‘තුර්ක’ නගරයේ ශ්‍රී ලංකන් අවන්හලක් ආරම්භ කළ පළමු අවස්ථාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තමුන්ගේ අනන්‍යතාව පවත්වා ගනිමින් නිවේදන කලාවේ යෙදෙන ‘දිනූෂ පියදාස’ ඔබට අමුත්තකු නොවෙයි. ඔහු මේ දිනවල සිටින්නේ ෆින්ලන්තයේ. මිනිසුන් සතුටින්ම ජීවත්වන ලෝකයේ අංක එකේ රට ලෙස සඳහන් වන්නේ ෆින්ලන්තයයි. මේ විදියට මිනිසුන් සතුටින්ම වෙසෙන රටේ ශ්‍රී ලාංකීය අවන්හලක් ඇරඹීමට මේ දිනූෂ පියදාස සමත්ව සිටිනවා. ඔහු මේ වැඩේ පටන් ගෙන තිබෙන්නේ එහි වෙසෙන තවත් ශ්‍රී ලාංකිකයන් දෙපළක් වන දිමුතු අළුදෙණිය සහ පුර්ණ බාලසුරිය සමගයි. මෙලෙසින් ෆින්ලන්තයට ගිහින් සතුටුදායක ගමනකට මුල පිරූ දිනූෂ එක්ක, ඒ රටේ මිනිස්සු සතුටින් ජීවත්වන හේතුව සහ තවත් විස්තර ගැන තොරතුරු අපි දැන ගනිමු.

 ‘දිනූෂ පියදාස, ෆින්ලන්තයට ගිය ඔබ විටින් විට ලංකාවෙදිත් දකින්න ලැබෙනවා නේද?

ෆින්ලන්තයට ගියේ පසුගිය අගෝස්තු මාසයේ දී. මගේ බිරිඳගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ෆින්ලන්තයට ගියේ. එහේ ගිහින් මාත් නිකම් හිටියේ නැහැ. ෆින්ලන්ත භාෂාවත් යම්තාක් දුරට ඉගෙන ගත්තා. අමතරව එහේ සිටින මගේ මිතුරන් දෙදෙනෙකු සමග එක්වී අවන්හලක් පටන් ගත්තා. අපි සිටින නගරයේ පළමු වතාවට තමයි ශ්‍රී ලංකා අවන්හලක් ඒ විදියට ආරම්භ කළේ.

ෆින්ලන්තයේ ඔබ සිටින්නේ?

‘තුර්කු’ නගරයේ.

හැබැයි ඔබ නිවේදන කටයුතුවල දී මෙහිදීත් දැකගන්න පුළුවනි. එහේ මෙහේ? මොකද හිතෙන්නේ ?

මගේ දුරකථන අංකය මම වෙනස් කළේ නැහැ. ඒ නිසා මම ගිවිස ගත්ත වැඩ වගේම, සමාගම් කීපයක වැඩවලට දායක වෙනවා. ඒ නිසා පරණ පුරුදු මගේ සේවාදායකයන් මට එන්න පුළුවන් ද කියලා කතා කරනවා. ඒ අනුව එක දිගට මට ලැබුණු වැඩ කීපයකට කැමැත්ත දීලා, එනකොට ගුවන් ටිකට්පත පවා එයාලා ලබා දෙනවා. මේ වතාවේ ලංකාවට ආවේ ඒ විදියේ වැඩ කීපයකටම දායක වෙන්න.

කොහොම වුණත් ඔබ දැන් සිටින්නෙ මිනිස්සු සතුටින්ම සිටින රටේ? ඒ ගැන කොහොම ද හිතන්නේ?

සතුටු දර්ශකයේ පිට පිට වසර 7ක් පෙරමුණේ සිටින්නේ ෆින්ලන්තය. සතුටින් ඉන්න පුළුවන් රටක්.

එතකොට දිනූෂ නිවේදකයකු ලෙස මෙහි දී වැඩි පිරිසක් ඔබ හඳුනා ගත්තෙ?

‘රෑ දහයයි දහය’ ප්‍රවෘත්ති විකාශය සමග. නිදහස් පදනම මත රූපවාහිනී නිවේදකයකු ලෙස මම පටන් ගත්තෙත් අවසන් වනතුරු හිටියෙත් ජාතික රූපවාහිනියේ.

ඒ හැර වෙන මොනව ද කළේ ?

අවුරුදු 17 ක්ම සේවය කළේ NDB  බැංකුවේ.

බිරිඳ සහ ඔබට අමතරව පවුලේ තව කවුද ඉන්නේ ?

අපි දෙන්නගෙ ආදරණීය දියණිය. දැන් දියණියට වයස අවුරුදු දෙකහමාරයි. ෆින්ලන්තයේ හැටියට දිවා සුරුකුම් මධ්‍යස්ථානවලට ළමුන් යොමු කරන්න පුළුවන් වෙන්නේ අවුරුදු දෙක ඉක්ම වූ පසුවයි. පාසල් අධ්‍යාපනය පටන් ගන්නෙ අවුරුදු 7 න්.

