තරගකාරිත්වයක් තියෙනවා නම් හොඳ නිර්මාණ බිහිවෙනවා වැඩියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දැනට ගීත කිහිපයක්ම නිකුත් කර ඇති ගයාෂාන් විරවංශ සමගින් මෙවර අපි කතා බහා කළේමු. මෑතකදී ඔහුගේ අලුත්ම ගීතයක් නිකුත් කළ අතර, ඒ පිළිබඳව හා ඉදිරි නිර්මාණ ගැන ගයාෂාන් අපිට මෙසේ අදහස් දැක්වුවා.

ළඟදී අලුත් ගීතයක් නිකුත් කළා නේද?

අලුත් සින්දුවේ නම "අයි අයියෝ" මේක සුල්තාන් කියන දමිළ චිත්‍රපටයේ තියෙන සින්දුවක සිංහල version එක. මේක ලියුවේ කුමුදුනී වික්‍රමතන්ත්‍රි, සංගීතය හෂාන් චන්දිම, ගිටාර් වාදනයෙන් මේ වැඩේ ලස්සන කරල දුන්නෙ බුද්ධික පෙරේරා අයියා. ඒ වගේම රේකෝඩ් කරලා Mix & Master කළේ ළහිරු කොස්තා.

දැනට ගයාෂාන් ගීත කොපමණ ප්‍රමණයක් නිකුත් එළිදක්වලා තියෙනවාද?

දැනට ගීත 10ට වඩා කරලා තියෙනවා. ඒ අතරින් යසස් මැදගෙදර සංගීතවත් කරපු "ඈ ගාව", නුවන්දිකා සේනාරත්න එක්ක මම ගයන කරන "රිදුනු මලක්" වගේම සුනිල් පෙරේරා මහත්මයා එක්ක ගායනා කරපු "පුම්බන් ඔරවන්" කියන ගීත මට ගොඩක් විශේෂයි. "ඈ ගාව" සහ "රිදුනු මලක්" ගීත දෙකම සංගීතවත් කලේ ළහිරු කොස්තා වගේම රචනා කළේ කුමුදුනී වික්‍රමතන්ත්‍රි.

මේ ගීතයෙන් පස්සේ ඔබගේ මීළඟ ගීතය නිකුත් කරන්නේ?

වැඩි කාලයක් යන්නේ නැහැ, මොකද වැඩ ටිකක් එක දිගට plan කරලා තියෙන්නේ අපේ ළහිරු කොස්තා එක්ක. මීළඟට මගේ රිදුනු මලක් ගීතයේම වෙන version එකක් ඉක්මනින්ම එනවා කල්පනා කාවින්දි එක්ක ඒ වගේම තව ප්‍රවීන කීපදෙනෙක් සමගම ගායනා කරපු ගීත කීපයක්ම එන්න තියෙනවා. ඒ වගේම ගීත 7ක් ඇතුලත් EP එකකුත් plan කරලා ඉවරයි අපි මේ වෙනකොට.

නවකයෝ ගොඩක් මැත කාලයේ ගීත එළිදක්වනවා. තරගකාරිත්වයක් දකිනවාද ඒ තුළ?

තරගකාරිත්වය ඇත්තටම හොදයි කියල මම දකින්නේ හොද නිර්මාණ බිහිවෙන්න. තරගකාරිත්වයට මුහුණ දෙන්න වෙනස් දෙයක් කරන එක තමයි මගේ නම් අදහස.

ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් විදිහට ක්ෂේත්‍රය දකින්නේ කොහොමද?

ඉතාම හොඳ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන් මේ වෙද්දි. මේ වෙනකොට ගීතයක අයිතිය උනත් සාධාරණව බෙදී යන විදියේ වැඩ පිළිවෙලක් තියෙන බවක් පේනවා. ඒ වගේ දේවල් හරිම වැදගත් මේ ක්ෂේත්‍රය පෙරට වඩා හොදින් ඉස්සරහට ගමන් කරන්න. මොකද එතනින් තමයි ගොඩක් ගැටුම් මතු වන්නේ වගේම නිර්මාණයක් තුළ නිසි වටිනාකම එකට මහන්සි වුණ අය වෙනුවෙන් ලැබුණම තමයි තිරය පිටුපස මිනිස්සු මේක තව දියුණු කරන්න ලස්සන වැඩ කරන්නේ ලස්සන concepts එන්නේ.

හැමෝම එකම රැල්ලට නිර්මාණ කරනවා ඔබත් එහෙමද?

කොහෙත්ම නැහැ මගේ ගීත ටික අරන් බැලුවොත් ඕනි කෙනෙක්ට පේනවා මම කරලා තියෙන නිර් මාණ එකිනෙකට වෙනස් ඒවා බව. "අයි අයියෝ" උනත් එහෙම වෙනස් නිර්මාණයක්, අපිට ඕනි වුණේ ඒ ගීතයට අපේ විදියේ ලස්සනක් දෙන්න අපි ඒ වෙනුවෙන් සංගීත භාණ්ඩ කීපයක්ම සජීවී පටිගත කිරීම සහ harmonies භාවිතා කලා.

ඉදිරිය ඉලක්ක?

කළින් මතක් කළා වගේ ඉදිරියේදී වැඩ කීපයක්ම ලෑස්ති කරගෙන ඉන්නවා. මගේ රැකියා කටයුතු එක්ක බොහෝම පරිස්සමින් හැමදේම කළමනාකරණය කරගෙන යන එක තමයි කරන්නේ.

මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

මගේ අම්ම හා තාත්තා ඒ වගේම බිරිද මිනෝෂි නානායක්කාර. ඊට අමතරව කුමුදුනී වික්‍රමතන්ත්‍රි, පමෝදි ජයසිංහ, ළහිරු කොස්තා සහ හෂාන් චන්දිම වත් මතක් කරන්නම ඕනි මගේ සංගීත වැඩ කටයුතු වලට දෙන සහයෝගය වෙනුවෙන්.

බුද්ධික සේනාධීර