තරුවක් වුණාට තරු ගුණය රැකගන්න හැමෝටම බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ෂිහාන් සමගින් මෙවර සඳැල්ල කවරය හැඩ කරන්නට එකතු වූයේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඇය තනුජි මනිෂිකා බණ්ඩාර. තනුජි සමගිනුත් පුංචි කතාබහක යෙදෙන්නට අපි අමතක කළේ නැහැ. 

තනුජි කලාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා මුලින්ම කියමුද?

ඇත්තටම මම නිරූපණ කලාවට තමයි සම්බන්ධ වෙලා ඉන්නෙ. ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්නට ලැබුණෙ අහම්බයකින් වගේ. මගේ යාළුවෙක්ගේ ෂූට් එකක් හරහා තමයි මම සම්බන්ධ වුණේ. නිරූපණයට සම්බන්ධ වෙන්නට පෙර මම පෞද්ගලික බැංකුවක සේවය කළේ. නමුත් නිරූපණයට සම්බන්ධ වෙන්න ලැබුණම මේ ක්ෂේත්‍රය තුළ නිදහස, මානසික සතුට තියෙනවා කියලා මට දැනුණා. ඒ නිසාම තමයි මේ තුළ රැඳෙන්න මට හිතුණෙ. දැන් මම ෆුල් ටයිම් නිරූපණ කටයුතු තමයි කරගෙන යන්නේ.

නිරූපණය තුළ වැඩිපුර සම්බන්ධ වෙන්නෙ?

වැඩිපුරම බ්‍රයිඩ්ල් මොඩිලින් තමයි කරන්නෙ. ඒ වගේම රැම්ප් මොඩ්ලින් කරනවා. හැමදේම තෝරා බේරාගෙන තමයි කරගෙන යන්නෙ.

රංගනයට එන්න අදහසක් නැද්ද?

ඇත්තටම නැහැ. මොකද මට රඟපාන්න බැහැ. තමන්ට පුළුවන් දේ කරගෙන ඉන්න එකනෙ වැදගත් වෙන්නෙ.

පාසල් වේදිකාවෙවත් අත්දැකීමක් නැද්ද?

පාසල් වේදිකාවෙ අත්දැකීම් තියෙනවා. මොකද මම පාසලේදී විෂයක් විදියට නාට්‍ය හා රංග කලාව ඉගෙනගත්තා. මම ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවෙ O/L දක්වාම වැලිමඩ විජය විද්‍යාලයේ. පසුව A/L කරන්න බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. ඉතින් ඒ පාසල් තුළදී නම් ලබාගත් අත්දැකීම් තියෙනවා.

එහෙනම් රඟපාන්න බැරි නැහැනෙ?

මට හිතෙනවා ලොකු දක්ෂතාවක් නැහැ කියලා. ඉදිරියේදී උත්සාහ කරලා බලමු.

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙද්දි විශේෂයෙන් ගැහැණු ළමයෙකුට ගෙදරින් විරෝධතා එහෙම එල්ල වෙනවනෙ. තනුජිට එහෙම නැද්ද?

අනේ නැහැ. ගෙදර ඉන්නෙ මමයි අම්මයි විතරයි. මට සහෝදර සහෝදරියන් නැහැ. ඇත්තටම අම්මා එහෙම නීති දාන කෙනෙක් නෙමෙයි. පුංචි කාලෙ ඉඳලා කැමති දේවල් කරන්න ඉඩ දීලා තියෙනවා. අම්මගෙ ලොකු විශ්වාසයක් තියෙනවා මම නිවැරැදි දේ තෝරා බේරාගෙන කරන කෙනෙක් කියලා. මේ ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදි අම්මා ගොඩක් පස්සෙන් හිටියා. දැන් මට මගේ ගමන යන්න ඉඩ දීලා තියෙවනවා. හැම දේම තනියෙන් කරගෙන යන්න.

ධනු විජේරත්න / ඡායාරූප - සජීව ලක්ෂාන්