ලෝකයේ තියෙන හොඳම අධ්‍යාපන ක්‍රමය පවතින්නෙ ෆින්ලන්තයේ කියලත් සමහරු කියනවා. මොකක් ද එහි වෙනස ?

හරිම ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් පවතින්නෙ. පෙර පාසල් වගේ තියෙන ඒවායේ ස්වභාවයත් වෙනස්. ළමුන් ඒවාට යන්නෙ සෙල්ලම් කරලා. චිත්‍ර ඇඳලා, ඩ්‍රාමා කරලා, මියුසික් කරලා එන්නයි. ඒක හරිම සතුටුදායක ක්‍රමවේදයක්.

ෆින්ලන්ත භාෂාව ඉතා අමාරුයි කියලත් කියනවා නේද ?

හරිම අමාරුයි. හැබැයි සමහර වචන, ලංකාවේ වචනවලට බෙහෙවින් සමානයි. අපේ සමානයි කියන වචනයට එහේ කියන්නේ ‘සමා’ කියලයි. අපි පරුෂ වචන ලෙස භාවිත කරන සමහර වචන එයාලගෙ භාෂාවෙ තියෙනවා. හැබැයි ඒවා ඒ රටේ හොඳ වචන. අපි ‘නමට’ ‘නම’ කියලානෙ කියන්නෙ. එහේ කියන්නේ ‘නිමි’ කියලයි. එතුනිමි, කියන්නෙ මුල් නමට. සුප්‍රනිමි කියන්නෙ අග නම. කොහොම වුණත් ඒ භාෂාවේ අමාරු වචන බොහෝමයි. භාෂාව ඉගෙන ගන්න අවශ්‍යයි කියලා අපි ලියාපදිංචි ඒ කාර්යාලයේ නම ‘තේ ඔෆිස්’. එහිදී භාෂාව උගන්වන අතර අපට ඒ වෙනුවෙන් දීමනාවකුත් දෙනවා.

ලංකාවේ ඕනෑම ෆැමිලි එකකට, ෆින්ලන්තයේ යන්න පුළුවන්  ද?

ෆින්ලත්තය ඉතාම හොඳ රටක්. නමුත් රැකියා අවස්ථා නම් බොහොම අඩුයි. හැබැයි ජීවත්වෙන්න සුන්දරම රටක්. බොහෝ දුරට ‘රැකියාවක්’ සඳහා එන්න තියෙන ඉඩ අඩුයි. ඒත් අධ්‍යාපනය සඳහා ඒමට ඇති ඉඩකඩ වැඩියි. ඒ වෙනුවෙන් විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබීමට, විභාගයට මුහුණ දිය යුතු වෙනවා. ඒ වගේම ඒ රටේ ජීවත් වෙන්න පුළුවන්කම පෙන්වීම සඳහා මුදල් ප්‍රමාණයක් පෙන්විය යුතුයි. සියල්ල පෙන්වා විශ්ව විද්‍යාලයකින් ප්‍රවේශය සඳහා ලියුමක් ගන්න ඕනැ. වීසා කටයුතු  සිදු කෙරෙන්නේ ඉන්දියාවේ.

අධ්‍යාපනය එක්ක, ඒ රටේ ඔබ දකින වෙනස ?

හොඳම අධ්‍යාපනයක් වෙලා තියෙන්නෙ, ළමයින්ට පීඩනයකින්​ තොරව අධ්‍යාපනය ලැබීමේ අවකාශය ලබා දී ඇති නිසයි. පොඩි කාලයේ ඉඳලම ‘තනියම’ අධ්‍යාපනය කරගෙන යාම සඳහා වූ ක්‍රමවේදයක් තියෙන්නෙ. මේ නිසා ස්වාධීනව නැගී සිටින පුරවැසියකු තමයි බිහිවන්නෙ. අනෙක ඒ රටේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ. මව්පියන්ට කිසිම බරක් නැත්තෙ පෙර පාසල් සමයේ සිට ළමයින්ට උදේ දිවා ආහාර වේල නොමිලේ ලැබෙන නිසයි.

මිනිසුන් සතුටින් ජීවත්වෙන්නෙ මොන වගේ දේ නිසා ද?

