ජීවිතේ සමහර තැන් තියෙනවා මෙහෙම වුණා නම් හොඳයි කියලා හිතෙන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2009 වසරේ ටීවී දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගත් ගම්‍යා විජයදාස යනු ලෝක රූ රැජින තරඟය සඳහාද ලංකාව නියෝජනය කළ සුරෑපිණියකි. ඇය මෙරටට විශේෂ වන්නේ  ලාංකීය රෑ රැජිනියක් නිසාම නොව ජැක්ලින් ෆර්නැන්ඩ්ස්ගෙන් පසු නිළියක ලෙස ඉන්දියානු සිනමාවට පා තබන්නට අවස්ථාව හිමිකරගත් රූප රාජිනියක ලෙසිනි. ඉන්දියානු සිනමාවට නර්ථනයෙන් වගේම රංගනයෙන් දායක විමට වාසනාව ලද ඇය  ඉන්දියානු  සිනමා පට ත්‍රිත්වයකට රංගනයෙන් දායක වී ඇති අතර wrong way ඇය දාකවූ චිත්‍රපට අතුරින් ඉහළ ජනාදරයක් දිනා ගත් නිර්මාණයකි. ඉන්දියාවේ ලාංකීය සිනමාවට පා තැබු ගම්‍යාගේ පළමු සිනමා දායකත්වය වන 1970 ලව් ස්ටෝරි තවත් නොබෝ දිනකින් මෙරට තිරගත වීමට නියමිතය. 

ගම්‍යාව සිනමාවෙන් දකින්නේ බොහොම කාලෙකට පස්සේ? 

ඇත්තටම 1970 ලව් ස්ටෝරි කියන්නේ මම ලංකාවේ කරපු  පළමු චිත්‍රපටය. හැබැයි ලව් ස්ටෝරි තිරගත වෙන්න කලින් මම දෙවනුව රඟපාපු යූ ටර්න් තිරගත වුණා. ලව් ස්ටෝරි  රූපගත කිරීම් කළේ 2018 දි. චිත්‍රපටය කරලා අවුරුදු හය හතක් වෙනවා. 

ගම්‍යාට ඉන්දිය සිනමාවෙන් ආරාධනා ලැබුණා. වැඩ කළා ඒ නිර්මාණ ට්‍රෙන්ඩින් ගියා. කොහොම වුණත් ලාංකීය සිනමාවට ඔබට ඉඩකඩක් දෙන්නේ අරුණ ජයවර්ධන. 

ඇත්තටම ඔව්. අරුණ ජයවර්ධන කියන්නේ ලාංකීය සිනමාවේ මට ලැබුණ සොඳුරුතම පුද්ගලයෙක්. මට මේ අවස්ථාව ලබා දුන්නාට අරුණ අයියාට දසදසහස්වාරයක් ස්තූති කරනවා. මුලින්ම කියන්න ඕන 1970 ලව් ස්ටෝරි අධ්‍යක්ෂක අරුණ ජයවර්ධන අයියා මට මුලින්ම මුණගැහෙන්නේ හිරු මෙගාස්ටාර් වැඩසටහනේ දි. මම එහි නිවේදන කටයුතු කළා. ඒ කාලේ අරුණ අයියාත් එහි නිෂ්පාදන කටයුතු වල හිටියා. අපි කතා බහ කරලා තිබුණාට ලොකු හිතවත්කමක් තිබුණේ නැහැ. නමුත් ඔහු දක්ෂ තිර පිටපත් රචකයෙක් වගේම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්  ලෙස මම ඔහු ගැන දැනන් හිටියා. අරුණ කියන්නේ  නිහඩ චරිතයක්. මම ඔහුව දකින්නේ අඩුවෙන් කතා කරලා වැඩියෙන් වැඩ කරන කෙනෙක් හැටියට. ඇත්තටම අරුණ අයියා මට මේ නිර්මාණයට කතා කළේ කිසිම පෞද්ගලික හැඳුනුම්කමකින් තොරව මම ඒ චරිතයට සාධාරණයක් කරයි කියන විශ්වාසය මත. 

