’’දැන් පමා වැඩීද මා’’ ගීතයට ඉන්දියාවෙන් ඉල්ලුමක්! - ප්‍රවීණ සංගීතවේදි තරිඳු ප්‍රියංකර
ප්‍රේමයේ විරාමයේ
මංමුලාව තනිවෙලා
එදා හිත හැදූ කතා
අද නෑසුණේ කිමැයි කියා
නොහිමි හීන අහනවා
දැන් පමා වැඩිද මා
මතක වන වදුල් ගෙවා
ඇවිදමින් සුසුම් හෙළා
ඇහිදිමී අතීතයේ
තැනින් තැන තිබූ සිනා
සංසාරේ හමුවේ නම්
හිමිවෙන්න මතු මගේ වෙලා
හිස් අතින් ඇවිත් සොයා
මහ දුකක් හිතේ දරා
හිස් අතින්ම නුඹ ගියා
මඟ පමාව මගෙ තමා
Q ඒ පද ඇස ගැටෙද්දී කාලෙකට පසු ගීතයක තනු නිමැවීමේ ආසාව හිතට දැනුණෙ කොහොමද?
ඇත්තටම ඒ පද අතරේ මම හුඟාක් වෙලා සැරිසරන්න ඇති කියලා මට හිතෙනවා. මොකක්දෝ හිතට හුරු දැනෙන ගතියක් ඒ ගීතයේ පද අතර මට දැනුණා. උදේශ් ආර්යන් ලිව්ව මහේෂා සඳමාලි ගැයූ ඒ ගීතයේ පද වෙනුවෙන් සංගීතය නිමැවුමේ වගකීම මම හරි ආසාවෙන් බාරගත්තා. අවසානයේදි මම විශ්වාස කරනවා ඒ පද වැල් පපුවටම දැනෙන ගීතයක් බවට පත් වුණා කියලා.
Q සංගීත නිර්මාණයේදී විශේෂයෙන් ඔබ හිතන යම් දෙයක් තියෙනවද?
ඔව්. රැල්ලට නොයන සංගීතවේදියෙක් වෙන්න ඕනෑ කියන එක මම හැමදාම හිතෙනවා. මම හැමතිස්සෙම උත්සාහ කරන්නෙ අලුතින් යමක් නිර්මාණය කරන්න.
Q ඔබ කැමති කවර ආරයේ සංගීතයකටද?
ඇත්තටම මම ආසා පෙරදිග අපරදිග සංගීත සම්මිශ්‍රණයකට. සංගීත සම්මිශ්‍රණයක් තුළින් නිමැවෙන තනු රටා වඩාත් හිතට දැනෙනවා කියලා මට හිතෙනවා. මගේ සංගීත නිර්මාණයන්හිදී බොහෝ විට නිමැවෙන්නෙ එවැනි සංගීත සම්මිශ්‍රිත තනු රටාවන්.
Q තරිඳු ප්‍රියංකර කියන ප්‍රවීණ සංගීතවේදියා ගැන කතා කළ යුතු සුවිශේෂීම කාරණාව තමයි කවදාවත් සංගීත නිර්මාණයක් වෙනුවෙන් රුපියලක්වත් අය නොකරන සංගීතවේදියෙක් වීම. ලෝකයේ සියල්ලම පාහේ හුදෙක් ගනුදෙනු බවට පත්වූ ලෝකයේ මෙතරම් නිර්ලෝභී හිතකින් හිතන්න හිතුවෙ ඇයි?
මගේ වෘත්තිය වෙන දෙයක්. ඒ වෘත්තිය තුළින් ජීවත් වෙන්න අවශ්‍ය මුදල් මම උපයනවා. ඒ උපයන මුදල් මට ජීවත් වෙන්න ඇති. මට ඕනෑ උතුරන්න සල්ලි හොයන්න නෙවෙයි. මගේ අවශ්‍යතා අනුව පහසුවට ජීවත් වෙන්න මුදල් තිබුණම ඇති කියලා හිතන කෙනෙක් මම. ඒ නිසා සංගීතයෙන් උපයන්න මම කවදාවත් හිතුවෙ නෑ. සංගීතය කියන්නෙ මගේ ආදරණීයම විනෝදාංශය. කලාව වගේම සංගීතයත් මම දකින්නෙ දිව්‍යමය දෙයක් විදිහට. ඒ දිව්‍යමය දේට මම හරි ආදරෙයි. සංගීතය ඔස්සේ ලබන තෘප්තිය කවදාවත් මිල කරන්න බැරි දෙයක්. මට මෙතෙනදි වටින්නෙ ඒ තෘප්තිය, සතුට සහ විඳීම පමණයි.
Q ස්ටූඩියෝ එකක් නිර්මාණය කරන්න එංගලන්තයේ ඉඳන් එද්දි ගෙනාපු උපකරණ නිකම් බෙදලා දුන්නෙ ඒ හින්දමද?
