තාත්තා හින්දා බිංදුවේ ඉඳන් ඔක්කොම ඉගෙන ගත්තා - සුදේශ් වසන්ත පීරිස්
පියාගේ ඇවෑමෙන්, මවගේ ඇවෑමෙන් දරුවන් විවිධ ක්ෂේත්රවලට එළඹෙන අයුරු අප කොතෙකුත් දැක ඇත. ඒ අතරින් කලාව තුළ මෙවන් අවස්ථා බහුලව අපට හමුවෙයි. මේ සමහර අවස්ථාවල මව්පියන් අභිබවා ගිය අවස්ථා ගණනාවක් ද අප සිහියට නැගෙයි. අද හදසර My story අපේ කතාබහ එවන් එක් පුත්‍රයෙකු සමඟයි. මෙරට සිනමාවේ දැවැන්ත චරිතයක් වූ, ආදායම් වාර්තාවල රජු වූ සුනිල් සෝම පීරිස්ගේ පුත් සුදේශ් වසන්ත පීරිස් යනු ඔහුයි. සිනමා නිර්මාණ 34කට දායකත්වය දුන් රංගන ශිල්පියෙකු, සහාය අධ්‍යක්ෂවරයෙකු හා අධ්‍යක්ෂවරයෙකු ලෙස ද අපට ඔහු හඳුනාගත හැකිය.
''මම පාසල් ගියේ මහරගම ජනාධිපති විද්‍යාලයට. හරියටම කිව්වොත් මම ඉගෙනීමට දක්ෂතා දැක්වූ ශිෂ්‍යයෙක්. මට හිටියේ අයියා කෙනෙක් සහ අක්කා කෙනෙක් විතරයි. කුමාර පීරිස් හා ප්‍රියංකා පීරිස් කියන මගේ අයියයි අක්කයි දෙදෙනාම මේ ක්ෂේත්රයට සම්බන්ධ නැහැ. අපේ අම්මා මාලනී පීරිස්. තාත්තා ඔබ කවුරුත් හොඳින් හඳුනන සුනිල් සෝම පීරිස්. මම කිව්වනෙ මම පාසලේදි ඉගෙනීම් කටයුතුවලට දක්ෂයි කියලා. මේ කාලෙදි තාත්තා චිත්‍රපට කළා. පුංචි පුංචි චරිත සඳහා මාවත් යොදා ගත්තා. ඒවත් එක්ක මට චිත්‍රපට පිස්සුව කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරෙදි කියන මේ පිස්සුව තදින්ම ඔළුවට වැටුණා. ඇත්තටම මට ඕන වුණේ නළුවෙක් වෙන්න. මොකද, ඒ වෙද්දි තාත්තගෙ චිත්‍රපට කිහිපයක මම පුංචි පුංචි චරිත කරලා තිබුණා. මේ නිසාම මගේ ඉගෙනීමට බාධා සිදු වුණා. මම ඒ සියල්ල අමතක කරලා සිනමාව දෙසට සම්පූර්ණයෙන්ම එක් වුණා. ඒ සමඟ ඉදිරි අධ්‍යාපනය ගැන නොසිතා සිනමාවේ ඉදිරි ගමන ගැන සිතන්න ගත්තා.''
සුදේශ්ගේ ළමා කාලය ගත වී ගියේ සිනමාව ඇසුරේමය. ශාන්ති අබේසේකරගේ 'වහල් දූපත' චිත්‍රපටයේ රංගනයෙන් සිනමාවට එක්වූ සුනිල් සෝම පීරිස් නම් ඔහුගේ පියා නළුවෙකු සේම අධ්යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක්, තිර කතා රචකයෙක් ද විය. ඔහුම කතාව, දෙබස්, තිර රචනය සිදු කරමින් සිනමාවට රුගෙන ආ 'දිවුරා කියන්නම්' තිරගත වූයේ 1985 වසරේදීය. සුදේශ් එහි රූගත කිරීම් සිදුවන අයුරු හොඳින් බලා සිටියේය. ඉන් පසු ඔහුගේ පියා 'ජය අපටයි' අධ්‍යක්ෂණය කළ අතර, කුඩා සුදේශ් එහි විජය සමඟ ඉතා කුඩා ජවනිකාවක පෙනී සිටියේය.
