දැන් අවුරුදු 15ක් තිස්සේ මම වෙජිටේරියන්
නිලුෂි පවන්යා, මේ දිනවල හමුවන්නෙ නපුරු තැනැත්තියක ලෙසයි. විකාශය කෙරෙන ‘‘දිවිතුරා’’ නාට්‍යයේ ඒ විදියට ඇය හමුවන්නේ ‘‘වින්ඩි’’ නමින්ය. චරිතයේදී පවන්යා එලෙසින් නපුරු වුවද, සැබෑ ජීවිතයේදී නම් ඊට හාත්පස වෙනස් චරිතයකි. බොහෝම අහිංසක කාරුණික සිත් ඇත්තියකි. ඇය කෙතරම් කාරුණික ද යත්, කලකට ඉහතදී මාංශ අනුභවයෙන් ඈත් වූයේ සතුන් මරණවාට ඇති අනුකම්පාව නිසාය. වසර පහළොවක කාලයක සිට ඇය නිර්මාංශ හෙවත් වෙජිටේරියන් වී සිටින්නීය. මේ විදියට නිර්මාංශ වී සිටින පවන්යා, සීලයට මෙන්ම බණ – භාවනාවලට ද බෙහෙවින් සමීපව සිටින රංගන ශිල්පිනියකි. නිර්මාංශ වූ බණට – දහමට ලැදි ඇය අපට ඒ ගැන කොහොමද කියන්නේ බලමු.
නිලුෂි කියන්නද? පවන්යා කියන්නද?
පවන්යා කියන්න.
පවන්යා, සුළඟක් වගේ සෞම්යයිද?
ඔව්. මම මට හිතෙන විදියට සෞම්‍යයි.
පවන්යා, නිර්මාංශ වුණේ කවදා ඉඳලද?
දැන් අවුරුදු 15ක් තිස්සේ මම වෙජිටේරියන්. ඉස්කෝලේ ගිය කාලයේ ඉඳලම මම වෙජිටේරියන්.
ඒකට විශේෂ හේතුවක් තිබුණද?
සත්තු මරණ එක පව් කියලා මට හිතුණා. ප්‍රධාන හේතුව වුණේ ඒක. සාමාන්‍ය පෙළ කළ කාලයේදී තමයි මුලින්ම මම නිර්මාංශ වෙන්න පටන් ගත්තෙ. කිසිම හේතුවක් නැතිව එක්වරම මාංශ අනුභවය නතර කළා.
නිර්මාංශ වූ පසු ඇති වූ වෙනස?
මුලින්ම නම් ටිකක් අපහසු වුණා. මාංශ වර්ග දකිද්දී කෑමට හිත තිබුණෙ. කන්නම ඕනෑ කියන ආසාව තිබුණෙ. පස්සෙ පස්සෙ, ඒ ආසාව එහෙමම නැතුවම ගියා. කොහොමටත් ප්‍රතිපත්තියක් හැටියට මම තීරණයක් ගත්තාම ඒක වෙනස් කරන්න ගියේ නැහැ.
අද එළවළු ව්‍යාංජන උයන – පිහන අවස්ථාවලදි හැඳි පවා වෙනස් කරනවද?
ඔව්, ඔව්. නිර්මාංශ නම් නිර්මාංශ වෙන්න එපායැ. අපේ ගෙදර වෙනම හැඳි වළං පාවිච්චි කරන්නෙ. තාත්තා මුලදි මට කිව්වෙ හාල් මැස්සෙක් හරි කන්න කියලයි. ඒත් මම අදහස අත්හැරියෙ නැහැ.
සම්පූර්ණයෙන්ම නිර්මාංශ වීම නිසා අද දැනෙන වෙනස මොන වගේද?
