දැනට අපි ලංකාව පුරා ප්‍රසංග හැටක් විතර කරලා තියෙනවා
කණ්ඩායම් සංගීත කලාවේ වෙනස් මානයන් සොයා යන අපුරු සංගීත කණ්ඩායමක් අපට මුණ ගැසුණා. ඒ ඩිලා විත් රාවණා සංගීත කණ්ඩායම. කාලයක් තිස්සේ ගමට පමණක් සීමා වී සිටි මෙම සංගීත කණ්ඩායම වර්තමානය වනවිට රටක් හඳුනන සංගීත කණ්ඩායමක් බවටද පත්ව හමාරයි. ඩිලා විත් රාවණා සංගීත කණ්ඩායම මෙහෙය වන්නේ බේස් ගිටාර් වාදන ශිල්පි ඩිල්ශාන් ආරියතිලක. සිය සංගීත කණ්ඩායම ගැන ඔහු කිව්වේ මෙවැන්නකි.
සංගීත කණ්ඩායම ආරම්භ වුණේ 2019 වසරේ සැප්තැම්බර් මාසේ. මමයි මගේ අයියා ධනංජයයි තමයි මේ සංගීත කණ්ඩායම පටන් ගත්තේ. ඊට පස්සේ සමාජ මාධ්‍යයන් හරහා අපි ප්‍රචාරයක් දීලා මේ කණ්ඩායමට තව සාමාජිකයෝ ටිකක් එකතු කරගත්තා. අපේ අවාසනාවටද මන්දා එතකොටම වගේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා රට වහන්න වුණා. ඒ හින්දා පටන් ගත්තු සංගීත කණ්ඩායම පුරුදු පුහුණුවෙන කාමරයට පමණක් සීමා වුණා. පස්සේ කණ්ඩායමේ සාමාජිකයොත් එකිනෙකා අයින් වෙලා ගියා. මම කොහොම හරි ආයෙත් සාමාජිකයෝ එිකක් එකතු කරගෙන මේක නැවතත් 2021 වසරේදී පටන් ගත්තා.
කණ්ඩායම මෙහෙයවන බේස් ගිටාර් ශිල්පි ඩිල්ශාන් ආරියතිලකට අමතරව ලිඩ් ගිටාර් වාදනයෙන් ධනංජය ලක්මාල් එකතු වී සිටිනවා. ඒ එක්කම ඩ්‍රම්ස් වාදනයෙන් අමිල නුවන්, ඔක්ට පැඩ් වාදනයෙන් චමින්ද රත්නායක, කිබෝඩ් වාදනයෙන් සුපුන් බණ්ඩාර, රිදම් ගිටාර් වාදනයෙන් සංඛ රාජාභරණ සහය වෙනවා. ඔවුන්ට අමතරව එරංග මිථුන්, සමිර ලක්මාල්, තිලාන් ජෝර්ජ් කණ්ඩායමේ ඉන්න නිත්‍ය ගායකයන්.
ප්‍රසංගයක් කියලා මුලින්ම අපි සම්බන්ධ වුණේ අපේ ගමේ තිබුණ අවුරුදු උත්සව ප්‍රසංගයකට. අපේ ගම මහනුවර මුරුතලාව, පැලව විජිත මාවත. එතැනින් තමා ඩිලා විත් රාවණා සංගීත කණ්ඩායමේ ආරම්භය සනිටුවහන් වුණේ. වසර තුනකට ආසන්න කාලයක සිට අපි ලංකාව පුරා තිබුණ සංගීත ප්‍රසංග 60කට වඩා වැඩි ප්‍රමාණයකට දැනට දායක වෙලා තියෙනවා. ඊට අමතරව විවාහ මංගල්‍ය උත්සව ප්‍රිය සම්භාෂණ උත්සව බොහෝ ප්‍රමාණයකට අපි සංගීතය සපයලා තියෙනවා.
ඩිලා විත් රාවණා සංගීත කණ්ඩායමේ ගීත කිහිපයක් නුදුරේම නිකුත් කරන්නට සූදානම් කර තිබෙනවා. ඊට අමතරව කණ්ඩායමේ නිත්‍ය ගායකයෙක් ලෙස කටයුතු කරන එරංග මිථුනගේ ආශිර්වාද සොයා.. හා නුරා කැළුමන්.. ගීත දැනට එළිදක්වා තිබෙනවා. සංගීත කණ්ඩායමේ තවත් සාමාජිකයන් කිහිප දෙනෙකුම තමන්ගේම ගීත කිහිපයක් නිකුත් කරන්නට ඉදිරියේදී සැළසුම් කර සිටින බව කණ්ඩායම් නායකයා අප සමග පැවසුවා.
අවසාන වශයෙන් මේ ගමන එන්න අපට උදව් කළ සැම දෙනාටම ස්තුති කරනවා. විශේෂයෙන්ම අපේ කණ්ඩායමේ මාත් ඇතුළු ඉන්න සාමාජිකයන් නම දෙනාට. මේ කණ්ඩායමේ ඉන්නේ සාමාජිකයන් පිරිසක් නෙවෙයි සහෝදරයෝ පිරිසක්. නම දෙනාම තමන් ගැන හිතනවට වඩා කණ්ඩායම ගැන තමයි හිතන්නේ. ඒ හින්දා තමයි වසර දෙකතුනක් තුළදී ඩිලා විත් රාවණා සංගීත කණ්ඩායම මේ තරම් ලොකු දුරක් ඇවිල්ලා තියෙන්නේ. ඒ එක්කම මතක් කරන්න ඕනා අපේ ගමේ අපිත් එක්ක හිටපු හැමෝම. ඔවුන්ගේ උදව් නැත්නම් අද අපි මේ වගේ තැනක නැහැ. නම් නොකීවට සියළුම දෙනාටම මේ වෙලාවේදී හදවතින්ම අපේ ස්තුතිය පුද කර සිටිනවා.
බුද්ධික සේනාධීර