ඩැෆඩිල් මලේ සින්දුව ලීවේ සුදු කෙල්ලකට
ශීත ඍතුවේ අග භාගයේදී වසන්තය එන වග දැනෙන්නේ ඩැෆඩිල් මල් හැඩට පිරී හිනැහෙන විටය. ගිරිගඩු පිපෙන සීතල මඳින් මඳ දුරුවෙමින් සිරුරට දැනෙන වසන්තයේ සුවය ඩැෆඩිල් මල් යායක් මැදින් ඉදිරියට ඇදී යන විට වඩාත් මිහිරට දැනෙන්නේ එබැවිනි. ඉතින් වසන්තය එන වග කියන ඩැෆඩිල් මලක් වන් යුවතියක් සිත සොරාගෙන ගිය වග අපට කියන්නේ ඔහුය. වසන්තය උදාව ඩැෆඩිල් මල් හිනැහෙමින් ලොවට කියන්නා සේම ඒ මලේ කතාවෙන් ඔහුගේ නිර්මාණ ජීවිතයටද වසන්තය උදා විය. අද හදසර My Story සමඟ ඔහුගේ කතාව කියන්නට අප සමඟ එක්වන්නේ චාමින්ද රත්නසූරියයි.
සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ
හිම වාගෙ සුන්දර හසකැන් රඳවා හදේ
මුමුණා කියන්නෙ නල රැලින් කඳු මානයේ
ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනේ...
ජනප්‍රියත්වයට පත්වූ මගේ පළමු ගීතය තමයි ඩැෆඩිල් මල. පූර්ව නිර්මිත තනුවකට තමයි ඒ ගීතය මම රචනා කළේ. තනුව නිලූෆ(ර්) පෙරේරා. සංගීතය කරුණාරත්න විජේවර්ධන. දයාන් විතාරණ ගායනා කළේ. මම ඉස්සර කිත්සිරි ජයසේකරගේ ශබ්දාගාරයට නිතරම යනවා. එනවා. එහිදී තමයි එවක ජනප්‍රිය ඡායාරෑප ශිල්පියකු වූ දයාන් විතාරණ හමුවුණේ. සංගීතවේදී සමන්ත පෙරේරාත් එතැන හිටියා. සමන්ත තමයි මට කිව්වේ, මේ දයාන් ගීත එකතුවක් කරනවා. ඒකට අලුත් ගීතයක් ලියලා දෙන්න කියලා. මෙහෙම කතාබහක් ඇතිවෙලා පසුව මම කිත්තගෙ (කිත්සිරි ජයසේකර) ස්ටූඩියෝ එකට ගිය දවසක මට තනුවක් ලැබුණා. එය නුවර අරන් ඇවිත් ඇහුවා. ඒ වෙලාවෙ එතරම් දෙයක් ලියන්න ආවෙ නැහැ. පස්සෙ සති දෙකක් විතර ගතවෙලා ගියාට පසුව එක දවසක එහෙමම ඔය ගීතය එක සැරේටම ලියැවුණා. මේ ගීතය ඇතුළෙ කතා කිහිපයක්ම අන්තර්ගතවෙලා තියෙනවා. අපි ඉදිරියේදී ඒ කතා අහමු.
