ඩුබායිවල ජනප්‍රිය ලාංකීය රූපලාවන්‍ය ශිල්පියා නිමේෂ්
ජාත්‍යන්තර මට්ටමේ රූපලාවන්‍ය ශිල්පියෙක් සමග මෙවර අප කතා කළා. ඔහු නමින් නිමේෂ් එදිරිසිංහ. දැනට ඩුබායි හි ජිවත්වන අතර, බොහෝ පිරිසකගේ අවධානයට ලක්වූ දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙකුද වෙයි. මේ දිග හැරෙන්නේ ඔහු සමග අප කළ කතා බහයි.
රූපලාවන්‍ය ශිල්පියෙක් විදිහට ඔබගේ ගමන ඇරඹුණේ කොහොමද?
මේක මගේ හීනයක්. තෙරේන කාලේ ඉඳලාම මට ලොකු ආසාවක් තිබුණා ජාත්‍යන්තර මට්ටමේ රූපලාවන්‍ය ශිල්පියෙක් වෙන්න. ඉතින් පාසල් අධ්‍යාපන කටයුතු නිමා කරපු ගමන් මම ඒ ගමන ආරම්භ කරන්න හිතුවා. මුලින්ම මම 2020 වසරේදී නුවර තිබුණ ඩිම්රෝන් රූපලාවන්‍ය පාසලට සම්බන්ධ වුණා. එතැනින් මේකඅප්, හේයාර් ස්ට්‍රයිල් ඇතුළු රූපලාවන්‍ය ශිල්පියෙකු වීමට අවශ්‍ය හැමදෙයක්ම වගේ ඉගෙන ගත්තා. ඊට පස්සේ කැකිරාවේ සැලෝන් ශෂි එකට සම්බන්ධ වෙලා රූපලාවන්‍ය ශිල්පියෙක් විදිහට අත්දැකීම් බොහෝමයක් එකතු කරගත්තා. ඒත්, මගේ හීනේ වුණේ ජාත්‍යන්තර මට්ටමේ රූපලාවන්‍ය ශිල්පියෙක් වෙන එක. ඒ නිසා මම ඩුබායිවලට ආවා. ඇවිල්ලා නෝර්ඩික් ඉන්ටර්නැෂනල් බියුටි ඇකඩමියට සම්බන්ධ වෙලා මිස්ටර් බීබෝ යටතේ අලුත් විදිහට රූපලාවන්‍ය පිළිබඳව ඉගෙන ගත්තා.
මුලින්ම කෙනෙක් හැඩ ගැන්වූ අවස්ථාව මතකද..
ඩිම්රෝන් රූපලාවන්‍ය පාසලේදී ඉගෙන ගත්ත දේවල් මම අම්මවයි, නංගීවයි එකතු කරගෙන පුරුදු පුහුණු වුණා. ඒ අයව හැඩ ගැන්වූවා කොණ්ඩ විලාසිතා කළා. අම්මාගේ වගේම නංගීගෙත් තිබුණේ දිග කොණ්ඩයක්. ඒ නිසා කොණ්ඩ විලාසිතා දාන්න මට ගොඩක්ම අමාරු වුණා. හැබැයි මට ඒක ලොකු ප්‍රයෝජනයක් වුණා මගේ හැකියාවන් වර්ධනය කරගන්න. රූපලාවන්‍ය පාසලේ හැම ප්‍රායෝගීක වැඩසටහනකදී වගේම මම හැඩ ගැන්වූයේ මගේ නංගිව. ඒ උඩරට මනාලියක් විදිහට. අවස්ථා කිහිපයකදීම මම ඩිම්රෝන් රූපලාවන්‍ය පාසලේදී ප්‍රායෝගීක වැඩසටහන්වලදී ජයග්රහකයාත් වුණා.
රූපලාවන්‍ය ශිල්පියෙක් විදිහට මේ ආපු ගමන ගැන තෘප්තිමත්ද..
ඇත්තටම, ගොඩක් සතුටු වෙනවා. ඩුබායිවලට ඇවිල්ලා පොඩි කාලයක් තුළදී මම ගොඩක් වැඩ කළා. මගේ වයසත් එක්ක ගත්තොත් ඒක ලොකු අභියෝගයක් කිව්වොත් හරි. මුල් කාලයේ නම් වැඩ හදාගන්න ටිකක් අමාරු වුණා. මොකද, මම රූපලාවන්‍ය ශිල්පියෙක්නේ. ඩුබායි වගේ රටක රූපලාවන්‍ය ශිල්පියෙක්ට වැඩ හදාගන්න ඒක අමාරුයි. ගොඩක් වැඩවලදී මාව ප්‍රතික්ෂේප වුණා. ඒත්, මගේ පවුලේ අයගෙනුත්, යාළුවන්ගෙන් ලැබුණ සහයත් එක්ක කොහොම හරි මම මගේ ගමන ගොඩ දාගත්තා. අද මම ඩුබායිවල ගොඩක් අය දන්න රූපලාවන්‍ය ශිල්පියෙක් කියලා සතුටින් කියන්න පුළුවන්.