ශාරීරිකව, මට හිතෙන විදියට සැහැල්ලු බවක් දැනෙනවා. මම පෙරට වඩා සෞඛ්‍ය සම්පන්නයි කියලා හිතෙනවා. මාංශ අනුභව කළ කාලයේදී මම ටිකක් මහතයි, වෙජිටේරියන් වුණාට පස්සෙ හොඳ නම්‍යශීලී රිද්මයක් ඇති වුණා. පොළොස්, හතු වර්ග, සම්බෝල, සෝයා මීට් ඒවා තමයි වැඩිපුර මම ආස.
ෂූටිංවලට ගියාම ප්‍රශ්නයක් නැද්ද?
එතකොට මට වෙනමම වෙජි කෑම එකක් ලැබෙනවා.
සංචාර එහෙම ගියාම?
විදෙස් සංචාරවලට ගියාම ටිකක් අපහසුතා ඇතිවෙනවා. කොරියාවේ ගියාම වෙජිටේරියන් මෙනු එකක් හොයාගන්න අමාරු තරම්. මාංශ තමයි වැඩිපුරම තියෙන්නෙ. වෙජි සුප් එකක් ඉල්ලුවාම මට ලැබුණෙ ගොළුබෙලි සුප් එකක්. ඉතින් ඒ වගේ අවස්ථාවලට නම් මුහුණ දුන්නා සහ මුහුණ දෙන්න වෙනවා.
ශාරීරිකව ගත්තොත් අසනීප එහෙම වුණාම, මාංශ සහිත සුප් වර්ග එහෙම බොන්න කියලා වෛද්‍ය උපදෙස් එහෙම ලැබුණාම?
ප්‍රෝටීන් තියෙන ආහාර ගන්න කියලා තමයි කියන්නෙ. මගේ යාළුවෝ හමුවුණාම කියන්නෙ ඔයාට ඕකෙ ආදීනව තියෙන්නෙ වයසට ගියාම කියලයි.
ඉතින් ඒකෙ ඇත්තක් තියෙනවද? ඒ ගැන හෙව්වද?
මම ඒක විශ්වාස කරන්නෙ නැහැ. මට නම් වෙනසක් දැනෙන්නෙත් නැහැ. මම බොහෝම ක්‍රියාශීලි වගේම නිරෝගිමත්.
පවන්‍යාට, හොඳට ව්‍යාංජන උයන්න පුළුවන්ද?
පුළුවනි. ඕනෑම ව්‍යාංජනයක් හදන්න පුළුවන්. මම වැඩිපුරම ආස සෝයාමීට් හදන්න.
පවන්යා, ගෙදර සුරතල් සතුන් ඇති කරනවා කියලත් ආරංචියි?
අපේ ගෙදර බල්ලො පූසො ඉන්නවා. එයාලා ගෙනාවේ එක්කෝ පාරේ දාලා ගිහින් තිබුණ නිසා. නැත්නම් පන්සලට ගෙනැල්ලා දාලා ගිහින් තිබුණු නිසා. කොවිඩ් කාලයේදී චූටි පූස් පැටියෙක් හිටියා. පහුවදා බලද්දි ඒ පුංචි සතා මැරිලා. මට දුක වාවගන්න බැරුව එදා නම් හොඳටම ඇඬුවා. මගේ එක්කම දැවටි දැවටි හිටියෙ. තාත්තාට කිව්වාම ඒ වගේ පූස් පැටවෙක් එදාම හවස මට ගෙනැල්ලා දුන්නා.
පාටි, උත්සවවලට ගියාම ඒ වෙලාවෙදි පවන්යා කෑම බීම තෝරා ගන්නෙ කොහොමද?
වෙජි තමයි. යාළුවෝ එහෙම දන්නවනෙ මම වෙජි කියලා. ඒ වගේම අවන්හලකට ගියාම ඉතින් කොහොමටත් ඕඩර් කරන්න පුළුවන්නෙ.
ආගම දහමට ලැදි වෙන්න පටන් ගත්තෙ කොයි කාලයේ ඉඳලද?
පොඩි කාලයේ ඉඳලම තමයි. ගමේ පාසලේ ඉඳලම ආ පුරුද්දක්.
ආගමට සමීපව එදා ඉඳලා කළ කී දේ සිහිපත් කළොත්?
