දිනී ගෙයි මගෙයි අදහස් සමානයි - අපි එකතුවුණාම සිංදු කියනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මිනිස්සු හිනා වෙනවා තමයි. ඒත් නිතරම, හිනාවෙලා ඉන්න මිනිස්සුන්ව දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. සංගීත් සතරසිංහ කියන්නෙ අන්න ඒ වගේ කෙනෙක්. සැම වෙලාවකදීම වගේ එයාගෙ මුහුණෙ තියෙන්නෙ හිනාව කියලා තමයි එයාගේ යාළුවෝ කියන්නෙ. මේ විදියට ජීවිතේට හිනාව මුසු කර ගන්න, සංගීත් සතරසිංහ මේ දිනවල අපට හමුවන්නෙ ‘පාරදිගේ’ නාට්‍යයේ ඩේමියන්ගෙ චරිතය සමගයි. ඊට අමතරව තවත් නිර්මාණ ගොන්නක් එක්ක ඔහු ඉතාම කාර්ය බහුලවී සිටින මොහොතකයි මේ. ඒ කාර්ය බහුලත්වයෙන් මොහොතකට ඈත්වී සුපුරුදු සිනහාව මුහුණේ පුරවාගෙන සංගීත්, සඳැල්ල සමග පිළිසඳරකට එක්වුණේ මෙන්න මේ විදියටයි.

සංගීත්, රංගනය එක්ක මේ විදියට කාර්ය  බහුල වූ නිර්මාණ ගැන සඳහනක් කරන්න කැමතිද?

සිවා අයියගෙ (සිවගුරුනාදන්) අලුත් නාට්‍යයක් වන කී (KEY), චරිත් අයියගෙ චණ්ඩි කුමාරිහාමි, සංජය නිර්මාල් අයියාගේ බී.ටී.එස්. (BTS), විශ්ව අයියාගේ නාට්‍යයේ චරිතයක්. ශනික පෙරේරාගෙ අපේ අම්මා සහ පස් නාට්‍ය නිර්මාණ දෙකේ සහ කලාලය නාට්‍යයේ චරිතයක් රඟපානවා. මේ නාට්‍යය ඔක්කොම ළඟදීම විකාශයට පෙළ ගැසී තියෙන ඒවා. මේ වැඩ කටයුතු සහ මගේ ෆොටෝග්‍රැෆි වැඩ නිසා කාර්ය බහුලව සිටිනවා.

සංගීත් කොහොමද සංගීත්ගෙ ජීවිතේ?

‘ජීවිතේ මල්’

මල්’ වගේ වුණේ මොකක් නිසාද?

මේ සෑම දෙයක්ම නිසා. මොකද මම නිතරම සතුටින් ඉන්න කැමති, හිනාවෙලා ඉන්න කැමති කෙනෙක්. ඉතින් ඒ විදියට ගත කිරීමේ පසුබිම මට හැදිලා තියෙනවා.

ඒකද නිතරම හිනාවෙන්ම ඉන්නෙ?

අනිවාර් යෙන්ම ඔව්.

සංගීත්ගෙ හොඳම යෙහෙළියන් කවුද? රංගන ක්ෂේත්‍රයේ සිටින?

යෙහෙළියන් ගොඩක් නැහැ. මොකද මම මගේ වැඩේ කරලා ඉක්මණට ගෙදර යන කෙනෙක්. එහෙ මෙහෙ කාලය ගත කරන්නෙ නැහැ. හැබැයි මෑතකදි මට හොඳ යාළුවෝ සහ යෙහෙළියො කීප දෙනෙක් හමුවුණා. ඒ අය ඇත්තටම හොඳයි. මට මගේ සිතුම් පැතුම් එක්ක ගැලපෙන මම වගේම හිතන පිරිසක් මට හමුවුණා. ඒ අතරින් දිනී, ඇන්ජි, දෙව්නක, හසිනි, ගත්තාම අපි එකම පිරිසක්, එක සෙට් එකක්. අද මගේ ළඟින්ම ඉන්නෙ මේ ටික දෙනා.

දිනී’ කිව්වෙ?

දිනිති වල්ගම.

එතකොට ‘ඇන්ජි’

කේ. සුජීවාගෙ ලොකු දුව අංජලී.