නමුත් මේ පිටපත එයාගේ අතට පත් වුණාම ඔහුට හිතිලා තියෙනවා යම් විදිහකින් මාව රෝසි කියන චරිතයට ගැලපේවි කියලා.  මට මේ ආරාධනාව ලැබෙද්දි මම විදේශගත වෙලා හිටියේ. අපි දුරකථනයෙන් විස්තර කතා කළා. ඔහු මේ පිටපත ගැන කිව්වා. මට හිතුණා රෝසි කියන චරිතය භාරගන්න.  මම ඒ වෙනුවෙන්ම ලංකාවට ඇවිත් ලුක්ටෙස්ට් කළා.  කොණ්ඩ දාලා මේකප් දාලා චරිතයට ගැළපෙනවාද කියලා බලද්දි අධ්‍යක්ෂකතුමා වගේම කණ්ඩායමම කිව්වා 70 දශකයේ පෙනුමට මගේ පෙනුම හොඳින් ගැලපෙනවා කියලා. මේ අත්දැකීම මට ජීවිතේ ලැබුණ ලොකු අත්දැකීමක් . කණ්ඩායම ගැන කියනවනම් ඒ හැම දෙනෙක්ම හරිම මානුෂිය එකමුතුකමින් වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක්. ඒ තුළින් මම ඉගෙන ගත්ත දේ බොහෝයි. ඒ ඇතිවුණ බැඳීම් අපි බෙදාහදාගත්ත දේවල්, රස කතා බොහොමයි. ඒවා මගේ ජීවිත කාලෙටම සුන්දර මතකයක් වෙව්. ලව්ස්ටෝරි චිත්‍රපටය රෑගතකිරීම් අතර ලැබුණ අත්දැකීම් මතක පොතේ හැමදාම තියේවි. 

1970 ලව් ස්ටෝරි සිනමා අත්දැකීම ඔබට දැනුනේ කොහොමද?

මේ චරිතයට පැතිකඩ තුනක් තියෙනවා. ඒ නිසාම මට මේ චරිතය අභියෝයක් වුණා. මේ චරිතයෙදි 70 දශකය අපි යනවා. කාලතරණයෙදි පැතිකඩ කිහිපයකටම යනවා. ඒ අවස්ථා බොහොම විශේෂයි අභියෝගාත්මකයි .මම නිරෑපණය කරන රෝසි කියන්නේ සිනමා නිළියකගේ චරිතයක්. මම චිත්‍රපටය ගැන වැඩිදුර කතාකරන්නේ නැහැ. ආදරයේ අවසන් කැමැත්ත කුමක්ද කියලා මේ සිනමා පටය නැරඹුවහොත් ප්‍රේක්ෂකයාට වටහා ගත හැකි වෙයි කියන තැනින් මම නතර කරනවා.  මේකේ හොල්මන් භුත දේවල් ටිකක් ගැබ් වෙලා තියෙනවා. අපි රූපගතකිරීම් කළේ පැරණි බංගලාවක. අපිට නතර වෙන්න දීලා තිබුණෙත් බංගලාවක්. චිත්‍රපටයේ දේවල් යට සිතේ තිබුණ නිසාද මන්දා අපි නතර වෙලා හිටපු බංගලාවෙත් හයියෙන් හුලගක් ආවත් බය වුණ අවස්ථා තිබුණා. විවිධ අද්දැකීම් වලට මුහුණ දෙන්න වුණා. ඒවා හරිම සුන්දර අත්දැකීම්. 

ඉන්දියාවෙන් පටන් ගත්ත කලාගමන අද ඔබේ ජිවිතේට දැනෙන්නේ කොහොමද?  