ඇත්තටම මම ඒ උපකරණ ගෙනාවෙ ස්ටූඩියො එකක් නිර්මාණය කරන්න තමා. ඒ දවස්වල මගේ වෘත්තිමය කටයුතුත් එක්ක මම හුඟාක් කාර්යබහුල වුණා. මම හිතුවා ඒ උපකරණ මෙය වෘත්තියක් වශයෙන්ම කරන නමුත් ඒ උපකරණ මිලදී ගන්න යම් අපහසුතා මත සිටින අයට දෙන එක වඩා හොඳයි කියලා. ඒ නිසා මම ඒ සියල්ල නොමිලේම පරිත්‍යාග කළා.
Q ඔබ තනු නිමැවූ ගී අතුරින් වඩාත් ශ්‍රාවක ආකර්ෂණය සහ ආදරය දිනාගත් ගීත මොනවද?
අභිෂේකා විමලවීර සහ කරුණාරත්න දිවුල්ගනේ ගයන 'මතක' ගීතය වගේම 'රාත්‍රිය මනරම් කියා' ගීතය හුඟාක් මිනිස්සු අතරට ගියා කියලා මම හිතනවා. කාංචනා අනුරාධි ගැයූ පළමු ගීතය වූ 'අකීකරු පෙම් කතාවක්' ගීතයේ සංගීතය නිර්මාණය කළෙත් මම. ඇත්තටම ඇය ඒ ක්ෂේත්‍රයට පැමිණියේ ඒ ගීතය ඔස්සේ. ඒ ගැන මට සර්ව සතුටක් තියෙනවා. ඒ වගේම කොරෝනා කාලේ මම සංගීතය නිර්මාණය කරපු 'සිදංගනා' ගීතයටත් මම හුඟාක් ආසයි. ඒ ගීතය හුඟාක් ජනප්‍රිය වෙයි කියලා මම හිතුවත් එය එසේ වුණේ නැහැ. කොරෝනා කාලේ මිනිසුන් බහුතරයක් ජීවත් වෙච්ච පීඩාකාරී පසුබිමත් ඊට හේතු වෙන්න ඇති.
Q දැන් පමා වැඩිද මා ගීතය භාෂා හතරකින් නිර්මාණය වීම සුවිශේෂී කාරණයක්. ඔබට එය දැනෙන්නෙ කොහොමද?
මේ ගීතය තනු නිර්මාණය කරපු මුල්ම කාලයේ ඉන්දියානු නිර්මාණවේදියෙක් මට කතා කළා. මේ ගීතය ඔහුට සුවිශේෂී වුණා. ඉන්දියානු භාෂා හතරකින් මේ ගීතය ප්‍රතිනිර්මාණය කරන බව ඔහු පැවසුවා. එය නුදුරේදීම ඒ අයුරින්ම සිදුවේවි. කොහොමත් ඉන්දියානු නිර්මාණවේදීන් සමඟ කටයුතු කිරීමට මට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මින් පෙර අවස්ථාවකදී එවැනි අවස්ථාවක් ලැබුණත් පෞද්ගලික හේතූන් මත මට එය මඟහැරුණා. ඒත් මේ අවස්ථාව මම මඟහරවා ගන්නෙ නෑ.
Q දැන් පමා වැඩිද මා ගීතය ජනගත වෙන්නෙ කවද්ද?
ඒ ගීතය වෙනුවෙන් මියුසික් වීඩියෝ එකත් දැන් කරලා ඉවරයි. ජනවාරි තිස් වැනිදා වෙද්දි ගීතය ජනගත කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නෙ. මේ නිර්මාණය වෙනුවෙන් හිරාන් චන්ද්‍රසේනට සහ ෂෙනාල් මද්දුමගේට මම හදවතින්ම ස්තූතියි කියනවා.
Q ඔබේ සංගීත නිමැවුම් වෙනුවෙන් ලැබුණු ආදරණීයම සහ ඔබට වඩාත් දැනුණු ප්‍රතිචාර මොනවද?
කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගෙන් මට ලොකු ඇගයීමක් ලැබුණා. ගුණදාස කපුගේ, එච්.එම්. ජයවර්ධන වැනි සංගීතවේදීන්ගෙන් පස්සෙ මගේ සංගීත නිර්මාණ ඔහුගේ හිතට වඩාත් දැනුණු බව ඔහු දවසක් කිව්වා. ඒ වගේම ප්‍රවීණ සංගීතවේදියෙකු මෙන්ම ගුරුවරයෙකු වන නිහාල් ගම්හේවා සර් මට දවසක් කිව්වා මම පද ටිකක් දුන්නොත් ඔයා ඒකට සංගීතය දාලා දෙනවද? මම ඔයාගේ සංගීතයට කැමතියි කියලා. ඇත්තටම නිහාල් ගම්හේවා සර් වගේ ප්‍රවීණයෙක්ගෙන් එවැනි ඇගයීමක් ලැබීමත් වාසනාවක්.
I සංජීවිකා
සේයාරූ I සුමුදු හේවාපතිරණ