''ඉස්සරම තාත්තට තිබුණේ බයික් එකක්. පුංචි කාලෙ මම නිතරම තාත්තා එක්ක බයික් එකේ ඉස්සරහ වාඩිවෙලා චිත්‍රපට වැඩවලට ගියා. තාත්තා එකදිගට චිත්‍රපට කළා. එදා එක චිත්‍රපටයක රෑගත කිරීම්, තව චිත්‍රපටයක හඬකැවීම්, තව තැනක සංස්කරණ කටයුතු, මේ විදිහට තාත්තා අතිශය කාර්යබහුල වෙලා වැඩ කරද්දි මාත් ඔහු ළඟින්ම ඉඳලා ඒ දෙස බලා සිටියා. 1986 දී තිරගත වුණා තාත්තා සම අධ්‍යක්ෂණය කළ 'දිනුම' චිත්‍රපටය. එහි සනත් ගුණතිලක, වසන්ති චතුරාණි, මර්වින් ජයතුංග, ටෝනි රණසිංහ, ලීනා ද සිල්වා චරිත නිරෑපණය කළා. සනත් ගුණතිලකගේ ළමා කාලයට රංගනයෙන් එක් වුණේ මම. ඒත් එක්කම තාත්තා 'මමයි රජා' නිර්මාණය කළා. එහි රඟපෑවේ විජය කුමාරණතුංග, ජීවන් කුමාරණතුංග, සබීතා පෙරේරා, අනෝජා වීරසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, සෝනියා දිසා ආදීන්. එහි විජය කුමාරණතුංගගේ ළමා කාලය නිරූපණය කළේ මම. 1990 දී තිරගත වූ 'යුක්තියට වැඩ' තාත්තගේ අධ්‍යක්ෂණයක් වගේම නිෂ්පාදනයක්. එහි ප්‍රධාන චරිත රඟපෑවේ ජීවන් කුමාරණතුංග හා අනෝජා වීරසිංහ. මම එහි ජීවන් කුමාරණතුංගගේ ළමා කාලය රඟපෑවා. ඔය විදිහට මම චිත්‍රපට ගණනාවක විවිධ කුඩා චරිත රඟපෑවා. ඒ සමඟම තමයි මට පාසල් වැඩ, උසස් අධ්‍යාපනය සියල්ලටම වඩා සිනමාවට ආකර්ෂණයක් ඇතිවුණේ. ඉතින් මේ අතරෙදි මම දැක්කා තාත්තගේ අධ්යක්ෂණ භූමිකාව. අති සාර්ථකව ආදායම් වාර්තා පිහිටුවමින් තිරගත වූ චිත්‍රපට රැසකම කතාව, දෙබස්, තිර රචනය පවා මගේ තාත්තගේ. ඉතින් මේ සියල්ල සමඟ තාත්තා අධ්‍යක්ෂවරයෙකු ලෙස දක්වන දස්කම් මට විශේෂයෙන්ම කැපී පෙනෙන්න පටන් ගත්තා. ඉතින් රංගනයට කැමැත්තෙන් හිටිය මගේ හිත අධ්‍යක්ෂණය කියන භූමිකාව දෙසට ක්‍රම ක්‍රමයෙන් යොමු වුණා කිව්වොත් හරි.''
අධ්‍යක්ෂවරයෙකු වීමට හීන මවන්නට ගත් සුදේශ් ඒ පිළිබඳ මුලින්ම පැවසුවේ තම ආදරණීය පියාටය. එකකට එකක් නොදෙවැනි වන සේ ජනප්‍රිය තලයේ නිර්මාණ කළ සුනිල් සෝම පීරිස් තම පුතුගේ හිත හඳුනා ගත්තේය.