ඇත්තටම නිවන් ගිය මිනිසුන් ඉන්නෙ ෆින්ලන්තයෙ කියලා ධම්ම දිසානායක සර් වතාවක කියලා තිබුණා. ඒක හරියටම හරි. එයාලා ලොකු බරක් හිස මත තියාගෙන ජීවත් වෙන්නෙ නැහැ. ගෙදරක පාවිච්චි කළ භාණ්ඩයක් ඒ කෙනාට එය පාවිච්චි කළා ඇතියි කියලා හිතුණොත් එයා ඒක ෆේස් බුක් එකේ දානවා. නොමිලේ එය ලබා දෙනවාය කියලා. එහෙම නැත්නම් ළඟම ඇති කැලි කසළ එකතු කරන තැනට ගිහින් ඒ භාණ්ඩය තබනවා. එය කැමැති කෙනෙකුට රැගෙන යා හැකිය, කියලා සටහනක් එක්ක. එයාලා ඒ වගේ භෞතික දේ එක්ක ඇලී ගැලී නැහැ. අනෙකාට කිසිම විදියකින් වදයක් වෙන්නෙ නැහැ. කෙනෙක් කතා කළොත් විතරයි කතා කරන්නෙ. තමන්ගෙ පාඩුවෙ ජීවත්වීම නිසාම නිදහස දැනෙනවා. රැකියාවක්, නැති කෙනෙක් රැකියාව සඳහා අයැදුම්කර ඒ රැකියාව ලැබෙන තෙක් ඒ රටේ රජය එයාලව බලා ගන්නවා. රැකියාව කරන අතර එය නැති වුණාමත්, රජය එයාලව බලා ගන්නවා. එයාලගෙ විදේශ විනිමය හොයන්නේ නෞකා නිෂ්පාදනයත්, තොරතුරු තාක්ෂණය සහ කඩදාසි කර්මාන්තයෙන්.

ශ්‍රී ලාංකිකයකු ලෙස ඔබ සහ ඔබගේ මිතුරන් දෙදෙනා එක්ව අවන්හලක්  ආරම්භ කළේ පළමු වතාවට ද?

‘තුර්කු’ නගරයේ ශ්‍රී ලංකන් අවන්හලක් ආරම්භ කළ පළමු අවස්ථාව. ඊට පෙර වෙනත් නගරවල අපේ අය ආරම්භ කළ අවන්හල් ගැන අපි අහලා තියෙනවා.

මේ අවන්හල ආරම්භ කරන්න ඔබ තිදෙනා ලොකු මහන්සියක් ​වෙන්න ඇති ?

අපේ මුදල් තමයි අපි මේ වෙනුවෙන් යෙදුවෙ. තැනක් බලලා, ඒ තැන සුදුසුයි කියලා හිතුවාම, මුලින්ම එය රෙජිස්ටර් කළ යුතුයි. ඉන් පසුව ආහාරපාන අංශයේ ව්‍යාපාරයක් නිසා සනීපාරක්ෂක සහතිකය ලබා ගැනීම වෙනුවෙන් විභාගයකට අපි මුහුණ දුන්නා. කෑම පිළියෙල කරද්දී භාවිත කළ යුතු භාජන සහ සියලු දේ ගැන අපට මුලින් කියා දෙනවා. ඊට අමතරව අපි අද දවසේ උයන පිහන කෑම ‘සාම්පල්’ දින තුනක් තබා ගන්න ඕනෑ. ඒක තමයි නීතිය, ඒ වගේම සතියකට දෙවතාවක් විතර ඇවිත් අවන්හල පරීක්ෂාවට භාජනය කරනවා. මිනිස්සුන්ට හොඳම ගුණාත්මක දේ තමයි නිතරම ලබා දෙන්නෙ.

මේ අවන්හලේ නම ?

‘කරිමකු’. අපේ සාමාන්‍ය භාවිතයේ යෙදෙන ‘කරි’ වචනය සහ එයාලගෙ භාෂාවෙන් ‘මකු’ යන වචනය යොදා ගත්තා. ‘මකු’ කියන්නේ ‘රස’ කියන වචනයට.

අද මේ අවන්හලට ෆින්ලන්ත ජනතාව අතර මොන වගේ ඉල්ලුමක් ද තියෙන්නෙ?

අපි හිතුවට වඩා ලොකු ඉල්ලුමක් තියෙන්නෙ. විශේෂයෙන්ම අපි පටන් ගත්ත මුල් දවසෙ ඉඳලම වැඩි දෙනාගෙ ඉල්ලුම අපි හදන කොත්තුවලට. ඒ පළාතේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පවා කැමැති අපේ කොත්තුවලට.

එහි ඔබ ගෙවන ජීවන රටාව මොන වගේද? නිවසක් මිලදී ගැනීම එහෙම අසීරුද? නැත්නම් මොන විදිය ද?

නිවසක් ගැනීම තරමක් අසීරු දෙයක්. හැබැයි අපට මූලික පිරිවැයක් යොදන්න පුළුවන් නම් ඉතිරි මුදල බැංකු ණයකට යන්න පුළුවන්. පොලි අනුපාතය ඉතා අඩුයි. එවිට ගෙවන වාරිකය ‘අඩු’ ගණනක්.

‘දිනූෂ’ ඔබ ජීවිතය සතුටින් ද?

ඇත්තටම අපි සතුටින්.

සඳුන් ගමගේ