කඨින පූජා පින්කම් අපේ ගෙදර කරලා තියෙනවා. කප්රුක් පූජා වගේ ගොඩාක් කරලා තියෙනවා. වෙලාව ලැබුණාම පෝයට සිල් ගන්න ගියා. ඒ සිල් ගන්න එක අදටත් වෙනස් වෙලා නැහැ.
වෙසක් පෝයදාටත් සිල් ගන්නවද?
මේ වෙසක් පෝයදාටත් සිල් ගන්න යනවා.
කොහෙටද සිල් ගන්න යන්නෙ?
සෝම හිමිගෙ පන්සලට. පෝය දවසට වැඩක් තිබුණෙ නැත්නම් අනිවාර්යයෙන් සිල් ගන්න යනවා.
ඒ විදියට සිල් ගන්න ගියාම මිනිස්සු ඔබ හඳුනා ගනිද්දි සිත සංවර කරගන්නෙ කොහොමද?
මිනිස්සු දෙපාරක් හැරිලා බලන්නෙ ඒ මමද කියලයි. ආනේ අපි හිතුවෙත් නැහැ ඒ ඔයා කියලා එයාලා කතා වෙනවා. එයාලා මට ආශිර්වාද කරනවා. ඉතින් ඒවා මට පිහිට වෙනවා.
මේ විදියට ආගම දහමට ලැදිව කටයුතු කිරීම නිසා ජීවිතයට පිහිටවීම් වූ අවස්ථා තියෙනවද?
අනිවාර්යයෙන් ඒ වගේ අවස්ථා තියෙනවා. අනතුරකින් බේරුණු අවස්ථා තියෙනවා. ඒ වගේම සමහර ප්‍රාර්ථනා ඉටු වූ අවස්ථා තියෙනවා. ඒවා ඇත්තටම ආශිර්වාද.
සිල් ගැනීමෙන් ඔබ බලාපොරොත්තු වන්නෙ?
පුදුමාකාර නිදහසක් දැනෙන්නෙ. උදේ 6 සිට සවස 6 දක්වා හරියට කාලසටහනකට අනුව ධර්මය එක්කමනෙ ඉන්නෙ. පිරිත්, ගාථා, භාවනා ඒ සියල්ල එක්ක ඉන්නකොට පුදුම නිදහසක් දැනෙන්නෙ.
ඒ විදියට සිල් ගන්න ගියාම හිත සංවරද?
ඇත්තෙන්ම ඔව්. වෙන දේ ගැන හිත යන්නෙ නැහැ.
සීලය කියලා ඔබ හිතන්නෙ?
මොන දේ කළත් මනසින් අපි ඒ දේ දකින්න ඕනෑ. සාමාන්‍ය මිනිස්සු විදියට මිනිසුන්ට ආසාවන් ඇතිවෙනවා. ගිහියකු ලෙස ලෞකික ජීවිතය ගෙවන විදිය සහ සංයමය ඇතිවෙනවා. තමන්ට ජීවිතයට එන ප්‍රශ්නවලට පවා ශක්තිමත්ව මුහුණ දිය යුතු මනසක් නිර්මාණය වෙනවා. ප්‍රශ්න ආවාම ප්‍රශ්න පස්සෙම මම දුවන්නෙත් නැහැ. ඒ වෙලාවට නිහඬව සිටීම තමයි හොඳම දේ.
පවන්යා, මේ මොහොතේ ඔබගෙ ප්‍රේක්ෂකයින්ට කියන්න තියෙන පණිවුඩය මොකක්ද?
ජීවිතයේ අපි බොහෝ විට අනුන්ව දකින්න උත්සාහ ගන්නෙ. අපි අපිව, නැත්නම් තමන්ව දැකීම තුළ අපට අපව නිවැරදිව තේරුම් ගන්න පුළුවන්. එතකොට අපට වැරදි අඩු පාඩු හදාගන්න පුළුවන්.
සඳුන් ගමගේ