''තාත්තා මගේ කැමැත්ත අගය කළා. හැබැයි එයා මට කිව්වා, පුතා ඔයා මේක හරියටම ඉගෙන ගන්න, අධ්‍යයනය කරන්න කියලා. මට ඔයාට උදව් කරන්න පුළුවන්. නමුත් එතකොට ඔයා එන්නෙ මගේ පුතා විදිහට. මම නැති කාලෙක ඔයත් නැහැ. ඒ නිසා ඔයා මේක මුල ඉඳන්ම අල්ලගෙන ඔයාම ඉස්සරහට එන්න කියලා. තාත්තගේ අදහස මට පැහැදිලි වුණා. මම තේරුම් ගත්තා විය යුතු දේ සහ මා කළ යුතු දේ. එතැන් සිට මම විවිධ අධ්‍යක්ෂවරුන්ගේ දර්ශන තලවලට යන්න පටන් ගත්තා. රූගත කිරීම් නරඹන්න පටන් ගත්තා. එතැන එක වැඩක් කියලා නැහැ. වතුරත් අල්ලනවා. තේ අරන් යනවා. Clapper බෝඩ් එක අල්ලන්න ඉගෙන ගත්තා. චිත්‍රපටයක සියලු අංශවල මූලික තැන සිට පහළම අඩියේ සිට සෑම දෙයක්ම මම කළා. ඒ අත්දැකීම් ලැබුවා. එහි වටිනාකම කියා නිම කරන්න බැහැ. ඉන්පසු මට අවස්ථාවක් ලැබුණා ප්‍රවීණ සිනමාවේදී ඩී.බී. නිහාල් සිංහයන්ගේ 'කෙළිමඬල' චිත්‍රපටයේ තුන්වැනි සහය අධ්යක්ෂවරයා විදිහට වැඩ කරන්න. මම එයින් ඉගෙනගත් දේ මෙතෙකැයි කියා නිම කරන්න බැහැ. එතුමා කැමරාව හසුරුවන විදිහ මම ඇසිපිය නොගහා බලාගෙන හිටියා. ඔහු මොකක්ද දාන ලෙන්ස් එක? කොතැනද කැමරාව තියන්නෙ? ඇයි එහෙම තියන්නෙ? කිය කියා සියල්ල ඉතා සාවධානව සුපරීක්ෂාකාරීව මම බලා සිටියා. මට ඒ චිත්‍රපටයේ වැඩ කෝටියක් තිබුණා කරන්න. හැබැයි මම නිහාල් සිංහ මහත්මයා දිහා ඉතා උනන්දුවෙන් බලා ඉන්න ගමන් තමයි ඒ සියල්ල කළේ. ඊට පසුව තමයි මම සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස තාත්තා එක්ක වැඩ කළේ.''
'චාන්දනී', 'පුතුනි මට වාසනා' වැනි චිත්‍රපටවල සහය අධ්යක්ෂවරයා වූ සුදේශ් තම පියා සමඟ සම අධ්‍යක්ෂණය සිදු කළ චිත්‍රපට කිහිපයකි. ජිම් පප්පා, පිස්සු ඩබල්, පිස්සු ට්‍රිබල්, හිත හොඳ පිස්සෝ යන චිත්‍රපට ඒ අතර වේ. මෙසේ කාලය ගතවෙද්දී ඔහු තම පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. ඒ 1996 වසරේ තිරගත වූ 'රත්තරන් මිනිහෙක්' චිත්‍රපටයයි. ජීවන් කුමාරණතුංග, ගීතා කුමාරසිංහ රංගනයෙන් එක්වූ එය කළු සුදු චිත්‍රපටයකි. වාණිජ රැල්ලේ සිනමා නිර්මාණ රැසක් අති සාර්ථකව අධ්‍යක්ෂණය කළ සුදේශ්ගේ ගමන් මඟ වෙනස් කළ චිත්‍රපටය වූයේ 2019 වසරේ තිරගත වූ 'හුස්ම' චිත්‍රපටයයි. දසුන් පතිරණ, පුබුදු චතුරංග, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, චමත්කා ලක්මිණී රංගනයෙන් එක්වූ මෙය ඔහු අතින් එතෙක් නිර්මාණය වූ සියලු සිනමා නිර්මාණ අභිබවා ප්‍රේක්ෂක ආකර්ෂණය සේම විචාරක පැසසුම් ද ලබාගත් නිර්මාණයක් විය. ඒ ආරේම තවත් සිනමා නිර්මාණයක් වන 'සීරුවෙන්' චිත්‍රපටය ඔස්සේ තවත් නොබෝ දිනකින් සුදේශ් තම ප්‍රේක්ෂකයන් හමුවට එනු ඇත. ජැක්සන් ඇන්තනී ප්‍රධාන භූමිකාවට පණ පොනවන මෙහි ඔහුට අමතරව බුද්ධික ජයරත්න, දසුන් පතිරණ හා ඩිස්නි රාජපක්ෂ අති ප්‍රබල රංගනයක නිරත වෙති. ලෝක සිනමාව සමඟ අපගේ සිනමාව සංසන්දනය කරන සිනමා රසකාමීන්ට මෙය අති සුවිශේෂ සිනමා අත්දැකීමක් වනු නොඅනුමානය.
