තාත්තා කෙනෙකු වූ පසුව තමයි මගේ තාත්තාගේ අගය තවත් වැඩිවුණේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වත්මන් ශ්‍රී ලාංකීය සිනමාවේ කඩවසම් ප්‍රේමවන්තයා ඔහුය. මේ දිනවල මේ කඩවසම් රංග ශිල්පියා අපට හමුවන්නේ රජිත හිරාන් අධ්‍යක්ෂණය කළ ‘රයිඩර්’ චිත්‍රපටයේ  ප්‍රේමවන්තයාගේ චරිතය සමගය. ඒ හැර නිර්මාණය වන තවත් චිත්‍රපටයක රූගත කිරීම්වලට ඔහු මේ දිනවල දායකව සිටින්නේය. ‘රයිඩර්’ චිත්‍රපටයට අමතරව ඔහු රංගනයෙන් දායක වූ තවත් චිත්‍රපට පහක් පමණ තිරගත වීමට නියමිතය. මේ විදියට සිනමාවේ ඔහුගේ භූමිකාවට එහා ගිය සැබෑ ජීවිතයේ තාත්තාගේ භූමිකාවට ඔහු පණ දෙන විදිය කොහොමද? රොෂාන් රණවන ආදරණීය රංග ශිල්පියා මෙවර අප සමග තාත්තාගේ භූමිකාවට සමීපව අදහස් දක්වාවි. මේ දිනවල බොහෝ දෙනා රොෂාන්ට වඩා කතා වන්නේ ටික් ටොක් තරුවක් වූ ඔහුගේ සිඟිති පුතු මිනෙත් ගැනය. ඉතින් ඒ ගැනත් අපි රොෂාන්ගෙන් විමසමු. 

රොෂාන් මුලින්ම ‘රයිඩර්’ ෆිල්ම් එක ගැන කියමු? 

රයිඩර්, රජිත හිරාන් (පිංපොං) ගෙ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. සනත් ගුණතිලක, අනුජ් රණසිංහ, දසුනි සිනෙත්මා, චිලී තිලංක, රයන් ඇතුළු ශිල්පී පිරිසක් රඟපානවා. මෙය ක්‍රියාදාම චිත්‍රපටයක්. මම මෙහි රඟපාන්නේ පෙම්වතාගේ චරිතය.

රොෂාන් අපි කතා කරමු. සැබෑ ජීවිතයේ තාත්තාගේ භූමිකාව ගැන. කොහොමද ඒ භූමිකාව? 

රංගන වෘත්තියට අමතරව වැඩිපුරම කාලය යොදවන්නේ ගෙදර ඒ තාත්තාගේ භූමිකාවට. කලාවෙ වැඩ කටයුතු නැති වෙලාවට වැඩි කාලයක් ගත කරන්නෙ පුතා එක්ක. 

තාත්තා කෙනෙකු වීමෙන් පසුව ඒ තාත්තා නමැති හැඟීම දැනෙන්නෙ කොහොමද? 

ජීවිතයේ මුහුණ දීමට සිදුවන සෑම දෙයකටම අපට මුහුණ දීමට සිදුවෙනවනෙ. ඒ වගේම අපි ඒ භූමිකා ගැන සිදුවීම් ගැන කලින් හිතන්නෙ නැහැනෙ. ඒ අවස්ථාවට එළැඹුනාම අපි ඊට  හුරුවෙනවා. දරුවකු පවුලට ආ පසු ඉබේම ඒ වගකීම් කියන දේ අපි බාර ගන්නවනෙ. අද මම අන් සියලු දේට වඩා හොඳට කරන්නේ පියෙකුගේ භූමිකාව කියලයි හිතන්නෙ. පි​ෙයකුවීමට පෙර ඒ ගැන බරපතළව මට හිතුණෙ නැහැ. මිනෙත් සහ මා අතර අද තියෙන සම්බන්ධය දිහා බලන විට සහ මගෙයි බිරිඳ කුෂ්ලානිගෙයි වගකීම නිසා තමයි මිනෙත්ව අද සමාජය වුනත් දන්නෙ කියලා හිතෙනවා. දරුවකුගේ ප්‍රතිරූපය ඒ විදියට හදන එක සහ පෞර්ෂය එක්ක සමාජය ඔහුව හඳුනනවා නම් අම්මයි තාත්තයි ඒ දරුවාව හොඳින් මෙහෙයවන බව තමයි කියන්න පුළුවන්. 

