තුන්වේල කන්න බොන්නවත් සල්ලි නැති කාලයක් ඒක
සංගීත් ප්‍රභූ කියන්නේ අද වෙද්දී ජනප්‍රිය කලාකරුවෙක්. සංගීත් අද ජීවිතේ යම් ස්ථාවරත්වයකට ඇවිත් හිටයත් ඔහු ආ ගමන එතරම් පහසු වුණේ නැහැ. හැබැයි, තාමත් ඔහුට ඒ අතීතය හොඳට මතකයි.
''2015 අවුරුද්දේ මගේ උපන්දිනයට ලැබුණු තැග්ග මට අදටත් මතකයි. ඒ වෙද්දී මගේ යාළුවාට මට තෑග්ගක් අරගෙන දෙන්න තරම් ආර්ථිකයක් තිබුණේ නැහැ. මටත් එහෙමම තමයි. ඒ කාලේ අපි බෝඩිම්වලයි හිටියේ. මට චමත් කියලා හොඳ මිත්‍රයෙක් හිටියා. අපි එකම බෝඩිමේ ජීවත් වුණේ. ඒ කාලේ තුන්වේලට කන්න බොන්නවත් අපිට සල්ලි තිබුණේ නැහැ. එදා රූ ''හෙට උඹේ උපන්දිනේ. මට උඹට දෙන්න තෑග්ගක්වත් නැහැ. මට ඒකට සමාවෙයන්'' කියලා මගේ යාළුවා කලින් දවසේ රෑ කිව්වා. අපි නිදාගත්තේ බිමයි. ඒ කාලේ නිදාගන්නවත් ඇඳක් අපිට තිබුණේ නැහැ. අඩි හයයි දහයක්වත් නැති පොඩි කාමර කෑල්ලේ අපි කට්ටිය නිදාගත්තා.
ඔන්න ඉතින් උපන්දිනය දවසේ පාන්දර සංගීත් ඇහැරුණා. හිතාගන්නවත් බැහැ... සංගීත්ගේ මුහුණ වගේම මුහුණක් කාමර කෑල්ලේ බිත්තේය ඇඳලා තිබුණා. චමත් හොඳ චිත්‍ර ශිල්පියෙක්. සංගීත් නිදාගත්තට පස්සේ චමත් සංගීත්ගේ මුහුණ පින්සල් පහරවල් වලින් හරි අපූරුවට බිත්තියේ ඇඳලා තිබුණා. සංගීත්ට හිතාගන්නවත් බැහැ. සල්ලිවලට මිල කරන්න බැරි ඒ අපූරු තෑග්ග ගැන අදටත් සංගීත්ට හොඳට මතකයි.
''ඒක මගේ උපන්දිනයට ලැබුණ හොඳම තෑග්ගයි'' සංගීත් කියන්නේ එහෙමයි.
දණ ගහගෙනමයි ඉස්කෝලේදී...
"භයානකම ඉස්කෝලේ" මිහින්තලේ
පාසැල් කාලයේදී නම් සංගීත් පුදුම දඟ ළමයෙක්ලු. පාසල් තැනකට මාරුකරලා අන්තිමට තමන් උගන්වන පාසලටම සංගීත්ගේ අම්මා සංගීත්ට ඇතුල් කර ගත්තෙත් ඒ දඟවැඩ නිසාමයි. සංගීත්ගේ අම්මා ගුරුවරියක්. කොච්චර දඟ වැඩ කළාද කියනවා නම් සංගීත් දවසේ වැඩි කාලයක් ඉඳල තියෙන්නේ විදුහල්පති කාමරය ඉදිරියේයි. ඒ හැම වතාකම සංගීත්ගේ අම්මා ඇවිත් කතාබහ කරලා බේරගෙන තියෙනවා. මේ දඟයා බේරන්නට බැරිකම නිසාම තමයි සංගීත්ව අම්මා මිහින්තලේ මධ්‍ය මහ විදුහලට ඇතුළත් කරගෙන තියෙනවා. සංගීත් කියන්නේ ඒක තමයි ''භයානකම ඉස්කෝලේ'' කියලයි. ගුරුවරුන්ගෙන් විතරක් නෙවෙයි හවසට ගෙදර ගිහින් ඒ දඬුවම්වලට අම්මගෙනුත් සංගීත් බැනුම් ඇහුවා කියලයි සංගීත් කියන්නේ.