''ජැක්සන් අයියා මුලින්ම දර්ශන තලයට ආවම පුදුම වුණා. මොකද මේ චිත්‍රපටය බැලුවාම ඔබට තේරෙයි මම බොහෝ දේවල් තනිවමයි කළේ. 'සීරුවෙන්' වගේම 'හුස්ම' චිත්‍රපට දෙකම කළේ සහය අධ්යක්ෂවරයෙක් පවා නැතිව. කුඩා කාලේ ඉඳන්ම දර්ශන තලවල ගැවසිලා මම ගත්ත අත්දැකීම් තමයි මේ සඳහා පිටිවහලක් වුණේ. දර්ශන තල යොදාගනිමින් ඉතා සීරුවෙන් කළ චිත්‍රපටයක්. ඉදිරියේදී 'සීරුවෙන්' බලලා ඔබේ අදහස් කියන්න. රූගත කිරීම් නිමවා යන මොහොතේ ජැක්සන් අයියා මට කිව්ව දෙයක් තමයි, සුදේශ් මට උඹේ අත්දැකීම් හරි වටිනවා. මෙහෙම තමයි මල්ලි චිත්‍රපට කරන්න ඕන කියලා. ඒ විතරක් නෙවෙයි, ඔහුගේ ඉන්පසු රෑගත කිරීම් කළ 'සම්බුලා' දර්ශන තලයට මට එන්න කිව්වා. වැඩ කරන්න නෙවෙයි, පොඩ්ඩක් ඇවිත් බලා ඉන්න කියලා. උඹ වැඩ කරන්න එපා, පොඩ්ඩක් බලන් හිටපං.. මට ඇති කියලා. ඒ තරම් බැඳීමක් ඇතිවුණා. 'සීරුවෙන්' නිසා. මොකද මුලින්ම සීරුවෙන් දර්ශන තලයට ඇවිත් ඔහු පුදුමයෙන් බලා ඉඳලා මගෙන් ඇහුවේ මේක ලොකු චිත්‍රපටයක්. කොහොමද ඔයා තනියම කරන්නෙ කියලා. ඒ වගේම කිව්වා මල්ලි මේක ඔයා හරියට කළොත් 'මිරකල්' එකක් කියලා. ඉතින් මම හිතනවා ඒක මම හරියටම කළා කියලා. ඔබත් ඉක්මනින් සීරුවෙන් බලලා අදහස් කියන්න. ''සුදේශ් තම සහෘද රසිකයන්ගෙන් ඉල්ලා සිටියි.
උදයකාන්ත වර්ණසූරියගේ 'දිය යට ගින්දර', 'ගේම්' සහ 'සේද මාවත' ආදී චිත්‍රපට කිහිපයකම මෑතකදී ඔහු රංගනයෙන් එක් විය. නර්තන නිර්මාණ ශිල්පිනී කුශානි වීරක්කොඩි සමඟ විවාහ වී සිටින සුදේශ් දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වන අතර චමත්කා වැඩිමල් දියණියයි. ඇය ගායනයට එක්ව සිටින අතර 'සීරුවෙන්' චිත්‍රපටයේ එකම ගීතය ගයන්නේ ඇයයි. දෙවැනි දියණිය රංගනයට එක්ව සිටින දස හැවිරිදි ෂෙනුලි පීරිස් ය. ඇය 'සීරුවෙන්' චිත්‍රපටයට රංගනයේ යෙදෙයි. සුදේශ්ගේ බොහෝ චිත්‍රපට සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් එක්වන කේශාන් පෙරේරා ඔහුගේ එකම සොයුරියගේ පුත්‍රයාය. සිනමාව කඩා වැටී ඇතැයි කියමින් නිර්මාණවේදීන් චෝදනා කරමින් සිටින යුගයක සුදේශ්ගේ මේ සිනමා ප්රයත්නය අගය කළ යුතුය. ලෝක සිනමාව සමඟ ගැටෙන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාට උසස් රසවින්දනයකින් යුත් යමක් තිළිණ කිරීම ඔහුගේ අපේක්ෂාවයි. සිනමාවේ නව ඉසව් කරා යන්නට ඔබට හදසර අපේ සුබ පැතුම්.
මොනිකා සේරසිංහ