ඔබ පියකු වී අද මේ විදියට කටයුතු කරද්දී ඔබගෙ තාත්තා ගැන අද ඔබට හිතෙන්නෙ කොහොමද? 

තාත්තා කෙනෙකු වූ පසුව තමයි මගේ තාත්තාගේ අගය තවත් වැඩිවුණේ. ගෙදරදී අපි බොහෝ වෙලාවට වඩාත් සමීප අම්මට. හැම දෙයක්ම කියන්නෙ අම්මටනෙ. ඒ නිසා තාත්තාගෙ භූමිකාව අපට අම්මා තරමට සමීප වුණේ නැහැ. ඒක සෑම තාත්තා කෙනෙකුගේම ස්වභාවය වෙන්නැති. තාත්තාගේ සේවය සිදුවන්නෙ නිහඬව. ඒ ගැන මට වඩාත් හොඳින් දැනෙන්න පටන් ගත්තේ මම තාත්තා කෙනෙක් වූ පසුවයි. මගේ තාත්තාගේ අගය දැන් තමයි මට හොඳටම තේරෙන්නෙ. තාත්තා කෙනෙකුවීම සමග මගේ තාත්තා ගැන සංවේදී වන අවස්ථා පෙරට වඩා වැඩියි. මගේ තාත්තාත් මම මිනෙත්ව බලා ගන්න විදියටම එදා මාව බලා ගන්න ඇති. දරුවකුට බනින්නෙ උපදෙස් දෙන්නෙ එයාගෙ යහපතට මිස අයහපතට නොවෙයිනේ. 

පුතා දඟ වැඩ කරද්දී රොෂාන්ට කේන්ති යන්නෙ නැද්ද? 

කවදාවත් එහෙම වෙන්නෙ නැහැ. එයා ඉපදුණ දා ඉඳලම මමයි කුෂ්ලානියි වැඩිපුර කාලය ගත කළේ මිනෙත් එක්ක. ඒ විදියට කාලය ගත කළ නිසා තමයි අද මිනෙත් වෙතින් අපට පෞර්ෂයක් වගේම ඉදිරිපත්වීමේ ලක්ෂණ දකින්න ලැබෙන්නෙ. එයා ගායනය කරද්දී එක්කෝ මම එය අහගෙන ඉන්නට ඕනෑ. නැතිනම් වාදනයෙන් සහාය වෙන්නට ඕනෑ. 

එයාගෙ එක එක විදිය අනුව වෙලාවකට එයාව නාවන්න කවන්න පොවන්න කතා කරන්නෙ මට. කොහේ හරි යද්දි එයාට මා ළඟ ඉන්න ඕනෑ. රථය පදවද්දි, පිටුපස බලලා මට සහයෝගය දක්වනවා. ඒ විදියට දරුවකු කුඩා කල සිට මෙහෙයවීම හරි වැදගත්. සෑම දෙයක්ම කරන කුෂ්ලානි වගේම මටත් ඒ වෙනුවෙන් කාලය වැය කරන්න වෙනවා. කවදාහරි එයාට ඉතුරුවන්නේ සොඳුරු මතකයනෙ. කාර්යබහුල වුනාට මිනෙත් එක්ක කාලය ගත කරන්න කොහොම හරි මම වෙලාව කලමනාකරණය කර ගත්තා. කාර්යබහුලයි කියලා මිනෙත් එක්ක සිටිය යුතු කාලය පැහැර හැරියෙ නැහැ. 