චාමින්දගේ උපන් ගම මහනුවර තැන්නෙකුඹුර ප්රදේශයයි. ඔහු පාසල් ගියේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයටය. දරුවන් සිව්දෙනකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවා වුණේ ඔහුය. ඔහුට සිටින්නේ බාල සොයුරන් තිදෙනකුය. මේ වනවිට ඔවුන් සියල්ලන්ම විවාහකය. මව දයා පුංචිහේවා නම් වන අතර ඇය ගෘහණියකි. ඔහුගේ පියා බී. රත්නසූරිය ව්‍යාපාරික කටයුතුවල නිරත වූ අතර මේ වනවිට ජීවතුන් අතර නැත. හරිම සුන්දර ආදරණීය ළමා කාලයක් අපිට තිබුණා. ලස්සන කුඹුරු යායක් මැදින් කෙත් වතු මැදින් තමයි ගමට යන්න තිබුණේ. ඉස්ලාම්, කිතුනු දේවස්ථාන, හින්දු දේවාලයක් ගම වටේට තිබුණා. ඉතාම සමගියෙන් හිටියා. මතක් වෙද්දිත් ඉතා සොඳුරු අතීතයක් අපිට තිබුණේ. මම උසස් පෙළ කළේ වාණිජ අංශයෙන්. ඇත්තටම කිව්වොත් ඒ කාලෙ මට එහෙම ලියන්න හැකියාවක් තිබුණද කියලා මම දැනගෙන හිටියෙත් නැහැ. චිත්‍ර අඳින්න නම් මට හැකියාවක් තිබුණා. පාසලේ මට යම් ජනප්‍රියත්වයක් ලැබුණේ චිත්රවලට. ඒ කාලේ සාමාන්‍ය පෙළට තිබුණා අඛණ්ඩ ඇගයීම් පැවරුම් කියලා.අපිට තමයි අත්හදා බැලීමත් විදියට පළමු වතාවට එයට මුහුණ දෙන්න වුණේ. එතැනින් පසු එය නැවත ක්‍රියාත්මක වුණෙත් නැහැ. ඉතින් මෙන්න මේ අඛණ්ඩ ඇගයීම් පැවරුම්වලදී සිංහල විෂයට අපිට සඟරාවක් කරන්න තිබුණා. ඉතින් චිත්‍ර අඳින්න පුළුවන් නිසා මම කාටූන් වගේ චිත්‍ර කිහිපයක් ඇන්දා. කවි දෙකකුත් ලිව්වා. කෙටි කතාවක් එහෙමත් ලිව්වා. ඉතින් ඒක ඇත්තටම නොහිතුව විදිහට ආවා. කවි දෙකට ලකුණු 9න් 8ක් තමයි ලැබුණේ. එවක අපේ සිංහල ගුරුවරයා වුණේ සී.බී. යටිවැල්ල සර්. එතුමා දැන් ජීවතුන් අතර නැහැ. එක ලකුණක් කපන්න හේතුව තමයි මම පත්තරයකින් කොපි කරලා ලිව්වා කියලා. ඒක ඒ තරම් හොඳ මට්ටමක තියෙන්න ඇති. එ දා තමයි මට ලියන්න ආසාවක් ඇතිවුණේ... චාමින්ද තම සොඳුරු අතීතය සිහිපත් කරමින් පවසයි.
චාමින්ද රත්නසූරිය යනු ඉතා රුචියෙන් යුතු පොතපත කියවන්නෙකි. එය ඔහු ඇසුරු කරන බොහෝ දෙනෙක් දන්නා කාරණයකි. එයට සීමා මායිම් කිසිවක් නැත. මේ අපූරු පුරුද්ද ඔහුට එන්නේ කුඩා කල පටන්මය. එයට හේතුව චාමින්දගේ මවගේ පියාණන්ය.
ඇත්තටම මගේ සීයා තමයි මගේ මේ ගමනට පෙරමඟ සකස් කළේ. සීයා විමලදාස පුංචිහේවා. එයා මට හැම සතියේම මිහිර පත්තරය අරන් දුන්නා. ඒ වගේම සිළුමිණ පුවත්පතත් සීයා කියවනවා. එහි සාහිත්‍ය අතිරේකය මට අනිවාර්යයෙන්ම කියවනවා. ඔන්න ඔතැනින් තමයි මේ ගමනේ අඩිතාලම සැකසෙන්නේ. මුලින්ම කවියට මගෙ හිත ගියා. පස්සෙ චිත්‍රකතා කියෙව්වා. එයින් පසුව තමයි ගීත ලියන්න මට හිතුණේ. ඉතින් මම උසස් පෙළ සමයේදී තමයි මගේ පළමු ගීතය ලියුවේ. අමීෂා... නමින්. ඒ කාලේ ටියුෂන් පංතියේදී මට පෙම්වතියක් හමුවුණා. ඇය මුස්ලිම් යුවතියක්. ඉතින් ඒ පසුබිම මතින් තමයි ගීතය ලියැවුණේ. විශේෂයෙන්ම කියන්න ඕන මම විෂයක් ලෙස භූගෝල විද්‍යාව හැදෑරුවා. එයත් මේ පාරිසරික සාධක ඒකරාශි කරගත් ලියවිල්ලට හේතුපාදක වුණේ. නිසල සළ තරණේ ගීතය ලිව්වෙත් ඒ කාලේ. නදීක ගුරුගේ, කිත්සිරි ජයසේකර අපේ එකතුව පසුකාලීනව නිර්මාණ ගොඩකට එකතු වුණා.
