ටුමාරෝලැන්ඩ් ප්‍රසංගයක අසිරිය විඳගන්න පුළුවන් ප්‍රසංගයක් මේක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංගීත ලෝලීන්ට වෙනස්ම ආරේ ප්‍රසංගික අත්දැකිමක් ලබාදෙන සුවිශේෂි ප්‍රසංගයක් එළැඹෙන අප්‍රේල් 29 වැනිදා කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේදී පැවැත්වේ. DJ සංගීත ශිල්පින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ දක්ෂ නර්තන ශිල්පියෙක් ලෙස රටක් දන්න ලලිත් පැරකුම් විසිනි. මේ වැඩ කටයුත්ත පිළිබඳව සාරවිට අප ඔහුගෙන් තොරතුරු විමසුවා.

ප්‍රසංගය ගැන අපි මුලින්ම කතා කරමු?

ලංකාවේ අතිදක්ෂ DJ සංගීත ශිල්පින් අට දෙනෙකුගේ සහභාගිත්වයෙන් කරන අපුරු සංගීත ප්‍රසංගයක් මේක. ප්‍රසංගයේ නම් තමයි NEVERMORE. අප්‍රේල් 29 වැනිදා සිට පසුවදා පහන්වන තුරු මේ ප්‍රසංගය අපි පවත්වන්නට සැළසුම් කරලා තියෙනවා. ඒ කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේදී.

මේ ප්‍රසංගයේ විශේෂත්වයක් තියෙනවාද?

උදාහරණයක් විදිහට ගන්න ලෝ ප්‍රකට ටුමාරරෝලැන්ඩ් ප්‍රසංගය. අන්න ඒ විඳිහේ ප්‍රසංගික අත්දැකිමක් ලංකාවේ සංගීත ලෝලීන්ට ලබාදීමේ අරමුණින් තමයි මේ ප්‍රසංගය අපි සංවිධානය කළේ. මේ ප්‍රසංගයකට අපි සකසන වේදිකාව අඩි 90ක් උසින්ද අඩි 70ක් පළලකින්ද වෙනවා. ඒ වගේම ලංකාවේ ප්‍රසංගවල දකින්නට නොලැබෙන සුවිශේෂි විදුලි ආලෝක ධාරවලින්ද මෙම ප්‍රසංග වේදිකාව එදාට ආලෝකමතක් වෙනවා. ඒක ලංකාවේ සංගීත ලෝලීන්ට වෙනස්ම අත්දැකිමක් ගෙනදෙයි කියලා මම හිතනවා.

මේ වගේ ප්‍රසංගයක් කරන්න හේතුව ඇයි?

පසුගිය කාලේ නොයෙකුත් විදෙස් කලාකරුවන් ගෙනැල්ලා ලංකාවේ ප්‍රසංග කළා රටට ඩොලර් හොයනවා කියලා. නමුත්, ඒ ප්‍රසංග පැවැත්වීමෙන් වුණේ ලංකාවේ තිබුණ ඩොලර් ටිකත් ඒ විදෙස් කලාකරුවන්ට වියදම් කරපු එක. ඉතින් මම කල්පනා කළා ලංකාවට ඩොලර් ගේන්න ඕනා නම් ලංකාවේම කලාකරුවෝ යොදාගෙන මේ වගේ ලෝක මට්ටමේ ප්‍රසංගයක් පවත්වන්න ඕනා. අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රසංගය නරඹන්න විදේශිකයොත් පැමිණෙයි කියලා. විශාල පිරිසක් අපි අපේක්ෂා කරන්නේ නැහැ හැබැයි කිහිප දෙනෙක් ආවාත් ඒ ඩොලර් ටික ලංකාවට ලැබෙනවා කියන ඉලක්කයේ අපි ඉන්නවා.

ලාභයක් අරමුණු කරගෙනද මේ ප්‍රසංගය කරන්න ඔබ මුලික වුණේ?

ඔව්, හැබැයි ඒ ලාභය මම යොදවන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ අසරණ පාසල් දරුවන් වෙනුවෙන්. ඔවුන්ට අවශ්‍යය කරන පොත්පත් ඇඳුම් පැළඳුම් වගේ දේවල්වලට. දැනට සැළසුම් කරලා තියෙනවා දුෂ්කරව සිටින අපේම පුංචි දරුදැරියන් වෙනුවෙන් මේ ප්‍රසංගයෙන් ලැබෙන ලාභය වෙන් කරන්න. විශේෂයෙන්ම කියන්න ඕනා මේ ප්‍රසංගය මම තනියම සංවිධානය කළේ නැහැ. මා සමග විශාල පිරිසක් ඉන්නවා කියලා මතක් කරන්න ඕනා. විශේෂයෙන්ම තිසර, කස්සා පිටුව, හර්ෂ, රුක්මන් සේනානායක, කල්හාර හා විදුරව මතක් කරන්න ඕනා.

මේ ප්‍රසංගයෙන් පස්සේ ඔබේ ඉඳිරි සැළසුම් මොනවද?

මම හිතනවා මේ ප්‍රසංගය ලොකු සාර්ථකත්වයක් ලබයි කියලා. එහෙම වුණොත් අපේ මිළඟ සැළසුම මේ ප්‍රසංගය ගාල්ල හා නුවරඑළිය නගරවල පවත්වන්න. දැනටමත් අපි ඒ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රසංගය අපි ඩුබායිවල විලා ඉන් එකෙත් පවත්වන්න සූදානම් කරලා තියෙනවා.

බුද්ධික සේනාධීර