දිනිති අපට කිව්වේ සංගීත් එයාගේ හොඳම යාළුවෙක් කියලයි. කොහොමද ඒ යාළුකම ඇති වුණේ?

දිනී සහ මම හිරු ඇවිදින් නාට්‍යයට පසුව රඟපෑවෙ සෑහෙන කාලයකට පසුවයි. ඇත්තම කිව්වොත් ඒ දවස්වල දිනීට මාවයි, මට දිනීවයි, දෙන්නට දෙන්නා පේන්න බැහැ. ඒ දිනවල අපි දෙන්නා ඒ විදියයි. පසුව හිරු ටී.වී. එකේ ගිය ‘ෂැඩෝ’ නාට්‍යය රඟපාද්දී තමයි අපි දෙන්නා අතර මිත්‍රත්වයක් පටන් ගත්තෙ. ඊට පසුව දිනී නාට්‍යයක් ලියන්න පටන් ගත්ත. ඒක තමයි සංජය නිර්මාල් අයියා අධ්‍යක්ෂණය කරන BTS ඒක හරි ලස්සන නාට්‍යයක්. ඒකෙ මටත් චරිතයක් ලැබුණා. ඒ විතරක් නෙවෙයි අංජලි, දෙව්නකත් හිටියා. සාමාන්‍යයෙන් නාට්‍යයක් ඉවර වුණාම අපි කරන්නෙ ඉක්මණට ගෙදර යන එකනෙ. නමුත් එහෙම නොවී එකට කාලා බීලා අදහස් හුවමාරු කර ගන්න පුළුවන් පිරිසක් තමයි BTS එක්ක එකතු වුණේ. ඒ තමයි අපි සෙට් එක. ඒ අතරින් දිනීයි මමයි එක වයසේ වගේ. අනිත් තුන්දෙනා අපි දෙන්නට වඩා බාලයි. ඒත් අපි - අපිට හරියට සෙට් වුණා. දිනී සහ මගේ අදහස් බොහෝ දුරට එක හා සමානයි. ඒ නිසා අපි දෙන්නා අතර ඇති වුණේ හොඳ මිත්‍රත්වයක්.

මේ මෑතකදී දිනීගෙ ගෙදරට හොරු පනිද්දි, අපි හතර දෙනා ඩිනර් එකකට ගිහින් හිටියෙ. එදා තමයි පළවෙනි පාරට දිනීගෙ ගෙදර ගියේ. ඉන්පස්සෙ අපි දිනීව තනි කළේ නැහැ. දවස් දෙකක් විතර අපි කට්ටිය දිනීගෙ ගෙදර මුර කළා. පොලිසියෙනුත් ආවා ගියා. අපි කොට්ට දාගෙන බිම නිදා ගත්තෙ. ඒක මහා පුදුමාකාර බැඳීමක් අපි අතර ඇති වුණා. දිගටම තියේවි කියලා මම හිතනවා.

අන්තිමට හොරු අල්ලා ගත්තද?

හොරු නම් අල්ලා ගන්න බැරි වුණා. ඒත් අන්තිමට හොඳ යාළුවො ටිකක් එකතු වුණා.

හැබැයි පේන්නෙ දිනිතියි, සංගීත් අතර මිත්‍රත්වයට එහා ගිය බැඳීමක් ඇති වෙලා වගෙයි?

අනේ එහෙම එකක් නැහැ. අපි හොඳම යාළුවෝ. අපේ යාළුකම හරි ළඟයි. දුරස්ථ නැහැ. අපි අපිට ඉන්න හොඳම යාළුවො සෙට් එකක්.

යාළුවෙක් හැටියට දිනීව සංගීත්ට පේන්නෙ මොන විදියටද?

මාරම කරුණාවන්ත හදවතක් තියෙන කෙල්ලෙක්. එයාව හරියට ඇසුරු කළාම තමයි එයාගෙ හරි ගුනාංග පේන්නෙ. හොඳ යාළුවන්ට පණ වුණත් දෙන තරමේ හරිම හොඳ චරිතයක්. අපි සෙට් එකේ අපේ පවුලේ කෙනෙක් වගෙයි. දිනීගෙ රංගන හැකියාව හොඳටම හඳුනාගෙන එයාව එළියට අරන් තියෙන්නෙ සිවා අයියා තමයි. මම දකින විදියට ඉතා හොඳ රංග පරාසයක් තියෙන කෙනෙක්. ආශාවරී ප්‍රිමියර් එක දවසෙ එයා අපි සෙට් එකත් අරන් ගියා. ඒකෙ එයා රඟපාන චරිතය හරිම වෙනස්. ඊටත් වඩා වෙනස් චරිතයක් එයාගෙ BTS නාට්‍යයෙන් දැක ගන්න පුළුවනි.