ගීත රචනයට පිවිසීමත් සමඟ මෙම කලාවේ ඉම් සොයායාමට චාමින්ද උත්සාහ කළේය. විශේෂයෙන්ම මෙරට ගීත රචකයින් පිළිබඳව සොයායමින් එම නිර්මාණ ආකෘති විමසමින් ඔහු ඒ වෙනුවෙන් උත්සාහ කළේය. එමෙන්ම ඉංග්‍රිසි කවිය, චීන හා ජපන් කවිය ඇසුරු කරන්නට ඔහු ආරම්භ කළේය.
E.L. සේනානායක පුස්තකාලය තමයි මගේ කියවීමේ පිපාසය සංසිඳවා ගැනුමට මට යන්න ලැබුණු හොඳම තැන. විලියම් වර්ඩ්ස්වත්ගේ The Golden daffodils මම කියෙව්වා. ඒ වගේම තවත් ලෝ ප්‍රකට ලේඛකයින්, කවීන් මට හමුවුණා. ඒ වගේම ගොඩක් ඉංග්‍රීසි ගීත අහන්නත් මම පෙළඹුණා. එලිසමය රකිමින්, ජන ගී ඇසුරෙන් නිර්මාණය වූ සාම්ප්‍රදායික ගීත රාමුවෙන් බැහැර නිර්මාණවලට යන්න මට ඒවා දැඩි බලපෑමක් වුණා. නදීක ගුරුගේ නිතර කියන දෙයක් තමයි මා ලියන වචන සමඟ සංගීතඥයාට වැඩි කාර්යභාරයක් පැවරෙනවා කියන එක. ඒක ඇත්ත. යම් අභ්‍යාසයකට පසුව නවතම තනුවක් එවිට නිර්මාණය වෙනවා. ඉතින් එවන් වූ නිර්මාණ රසිකයින් වැළඳ ගැනීම පුදුමයක්ද? කසුන් කල්හාර, කිත්සිරි ජයසේකර, අමල් පෙරේරා, නදීක ගුරුගේ, නදීක ජයවර්ධන, ලෙලුම් රත්නායක වැනි ශිල්පීන් සමඟ එක්ව නිර්මාණය කළ ගීත ගණනාවක්ම මෙරට ගීත ශ්රාවකයින් තදින් වැළඳ ගැනීමෙන්ම ඒ බව පැහැදිලි වේ. චාමින්ද මුලින්ම එක්වූයේ දැන්වීම් ප්‍රචාරණ කලාව සමඟය. සන්නාම ප්‍රවර්ධනය වෙනුවෙන්, තේමා පාඨ නිර්මාණය වෙනුවෙන් දශක කිහිපයක් තම නිර්මාණ දායකත්වය ලබා දුන්නේය. වේදිකා නාට්‍ය නිර්මාණ සඳහා එක්වුණේය.
