තාම නම් පෙම්වතියක් නෙමෙයි, හිතගිය කෙනෙක් තාම නෑ.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලෙන් කාලෙට රංගන ක්ෂේත්‍රයට එන නවකයින් අතර ‘නොනිමි’ ටෙලිනාට්‍යය හරහා මුණ ගැහෙන අලුත්ම රුව තමයි නෙත්මි සංජානා. සෙනාලි සමරසිංහ කියන චරිතයෙන් ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත් කවුද මේ නෙත්මි කියලා දැනගන්න ඇයව අපි කතාබහකට එකතු කර ගත්තා.

සම්පූර්ණ නම?

නෙත්මි සංජානා. 

පාසල?

මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ටයිනි ටොක්ස් ජාත්‍යන්තර පාසලෙන්. උසස් අධ්‍යාපනය ලැබුවේ මහනුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලයෙන්. 

පවුලේ තොරතුරු?

පදිංචි වෙලා ඉන්නේ පිළිමතලාවේ. පවුලේ අම්මයි, තාත්තයි, මල්ලියි. තාත්තා කෘෂිකර්ම පර් යේෂණ නිලධාරියෙක්. අම්මා ගෘහණියක්. මල්ලි සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්නවා.

නෙත්මි රැකියාවක් කරනවද? නැත්නම් අධ්‍යාපනය හදාරනවද?

මම තාමත් කැලණිය විශ්වවිද්‍යාලයේ කලා අංශයේ පළමු වසරේ ඉගෙන ගන්න ශිෂ්‍යාවියක්.

නෙත්මි කියන්නේ මේ දිනවල පුංචි තිරයේ මුණ ගැහෙන අලුත්ම රුවක්. ඒ රුවට රංගන අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

ඇත්තටම මට මේක හිතුවෙවත් නැති මොහොතක අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. ‘නොනිමි’ කියන්නේ මගේ මුල්ම රංගන දායකත්වය. පුංචි කාලේ ඉඳලා රඟපාන්න පුංචි ආසාවක් හිතේ තිබුණත් මම ඒකට උනන්දු වුණේ නැහැ. මොකද ඒ පැත්තට යනවට අම්මයි තාත්තයි කැමති වුණේ නැහැ. හැබැයි ආසාව හිතේ තිබුණා. ඔය අතරෙදි මගේ ආසාව දැනගෙන හිටපු ශජනි කියලා යාළුවෙක් හිටියා. එයා දවසක් මට කතා කරලා කිව්වා සුරාජ් මාපා අයියා අලුත් ටෙලිනාට්‍යයකට අලුත් ගෑනූ ළමයෙක් හොයනවා, කතා කරලා බලන්නකෝ කියලා.

සුරාජ් මාපා කියන්නේ ඉතින් නළුවෙක් සහ නර්තන ශිල්පියෙක්නේ. එයා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරනවද කියලත් මට එකපාරම හිතුනා. සුරාජ් මාපා අයියාට කතා කරන්න කලින් මම මුලින්ම අම්මාගෙනුයි, තාත්තගෙනුයි ඇහුවා. අහපු ගමන්ම ඒවා ඕන නෑ, කැමති නෑ කිව්වා. පවුලේ අනිත් අයත් එකහෙලාම විරුද්ධ වුණා. මොකද ක්ෂේත්‍රයේ නොයෙක් නොයෙක් දේවල් නිසා කලා ක්ෂේත්‍රය ගැන අම්මලාට ලොකු පැහැදීමක් තිබුණේ නැහැ. රඟපාන්න ආසාව හිතේ තදින්ම තිබුණ නිසා අම්මාට කන්කෙදිරි ගාලා බොහොම අමාරුවෙන් කැමැත්ත ගත්තා.

ඒ වෙලාවෙම සුරාජ් මාපා අයියාට මම කතා කළා. කතා කරහම ඊට පහුවෙනිදම කොළඹ තිර පරීක්ෂණයට එන්න කිව්වා. මම තිර පරීක්ෂණයට ආවේ හරියට 2021 මාර්තු 28 වැනිදා. තිර පරීක්ෂණය ඉවර වෙලා සුරාජ් අයියා එදාම කිව්වා අපි ඔයාව චරිතයට තෝරගත්තා කියලා. එදා දැනුන සතුට මට කියන්න තේරෙන්නේ නෑ.

කැමරාව ඉස්සරහට ගිය පළමු දවසේ අත්දැකීම කොහොමද?

ඒක මතක් වෙනකොට තාමත් ඇඟ හිරිවැටෙනවා. ‘නොනිමි’ රඟපාන්න එනකොට මම ඇත්තටම මීට කලින් ටෙලිනාට්‍යයක පිටපතක්වත් දැකලා තිබුණේ නැහැ. මම පාසල් කාලෙදිවත් ටෙලිනාට්‍යයක රඟපාපු කෙනෙක් නෙමෙයි.

පිටපත අතට දුන්නාම මට හීන් දාඩිය දැම්මා. ඒක හිතනවට වඩා ලොකු අභියෝගයක් කියලා මට දැනුනා. හැබැයි සෙනාලි සමරසිංහ කියන චරිතයට පුංචි හරි සාධාරණයක් කරන්න පුළුවන් වේවි කියන ආත්මවිශ්වාසය මට තිබුණා. ඒ නිසා මම ඒ අභියෝගය භාරගත්තා.