සමහර අය කියන්නේ අද රොෂාන්ට වැඩිය මේ කුඩා පුතු සමාජ මාධ්‍යයේ ජනප්‍රියයි කියලයි? 
ඒක හරියටම හරි. වෙන්න ඕනැත් ඒකම නේද? 

ඒ ගැන මොකද හිතෙන්නෙ? 

මට ඇත්තටම තියෙන්නේ ඒ ගැන අඩම්බරයක්. ඒ වගේම ලොකු සතුටක්. පුතෙකු තමා හිටිය තැනට වඩා වැඩි තැනකට ලොකු තැනකට යනවා දැකීම ඕනෑම තාත්තෙකුගේ අරමුණයි. මවකගෙ සතුටයි. 

කොහොමද මිනෙත් ටික් ටොක් තරුවක් වුණේ? අම්මා ද ඒකට මුල් වුණේ? 

එයා ආස දේ එයා කරන වෙලාවට කුෂ්ලානි ඒ දේ වීඩියෝ කරනවා. අපි කියා දීලා නෙවෙයි. දරුවකු නිර්මාණශීලිව යමක් කරද්දී අද කාලයේ ඕනෑම මවක හෝ පියකු ඒ දේ වීඩියෝ කිරීම වගේම ඡායාරූප ගැනීම කරනවනෙ. අපටත් ඒක පොදුයි. ඒ කාලයේ අපි කළ කී දේ ඡායරූප විතරයිනෙ ගන්න පුළුවන් වුණේ. අද රෙකෝඩ් කරන්න පුළුවන්නෙ. අද තාක්ෂණය නිසා පුතා කරන සියලු දේ අපි ළඟ තියෙනවා. 

එයා ගායනයට නර්තනයට මේ වගේ හුරු වුණේ රොෂාන් සහ කුෂ්ලානි ඒ ගැන කියා දීලා ද? 

විශේෂයෙන් කියලා අපි කියා දීලා නෙවෙයි සමහර අවස්ථාවලදී මම ටී.වී. ප්‍රෝග්‍රෑම්වල ගයද්දී එයා ඒවා දකිනවා. මංගල උත්සවවලට එහෙම  ගියාමත් මම ගායනා කළොත් එයා ඒවා බලාගෙන ඉන්නවනෙ. ඒ හුරුව තමයි එයාට තියෙන්නෙ. මේ මෑතකදී බොහෝ දෙනෙක් අතර හුවමාරු වුණේ අපි මුදා හැරි වීඩියෝ එකක් නෙවෙයි. මංගල්‍යය උත්සවයකට ගිය වෙලාවෙ ඒ උත්සවය කළ අයම තමයි ඒ වීඩියෝව මුදාහැර තිබුණෙ. මම සිංදු කියද්දී එයාටත් සිංදු කියන්න ඕනෑ කියලා ඇවිත් එයත් මා එක්ක ඒ සිංදුව කිව්වා. ඒකට තමයි විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙන්නෙ. එයා ගැයුවෙ විශාරද ජගත් වික්‍රමසිංහගෙ සාගර තරංගා ගීතය. දවසක් ටී.වී.  ප්‍රෝග්‍රෑම් එකකදී මම ඒ ගීතය ගැයුවා. ගෙදරදිත් වෙලාවකට ඒක මුමුණනවා. මිනෙත් ඒක දකින්න ඇති. එයාට ගීතයක තාලය හරි ඉක්මනට අල්ලා ගන්න පුළුවනි. මේ දිනවල මිනෙත්ගෙ ජනප්‍රිය වෙලා තියෙන්නෙ මලට බඹරෙකු සේ වීඩියෝව. ක්ලැරන්ස් මහතාගේ ඒ ගීතය මම ගෙදරදි මුමුණනවා. මිනෙත් ඒක අහගෙන ඉඳලා තමයි මලට බඹරෙකුසේ ගැයුවේ. 