ගොඩක් වෙලාවට මට යාළුවෝ බනිනවා රුකියාවන්වල එක තැනක නොසිටීම ගැන. ඒත් මට ඕන කලාවේ සුන්දර ඉසව් සොයායන්න. ගුවන් විදුලි, රෑපවාහිනී නාලිකා ප්‍රවර්ධනය සඳහා වන තේමා පාඨ රචනයට මාව එක්කළේ ජයකොඩි කියලා මගේ මිතුරෙක්. 1997 දී පමණ නුවර තිබුණ බිස්කට් නිෂ්පාදන ආයතනයකට තේමා පාඨයක් ලියලා දුන්නා. එයට එහි හිමිකරු ඉතාමත් කැමැති වුණා. මට රුපියල් 500/-ක් ලැබුණා. එය තමයි දැන්වීම් කලාවේ මගේ ආරම්භය. ඔහොම දිගටම මම වෙළඳ දැන්වීම් ප්‍රචාරණ කලාවේ නිරත වුණා. මතක් කරන්න ඕන නීලා අක්කව. (අභාවප්‍රාප්ත ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ) මට කිත්සිරිගේ ශබ්දාගාරයේදී තමයි ඇය හමුවුණේ. ඩැෆඩිල් මල ජනප්‍රිය වූ කාලයේ ඇයත් මගෙන් ගීයක් ඉල්ලුවා. නදීක ගුරුගේ සහ මා ගීත දෙකක් නිර්මාණය කළා. ඔය අතරේ තමයි මම නීලා අක්කාට කිව්වේ මම දැන්වීම් කලාවට කැමැතියි. මට ඒ වෙනුවෙන් උදව් කරන්න කියලා. අර්වින් වීරක්කොඩි කියන්නේ ඇයගේ හිතවතෙක්. ෆීනික්ස් ඔගිල්වි ආයතනයට මාව සම්බන්ධ වුණේ එතැනින්. එතැනින් තමයි මගේ දැන්වීම් කලාවේ ආරම්භය සිදුවුණේ. බොහෝ දේ ඉගෙන ගත්තේ එතැනින්. මම ඒ ආයතනයට ගිහින් කළ පළමු ව්‍යාපෘතියටම මට ස්ලිම් සම්මානය දිනාගන්න පුළුවන් වුණා.
චාමින්ද පසුකලෙක රොමාන්තික ඔපෙරාව තම රසිකයන්ට තිළිණ කළේය. 2013 දී රැඩිකල් රොමාන්තිකයා අපට හමුවිය. විවාහය පිළිබඳව එතරම් කැමැත්තක් නොවූ කලක ඔහුට ඇය හමුවිය. ඇය කෞෂල්‍යා විජේවර්ධනය. දැන් ඔවුන්ට දසිස් රාවණ නමින් පුතෙක් සිටින අතර ඉතා මෑතකදී රායා චාර්වී නම් දියණියක්ද ඔවුන්ගේ කැදැල්ලට එක්විය.
මට දිනේෂ් කියලා යාළුවෙක් හිටියා. ඔහු බොස්නියාව හරහා ඉතාලියට යන්නට ගියා. අතරමඟදී බොස්නියාවේ කඳවුරක සති කිහිපයක් ඔහුට ගත කරන්න සිදුවුණා. යුද්ධයට මැදිවෙලා ජීවිත අවදානමක ඉන්න විට සුන්දර යුවතියක් ඔහුට හමුවෙලා ප්‍රේමයක් ඇතිවුණා. ඔහු මට ලියා එව්වා මේ ගැන ඇයගෙන් සමුගන්න බැරි බව. වසන්තයක් එන වග කියලා ඇය ආවත් ඔහුට ආපසු යන්න ඕන තමන්ගෙ ගමනාන්තයට. ඉතින් එය හරිම වේදනාත්මක අත්දැකීමක්. මේ කතාවේ ඉන්නේ බටහිර යුවතියක්නෙ මේ සියල්ල එක් කරලා තමයි මම ඩැෆඩිල් මල ලිව්වේ.*මුලින් පොරොන්දු වූ ලෙසම ඔහුගේ කතාව අප හා ඔහු බෙදාගත්තේ එලෙසිනි. ඉතින් චාමින්ද ගීතයේ නැවුම් මානයන් ස්පර්ශ කරමින් සොඳුරු නිර්මාණ කරන්නට ඔබට අප සුබපැතුම් එක් කරන්නෙමු.
මොනිකා සේරසිංහ / සේයාරූ - අන්තර්ජාලයෙන්