලා නිර්මාණ රැසක රංගනයෙන් දායක වී ඇති ඔහු මේ වනවිට ගීත කිහිපයක්ද නිකුත් කර තිබේ. ඔහුගේ අලුත්ම ගීතය හිත ඉල්ලන ආදරේ.. ආදරණිය පෙබරවාරි 14 වැනිදා එළිදක්වනු ලැබිය. මේ දිග හැරෙන්නේ අප ඔහු සමග කළ කතා බහයි.

ඔබ දැන් ගායන ශිල්පියෙක්ද එහෙමත් නැත්නම් රංගන ශිල්පියෙක්ද?

ගායනය වගේම රංගනය පැත්තත් නියෝජනය කරන කලා ශිල්පියෙක් විදිහට මාව අඳුන්වනවාට කැමතියි. මොකද, ඔය ක්ෂේත්‍රය දෙකෙන්ම මාව අද බොහෝ දෙනෙක් දන්නවා. ඒ වගේම අඳුනනවා. ඊට අමතරව කලාව පැත්තට දායක වෙන ගමන් මගේම කියලා පොඩි ව්‍යාපාරයකුත් දැනට පවත්වාගෙන යනවා.

ඔබට කලා හැකියාවක් තියෙනවා කියලා තේරුම් ගියේ මොන කාලේද?

පොඩි කාලේම මට තේරුණ දෙයක් තමයි කලාව කියන දේ මගේ ඇඟේ තිබුණා කියලා. පොඩි කාලේ ඉඳලාම මම ගීත ගායනයට ගොඩක් දක්ෂයි. යාළුවෝ ටික එකතු වුණාම ඉතින් ගීතයක් දෙකක් කියලා තමයි ඒ අයගෙන් සමුගන්නේ මම. පොඩි කාලේ ඉඳලාම මම අසංක ප්‍රියමන්ත මහත්මයාගේ ගීතවලට ගොඩක් කැමතියි. ඒකට හේතුව වුණේ ඔහුගේ ගායන හැකියාව මටත් පොඩිවට පිහිටලා තිබුණා නිසා. ඉතින් තෙරේන කාලේ ඉඳලා එතුමාගේ ගීත මම නිතරම වගේ ගායනා කළා.

මොන ක්ෂේත්‍රයක රැඳිලා හිටියත් ඒ ගැන හැදැරීමක් තියෙන්න ඕනා?

ඔව්, මාත් ඒ දේ පිළිගන්නවා. ඒ නිසාම මම නන්දන ලියනගේ, කිර්ති පැස්කුවල්, අනුර විජේසිංහ යන ගුරුවරුන් යටතේ ගායනය සම්බන්ධව ඉගෙන ගත්තා. හැබැයි අදටත් මම ගායනය විතරක් නෙවෙයි රංගනය කියන දේත් ඉගෙන ගනිමින් තමයි මේ ක්ෂේත්‍රවල ඉදිරියට යන්නේ.

දැනට ඔබේ නමින් ගීත කොපමණ ප්‍රමාණයක් එළිදක්වලා තියෙනවාද?

ගීත පහක් විතර දැනට මම නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ගීත රුප රචනා සමග නිකුත් කළ ගීත දෙකකුත් ඒ අතර තියෙනවා. අන්තිමට නිකුත් කළේ හිත ඉල්ලන ආදරේ.. ගීතය.  තව ගීතයක වැඩ කටයුතු නුදුරේම ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා. එම ගීතයටත් රූප රචනාවක් හිත ඉල්ලන ආදරේ ගීතයට රූප රචනාව කළ ප්‍රසාද් හිරන්ත මල්ලි හරහා නිර්මාණය කරන්න මම බලාපොරොත්තුවෙන් සිටිනවා.  මම කලින් නිකුත් කරපු ගීතයක් ගොඩක් අය අතර, ජනප්‍රිය වුණා. වරක් එක්තරා නාලිකාවක තිබුණ ගීත දර්ශකයක ස්ථානයක් පවා දිනාගෙන පුළුවන් වුණා. ඒ වගේම දැන් මම ප්‍රසංග වේදිකාවේ පවා ගීත ගායනා කරනවා.

ගායකයෙක්ට අමතරව ඔබ රංගන ශිල්පියෙක්?

ඔව්, මේ වනවිට මම චිත්‍රපට 20ක් පමණ සහ ටෙලිනාට්‍ය 29කට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. ලංකාවේ ඉන්න උසම රංගන ශිල්පින් අතළොස්සෙන් කෙනෙක් මම. මගේ උඩ අඩි හයයි අඟල් හතරක් වෙනවා. දැනට දායක වුණ නිර්මාණ අතරේ වැඩිපුරම දායක වෙලා තියෙන්නේ පොලිස් නිලධාරින්ගේ චරිත. හැබැයි මම එකිනෙකට වෙනස් විවිධ චරිත රඟපාන්නත් ආසයි.

තවමත් ඔබ තනිකඩව ජිවත් වෙන කෙනෙක්?

ඔව්, තවම විවාහයක් ගැන මගේ අදහසක් නැහැ. හොඳ කෙනෙක් වගේම මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්, කලාවට ආදරය කරන කෙනෙක් ලැබුණොත් බොහෝ විට මම විවාහයක් ගැන හිතයි. බලමු ඉදිරියේදී එහෙම කෙනෙක් මට ලැබෙයිද කියලා.

ආපු ගමන ගැන ඔබ තෘප්තිමත්ද?

ඔව්, මම වසර ගණනාවක් තිස්සේ කලා ක්ෂේත්‍රය තුළ වැඩ කරන කෙනෙක්. ඉතින් මේ ආපු ගමනේදී සතුටු වෙන්නත් දුක් වෙන්නත් කාරණ බොහෝමයක් තියෙනවා. මේ හැම දෙයක්ම මම නිහතමානිව භාරගෙන අද මේ ක්ෂේත්‍රය තුළ මේ දක්වා සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ තැනට එන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ අතර මට මගේ සංගීත ගමන වගේම රංගන ක්ෂේත්‍රයේ ඉදිරියට එන්න අතහිත දුන්න සැමට ස්තුතියි.