ඔය අපූරු යාළුවෝ ටික එකතු වුණාම වැඩිපුර මොනවද කරන්නේ? ඒ වගේම දිනිතිගෙ ඔබ දකින දුර්වලකම මොකක්ද?

අපි එකතු වුණාම වැඩිපුරම කරන්නෙ සිංදු කියන එක තමයි. අනං මනං ඕපා දූප කතා කරන්නෙ නැහැ. අපි අපේ ජීවිතවලට වැදගත් කියලා හිතෙන දේ ගැන තමයි කතා කරන්නේ. දිනිති චරිතයක් විදියට ගත්තාම හොඳ ගුනාංග තියෙන කෙනෙක්. ඒ වගේම පැත්ත ගියත් ඇත්ත කතා කරන කෙළින් කතා කරන කෙනෙක්. කියන්න තියෙන දෙයක් මූණටම කියන කෙනෙක්. මට වුණත් මගේ වැරැද්දක් දැක්කාම, සංගා මේ මේක හදා ගන්න කියලා මූණටම කියන කෙනෙක්. තමන් තමන්ගෙ දේ ස්ව උත්සාහයෙන් කරලා ගොඩනැගී සිටින කෙනෙක් නම් කාටවත් මොකටද ඔළුව පහත් කරන්නෙ? දිනිති අන්න ඒ වගේ කොන්ද පණ තියෙන චරිතයක්. ඒ වගේ ෆොටෝ දාගෙන ප්‍රචාරය නොකළාට නැති බැරි පවුල්වල උදවියට හරියට උදවු කරන කෙනෙක්. ඒත් ඒවා මාධ්‍යයේ කිසිවක එයා ප්‍රචාරය කරන්නෙ නැහැ. ඒ වගේ සමාජ සත්කාර මම ඇස් දෙකෙන් දැකල තියෙනවා. ඉගෙනීමට දක්ෂ දුප්පත් ළමයින්ට එයා හරියට උදව් කරනවා. ඒක එයා මාස් පතා කරන දෙයක්.

හරි දැන් දිනිති ගැන අහලා ඉවරයි. මීළඟට සංගීත් ගැන ආයෙත් කතා කරමු? සංගීත් සංගීත්ගෙ දකින  අඩුපාඩු මොනවද?

මම හිතන්නෙ මම මිනිස්සුන්ට ඕනෑවටත් වඩා ලෙංගතුයි. ඒක මගේ අඩුපාඩුවක්. මොකද කිව්වොත් මගේ හොඳකම නිසා මුහුණ දුන් අපහසුතා තියෙනවා.

සංගීත් ජීවිතයෙ මොන විදියට ඉන්න කැමති කෙනෙක්ද?

සන්තෝෂයෙන් ඉන්න. මානසිකව සතුටින් ඉන්න එක තමයි මගේ ලොකුම දේ. අපි සතුටින් හිටියොත් විතරයි ජීවිතයට සැහැල්ලුවක් දැනෙන්නෙ. වැඩක් හරියට කරන්න පුළුවන් වෙන්නෙ. ඒ නිසා ඒ සතුට තියා ගන්න නම් අපේ ජීවිතවලට සතුට ගෙනෙන්න පුළුවන් මිනිස්සු එක්ක වැඩිපුර අපේ කාලය ගත කරන්න ඕනෑ.

රංගනය විතරද සංගීත්ගෙ වෘත්තිය?

ප්‍රධානව රංගනයේ යෙදෙනවා. ඊට අමතරව ඡායාරූප ශිල්පියෙක්. රංගනය මම දේවත්වයෙන් සළකන දෙයක්. ඊට අමතරව අද වනවිට මම යු ටියුබර් (youtube) කෙනෙක්. ඒකත් නැගලා යනවා. සංගීත් Vlogs ඒකෙ නමයි.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