මේ වනවිට රොෂාන්, පුතා වෙතින් හඳුනාගත් දක්ෂතා මොනවද? 

දැනට පුතා කරන දේ තමයි. ඒ කියන්නෙ ගායනය සහ නර්තනයට දක්ෂයි වගේ පෙනෙනවා. ඒ වගේම රඟපෑමටත් පුතා දක්ෂයි. කුඩාම කාලයේ ඉඳලම එයාගෙ මුහුණේ ඉරියව් සහ ප්‍රකාශනයන් එක්ක තමයි එයා ඉදිරිපත් කරන්නෙ. කලා ක්ෂේත්‍රයේ සිටින මගේ හිතවත් අය සහ අනෙක් තරු අතරින් මට වඩා පුතා ගැන තමයි අදහස් ප්‍රකාශ වෙන්නෙ. එයා අනාගතයේදී ඉතා දක්ෂ ශිල්පියකු වේවි කියලා තමයි මිනිස්සු කියන්නෙ. එයාගෙ ගායන හැකියාව මම හඳුනා ගත්තෙ පොඩිම කාලයේදීයි. මෙලඩි එකක් දැනුණොත් එයා ඒ ගීතය හතර පස් වතාවක් අහනවා. පැතූ පෙම් පැතුම් මල් ගීතය ගයන්න ගත්තෙ මම රඟපාන රූප රාමු දැකලා වෙන්නැති. 

ඔබ කියන්නෙ පුතුට සහජ හැකියාවක් තියෙනවා කියලද? 

අනිවාර්යයෙන්ම එහෙම දෙයක් පෙනෙන්නෙ. මොකද අපි උගන්වලා කියන දේ නෙවෙයි. මගේ රසාස්වාදය තියෙන්නේ ශාස්ත්‍රීය සංගීත අංශයට. හැබැයි මිනෙත් පොප් සංගීතයට බෙහෙවින් ප්‍රිය බව පෙනෙනවා. 

කොහොමද එයා පෙර පාසලේදී දඟ වැඩ කරනවද? 

එයාගෙ පළමු ප්‍රසංගයට සහභාගි වුණේ පසුගිය සැප්තැම්බරයේදී. එදා එයා ගායනයට සහ නර්තන අංගයකට එක්වුණා. ඒ වෙනුවෙන් පෙර පුහුණුවීම් කරද්දී එයා හරියට ඒවා කරන්නෙ නැහැ කියලා ටීචර්ස්ලා කියලා තිබුණා. එදාට කරන්නම්කො කියලා ටීචර්ස්ලාට කියනවලු. ඉතින් මෙයා හරියට නොකරාවි කියලා ටීචර්ස්ලා බයේ ඉඳලා තියෙන්නෙ. කොහොමහරි අන්තිමට ප්‍රසංගය දවසේදී හැමෝගෙම අවධානය ගන්න එයාට පුළුවන් වුණා. ප්‍රින්සිපල් පවා අහලා තිබුණෙ කාගෙද මේ දරුවා කියලයි. එ වගේ එයා හරි ක්‍රියේටිව්. ටීචර්ස්ලා පවා උපදෙස් දෙනවලු. එක් ටීචර් කෙනෙක් මෙයාගෙ පිටුපස ඉඳලා මවක් වගේ එයාට කියාදීලා මේ විදියට එයාව ස්ටේජ් එකට යොමු කළ බව කියන්න පුළුවන්. එයාව අරන් තියෙන්නේ ප්‍රසංගයේදී ගැයුමකට විතරයි. ඒත් මෙයා බලෙන්ම නර්තන අංගයකුත් ඉල්ලගෙන. ඉතින් ටීචර්ස්ලා මෙයාව උනන්දු කරමින් පුහුණු කරලා. 

සඳුන් ගමගේ