මම රූ රැජින තරඟයට යන්නෙම රංගනයට පිවිසීමේ හීනයත් එක්ක. ඉන්දියාවෙ ගෙවපු ජීවිතේ කටුකයි තිත්තයි, පැණි රසයි මේ සියල්ලම තිබුණා. නමුත් මගේ හීනයට යන ගමන අතෑරියේ නැහැ. මම රෑ රැජින තරඟයෙන් පස්සේ ඉන්දියාවට යන්නේ කලාව ඉගෙන ගන්නමයි.  ඉන්දියාවෙදි කලාව ඉගෙනගෙන තමයි ඉන්දිය සිනමාවට මම යොමු වෙන්නේ. ඒවා හිතවත්කම් වලට ලැබුණ නිර්මාණ නෙමෙයි.  රඟපාන්න තිබුණ ආසාව නිසාම මම එරට තිබුණ නිර්මාණ වල තිරපරීක්ෂණ වලට ගියා. සිය ගානක් තිර පරීක්ෂණ වලට මම යන්න ඇති. ඒ අතුරින් මාව නොතේරුන තැන් ගොඩක් තිබුණා. හැබැයි මම අතෑරියේ නැහැ. මගේ දක්ෂතාවට කොයි මොහොතක හරි අවස්ථාවක් ලැබේවි කියන විශ්වාසය තිබුණා. උඩරට පහතරට නර්ථනය වගේම ඉන්දියාවෙදි  භරත කථක් නරථනයන් හදාරලා රංගනය ඇතුළේ මගේ කුසලතාවයන් ප්‍රගුණ කරගත්තා. ඒ වගේම  තෙලිඟු ,හින්දි, දමිළ භාෂාවන් මම හොඳින් ප්‍රගුණ කළා. භාෂා පුහුණුව ඇතුව තමයි හින්දි සිනමාවේ තිරපරීක්ෂණයන්ට මම ගියේ. භාෂා හැකියාවත් ඉන්දීය සිනමාවේ අවස්ථා ලැබෙන්න ඉවහල් වුණා කියලා හිතනවා. පියවරෙන් පියවර  හින්දි සිනමාවේ හින්දි භාෂාවෙන් මට රංගනයට අවස්ථාව ලැබුණා.  දේවත්වයෙන් සලකන කලාව තුල ඉදිරියට යන්න නම් අපේ දක්ෂතාවයන් දියුණු කර ගැනිම පමණයි මම විශ්වාස කරන්නේ. මට ඉන්දියාවේ චිත්‍රපට තුනක්  කරන්න අවස්ථාව ලැබුණා. ඒ කරලා ඉද්දි තමයි මට ලංකාවේ නිර්මාණ වලට ආරාධනා ලැබෙන්නේ .

ඉන්දියාවේ නිර්මාණ වලට ඉදිරියටත් වැඩ කරන්න ආරධනා ලැබිලා තියෙනවද?

මම දායක වුණ ඉන්දියානු සිනමා නිර්මාණ අතර wrong way නිර්මාණයට ලැබුණේ හිතාගන්න බැරි තරම් ප්‍රතිචාරයක්. ඒ අවස්ථාව ඇත්තටම මට ලැබුණේ අහම්බෙන්. නොසිතපු වෙලාවක. ඒ චිත්‍රපටය කළේ ගොඩාක් කැපවීම් කරලා.   wrong way චිත්‍රපට ට්‍රෙන්ඩින් පවා ගියා. ඒ සඳහා දායක වුණාට පස්සේ මට ඉන්දියාවෙත්, ලංකාවෙත්, ඕස්ට්‍රෙලියාවෙත් නිරිමාණ වලට අවස්ථා ගණනාවක්ම ලැබුණා. 

මේ වෙනකොට ඉන්දියාවේ නිර්මාණ කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ලංකාවේ ලැබිලා තියෙන නිර්මාණත් එක්ක බැලන්ස් එකේ කරගෙන යනවා. මම ඉන්දියාවේ වැඩ කරන්න හරිම කැමතියි. අවුරුදු ගණනාවක් ඉන්දියාවේ ඉඳලා ඉන්දියාව කියන්නේ මගේ දෙවෙනි මහගෙදර වගේ. 

මේ දිනවල විකාශය වන චණ්ඩි කුමාරිහාමි ගම්‍යාව වෙනස්ම විදිහකට ප්‍රේක්ෂකයන් අතරට ගෙනයන නිර්මාණයක්.