මම පළමු දවසේ කැමරාව ඉස්සරහට ගියේ මේක කොහොම හරි කරනවා කියලා හිතාගෙන. පළමු දර්ශනය තිබුණේ කොෆි ෂොප් එකක. දැන් හැමෝම බලාගෙන ඉන්නවා. සීන් එකට ගියහම මට හොඳටම දාඩිය දාලා බයට දෙබස් අමතක වුණා. රඟපෑම එතනින්ම ඉවරයි කියලා හිතුනා.

කොහොම හරි මට එදා ඒ දර්ශනය කරගන්න බැරි වුණා. ඒත් සුරාජ් අයියා වචනයක්වත් කිව්වේ නෑ. හැමෝම මාව දිරිමත් කළා.

ප්‍රවීණයන් මැද්දේ ආධුනික ඔබට ලැබුණු සහය කොහොමද?

මගේ අම්මගේ චරිතය කරන්නේ දිල්හානි අක්කා කියලා දැනගත්තාම ගොඩක් සතුටු හිතුනා. මම වගේ නවකයකුට ඒ වගේ ප්‍රවීණයෙක් එක්ක රඟපාන්න ලැබෙන එක ලොකු දෙයක්නේ. එයාලා ප්‍රවීණ නිසා මාත් එක්ක කතා කරයිද මාව කොන් වෙයිද කියලා බයකුත් තිබුණා. ඒත් දිල්හානි අක්කලා, අනෙක් ප්‍රවීණ පිරිස දැකපු දවසෙම මට දැක්වූ ඒ ලෙංගතුකම මට හරියට දැනුණා. දිල්හානි අක්කා මට වැරදෙන තැන් හැම තැනකදීම හදා ගන්න උදව් කරනවා. ඇය මාව පුදුම විදිහට දිරිමත් කරනවා. ඒ වගේම චන්දන ජයසිංහ මහතා සහ සුරාජ් අයියා මගේ අඩුපාඩු ඉවසගෙන චරිතය ගොඩ නගාගන්න ලොකු සහයෝගයක් දෙනවා. ඒ හැමදෙනාටම මම ස්තුති කරනවා.

සෙනාලිව කොහොමද නෙත්මිට දැනුනේ?

සෙනාලි කියන්නේ ආදරයට හරිම අවංක කෙනෙක්. ටිකක් මුරණ්ඩු, පියාගේ සෙනෙහස අහිමි වූ දියණියක්. සෙනාලිගේ සමහර ගති ලක්ෂණ නෙත්මිටත් ටිකක් සමානයි. හැබැයි ආදරේ පැත්තෙන් සමාන නැහැ. හැබැයි සෙනාලි වගේ නෙත්මිත් ටිකක් හිතුවක්කාරයි. නිම්නාද ගැන සෙනාලිගේ හිත ගියාට නෙත්මිගේ හිත ගිය කොල්ලෙක් නම් තාම නෑ.

ඒ කියන්නේ තාම තනිකඩයි?

තාම නම් පෙම්වතියක් නෙමෙයි. විවාහ යෝජනා නම් අඩුවක් නැතුව එනවා. ඒත් හිතගිය කෙනෙක් තාම නෑ. 

නෙත්මි වැඩිපුරම සතුටු වුණ දවස මතකද?

‘නොනිමි’ ටෙලි නාට්‍යයෙන් මම මාවම TV එකේ දැකපු පළමු දවස. 

නෙත්මිට සෙනාලි වෙන්න විශේෂ හේතුවක් බලපෑවද?

මම අදටත් දන්නේ නැහැ සෙනාලි වෙන්න බලපාපු හේතු මොනවද කියලා. චරිතයට තෝර ගත්තාට පස්සේ සුරාජ් අයියා දවසක් කිව්වා චරිතයට තෝරගන්න විශේෂම හේතුව මගේ ඇස් දෙක සහ මගේ කතා විලාශය කියලා.

නෙත්මිගේ පළමු රංගනයට කොහොමද ප්‍රතිචාර? 

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සෙනාලි නිම්නාදගේ පස්සෙන් යනකොට ලැජ්ජ නැද්ද කොල්ලො පස්සෙ යන්න කියලා සමහර ප්‍රේක්ෂකයෝ බනින අවස්ථාත් තියෙනවා. තව සමහරු අහනවා චරිතෙ වගේද සැබෑ ජීවිතෙත් කියලා. අනේ එහෙම නම් නෑ ඉතින්. 

දිගටම රංගනයේ යෙදෙන්නද බලාපොරොත්තුව?

මට හීන කීපයක් තියෙනවා. ‘නොනිමි’ රංගනයෙන් පස්සේ ගීත රූප රචනා සහ වෙළඳ දැන්වීම් වැඩ කීපයකට කතා කළා. රංගනයේ දිගටම යෙදෙන්න කැමතියි. ඒත් චූටි කාලෙ ඉඳලා මගේ එකම හීනය තමයි ගුරුවරියක් වෙන එක. ඒ හීනය ඇතුලේ මම තාමත් ජීවත් වෙනවා. ඒ හීනයට යන අතරමගදි තමයි කලාව මුණගැහෙන්නේ. රඟපාන්න මම ආසයි. හොඳ අවස්ථාවක් ලැබුණොත් භාරගන්නවා. දැන් TV එකේ මාව දකිද්දි දැන් වැඩිපුරම සතුටු වෙන්නේ මගේ තාත්තා.

නදීශා අතුකෝරළ / ඡායාරූප -  සජීව ලක්ෂාන්