විදෙස් රටක මේ වගේ දේකට තියෙන ඉල්ලුම කොහොමද..
ලංකාවේ ගත්තාම රූපලාවන්‍ය කිව්වාම හැමෝටම මතකයේ තියෙන්නේ මනාලියන් හැඩගැන්වීම විතරයි. හැබැයි ඩුබායිවල තියෙන විලාසිතා කර්මාන්තය තුළ මේකඅප් කිව්වාම පැති ගොඩක් තියෙනවා. ඩුබායිවල මම පැජන්ට්, ෆැෂන් ෂෝ, පොටෝ ෂූට්, කමාර්ෂල්, ටිවි ප්‍රෝගෑම් වගේ දේවල් කරනවා. රූපලාවන්‍ය ශිල්පියෙක් වුණාම එකම රාමුවකට කොටු වෙලා ඉන්න නරකයි. හැමදේම කරන්න උත්සාහ කරන්න ඕනා. අපි කරන වැඩේ ලස්සනයි නම් අපිට කොහේ ගියත් වැඩ හදාගන්න ඒක අමාරු නැහැ. අද මම මනාලියන් හැඩ කරන්නෙක් විදහට ලොකු ප්රතීරූපයක් ඩුබායිවල ගොඩ නගාගෙන තියෙනවා.
මැදපෙරදිග රටක මනාලියන් හැඩගැන්වීම තරමක් අසිරු කටයුත්තක් නේද..
ලංකාවේ ගොඩක් කට්ටිය ඉන්නවා මෙහේ. එයාලා සැළසුම් කරනවා මේ වගේ රටක එයාලාගේ විවාහය සැළසුම් කරන්න. ලාංකීකයන් විතරක් නෙමෙයි ඉන්දියන් අයත් මෙහේ ඉන්නවා. ගොඩක් වෙලාවට එයාලාගේ විවාහ මංගල අවස්ථාත් ලස්සන කරන්න මට අවස්ථාව දෙනවා. පරිභෝගික හැමෝම බලන්නේ තමන්ගේ වැඩේ වෙනස් විදිහට ලස්සනට කරගන්න. ඉතින් මම මගේ උපරිමය දෙනවා ඔවුන්ගේ හිතේ ඇඳුණ විදිහටම ඒ අයගේ විවාහ මංගල්‍යය ලස්සනට කරලා දෙන්න. මට ලැබෙන හැම වැඩක්ම මම එකිනෙකට වෙනස් විදිහට කරනවා. ඒ නිසා ගොඩක් අය කැමතියි මාව ඔවුන්ගේ වැඩේට සම්බන්ධ කරගන්න.
ඔබ අද වෙන කොට රූපලාවන්‍ය ශිල්පියෙක් විදිහට ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා..
මට හිතෙනවා මම හරිම වාසනාවන්තයි කියලා. මොකද. මට මේ තරම් දුරක් එන්න මගේ හයියට ලොකු පිරිසක් මා පසුපස හිටියා. මගේ අම්මා, අප්පච්චි දෙන්නා විශේෂයෙන්ම. මගේ හීනේට යන්න ඒ දෙන්නා හැම පැත්තකින්ම මට උදව් කළා. මම දැන් ජාත්‍යන්තර මට්ටමේ රූපලාවන්‍ය ශිල්පියෙක්. ඒ ආපු ගමනෙන් කොටස් මගේ අම්මටයි අප්පච්චිටයි හිමිවිය යුතුයි. අනිත් කෙනා තමයි මගේ නංගි. එයා තමයි මුලින්ම මගෙන් වැඩක් ගත්තු කෙනා. ඒ එක්කම අයියලා දෙන්නා අක්කලා දෙන්න මතක් කරන්න ඕනා. මුල්ම ගුරුවරු වුණ ඩිම්රෝන් රූපලාවන්‍ය පාසලේ පෙමිලා, වාසනා හා සුජානි ගුරුතුමියන් විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි. ඊට අමතරව ඩුබායිවල ඉන්න හර්ෂනි අක්කා, ශෂිකාන්ත් අයියා, රුවනි අක්කා වගේම මගේ හොඳම යාළුවා යූඩි අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනා. මුලින්ම මම වැඩ කරපු කැකිරාවේ ශෂි සැලෝන් එකේ ශෂිකා අක්කා, ලක්ෂාන් බ්‍රයිඩ්ල් එකේ දර්ශන අයියාවත් මේ වෙලාවේදී ආදරයෙන් මතක් කරනවා.
බුද්ධික සේනාධීර