චරිත් අබේසිංහගේ නිරිමාණයක් වන චණ්ඩි කුමාරිහාමි කියන්නේ මගේ පළමු ටෙලි නාට්‍ය අත්දැකිම . මේ නිර්මාණයේ ප්‍රධාන චරිත අතුරින් එකක් වන හීන් මැණිකාගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. වෙනස්ම චරිතයක් ,වෙනස්ම කතාවක් . මම හරිම ආසාවෙන් දායක වුණ නිර්මාණයක්. මාව විශ්වාස කරලා මේ අවස්ථාව ලබා දුන් අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායමට ස්තූති කරනවා. 

ජීවිතේ  සතුටින්ද?

මගේ පදිංචිය ඕස්ට්‍රෙලියාවේ. කලා කටයුතු නිසාම තමයි මම නිතර ලංකාවට එන්නේ. මම පවුලේ එකම දරැවා. මම කලාවට කොච්චර ආස වුණත් මුල් කාලෙදි මම ඒ පැත්තට යනවට මව්පියෝ කැමති වුණේම නැහැ. මගේ අධ්‍යාපන කටයුතු හමාර කරලා රූ රැජින තරඟයට ගියාට පස්සේ තමයි කලාවට එනවට අම්මායි තාත්තායි අවසර දුන්නේ. ඒ ගමන මම ආවේ බොහොම පරිස්සමෙන්.  
කලා ජීවිතේ පෞද්ගලික ජීවිතේ ඇතුලේ දුක සතුට එක්ක සමතුලිතභාවයෙන් යන ගමනක් මේක. මගේ ජීවිත කතාව තුළ ප්‍රගුණ කරපු එකම දේ තමයි ඉවසීමත් ධෛර්යත් කියන දෙක. මට සමහර අවස්ථා ලැබිලත් අත්හැරුණ තැන් තියෙනවා. සමහර අවස්ථා ලැබිලත් ඒ දේවල් එළිදකින්න විශාල කාලයක් බලා ඉන්න වෙලා තියෙනවා. මොනතරම් අපේ පාරවල් හිර වුණත් විටෙක කටුක වුණත් මම කෙටි මාර්ග සොයාගෙන ගියේ නැහැ. අධ්‍යාත්මික පැත්තෙන් මම යම් දේවල් ටිකක් දියුණු කරගෙන තියෙනවා. රූපය, ප්‍රසිද්ධිය, වගේම අප තුළ තියෙන ඕනෑම දෙයක් ගැන අනිත්‍යයයි කියලා  එතනින් ඔබ්බට දකින්න පුළුවන් නම් මෙ ගමන යන්න අපට පහසුයි. 

ගම්‍යාගේ දක්ෂතා අනුව මීට වඩා අවස්ථා ලැබිය යුතුයි කියන තැන ඉන්නවද?

ජීවිතේ සමහර තැන් තියෙනවා මෙහෙම වුණා නම් හොඳයි කියලා හිතෙන. හැබැයි නොලැබුණ දේවල් ගැන මම දුක් වෙන්නේ නැහැ. මගහැරුණ අවස්ථා ගැන මම හිතන්නේ නැහැ.  ලැබිලා තියෙන දේවල් ගැන මම ගොඩක් තෘප්තිමත්. කලාව ඇතුළේ රූපය ලස්සනයි නම් කෙටි පාරවල් ඕනතරම් තියෙනවා. මම නිර්මාණ මහා ප්‍රමාණයකට දායක වෙලා නැති වෙන්න පුළුවන්.  මම විශ්වාස කරන විදිහට මනුස්ස අභිමානය රැඳෙන්න කොච්චර පිට බිත්තියට තද වුණත් තමන් රකින ප්‍රතිපත්තිය,තමන්ගේ වටිනාකම, තමන්ගේ ආත්ම ගෞරවය පාවා නොදී යන ගමනේ තමයි අපේ වටිනාකම රැඳිලා තියෙන්නේ.  පෙළඹවීම් කොච්චර ආවත් අපි රකින ප්‍රතිපත්ති තුළ ඉන්න පුළුවන් නම් විශ්වයෙන් ලැබෙන ආශිර්වාදය මම අත්විදලා තියෙනවා.අපේ කුසලතා වලට කැපවීම මත ගමනක් ගියොත් තමයි කර්මාන්තයට පැවැත්මක් තියෙන්නේ. 

නදීශා අතුකෝරළ