ගුරුතුමාගේ කලිසම පුරා හුණු පාරවල්
''මම නිසාම මුලු පන්තියම දඬුවම් ලබපු දවස් තිබුණා. හැබැයි කිසිම වෙලාවක මගේ යාළුවෝ මාව පාවලා දුන්නේ නැහැ. මට තාම මතකයි එක දවසක් මම හුණු කූරක් අරගෙන ඒකෙන් ගුරු පුටුවේ ඇන්දා. ටික වේලාවකින් අපිට විෂය උගන්වන ගුරුතුමා ආවා. සුදු පුටුවක් නිසා හුණු කූරේ පාරවල් ගුරුතුමා දැක්කේ නැහැ. පුටුවේ වාඩිවෙලා ආයේ නැගිටිද්දී කළිසම පුරාම හුණු පාරවල්. මුලු පන්තියම හිනාවුණා. ඒ සිදුවීමෙන් මුළු පන්තියම දඬුවම් ලැබුවත් යාළුවෝ කවුරුවත්ම ඒක කළේ කවුද කියලා කිව්වේ නැහැ.''
කොලු වයසට ඒ වගේ දඬ වැඩ කළත් තමන්ට උගන්වපු හැම ගුරුවරයෙක්ම, ගුරුවරියකටම අදටත් තමන් ගෞරව කරන බවයි සංගීත් කියන්නේ.
නුහුරු කොළඹට කොහොම හරි හුරුවුණා...
අද කොළඹ සංගීත්ට හුරුයි. අද වෙද්දී තමන්ගේ නමින් රෑපලාවන්යාගාරයක් විවෘත කරලා තියෙනවා. තමන්ටම කියා ඉඩමක් මිලදී ගෙන තියෙනවා. නමුත් ඒ හැමදේම දිනාගන්න ගමෙන් කොළඹට ආපු සංගීත් ජීවත්වෙන්න පුංචි පුංචි රස්සාවල් කළා. කුඩා බෝඩිම් කාමරවල ජීවත් වුණා.
''ජීවිතේ අපි හැමෝටම මුලින්ම අකුරු ලියන්න බැහැනේ. පෙර පාසලේ ඉඳන් තමයි මේ පාසල් ජීවිතේ පටන් ගත්තේ. ඒත් ජීවිතේ ලස්සන අතීතයක් තියෙනවා. ඒ අතීතයේ ලස්සන අත්දැකීම් තියෙනවා. කොළඹ ඇවිත් මට පොඩි බෝඩිමක් හොයාගන්න පුළුවන් වුණා. ඒකේ පහසුකම් තිබුණේ නැති වුණාට ජීවිතේ ගෙනයන්න පුළුවන් වුණා. අමතර පොඩි පොඩි රස්සාවල් කරලා කීය කීය හරි ඒ කාලේ හොයාගත්තා. එහෙම ගෙවිලා අද මගේම කියලා සැලුන් එකක් තයෙනවා. ඉඩමක් ගත්තා. පොඩි කාලයක් තුළදී මගේ හීන කිහිපයක්ම මම අමාරුවෙන් සැබෑ කරගත්තා.
පාරේ ලස්සන වාහන දකිද්දී ආසාවට බලාගෙන හිටියා
තමන්ටම කියලා වාහනයක් ගන්න සංගීත් ආසා කළා. මුලින්ම සංගීත් ගත්තේ මෝටර් බයිසිකලයක්. එදා සංගීත් ගොඩක් සතුටු වුණා. තමන්ටම කියලා රෝද දෙකක අයිතිකරුවෙක් වුණ සංගීත් ඊට පස්සේ රෝද හතරක වාහනයක් ගන්න ආස කළා. ටික දවසකින් සංගීත් ඒ හීනයත් ඔන්න හැබෑ කරගත්තා.
''අම්මෝ... එදා මම හරියට සතුටු වුණා. 2019 අවුරුද්දේ මම ඒ හීනය හැබෑ කරගත්තා. පාරේ ලස්සන මෝටර් රථ යද්දී මම ඒ දිහා බලලා ඒවාට ආසා කළා. දවසක ගන්න හීන දැක්කා. ඒ දකින හීන හැබෑ වෙද්දී හිතට දැනෙන්නේ ලොකු සතුටක්. ඒ හැමදෙයක්ම මගේ ජීවිතේ 'සප්‍රයිස්' කළා.''
දිශානි ජයමාලි