ජීවිතේ මුල්තැන ගෙදරට - එයා රට ගියාම පුතා බලාගෙන මං මෙහේ ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ රටේ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු ලෙස කටයුතු කරන අතරේ රංගනයට දායක වන යුවළක් වේ නම්? ඒ තුමිඳු දොඩන්තැන්න සහ ඔහුගේ ආදරණීය බිරිඳ කළණි දොඩන්තැන්නය. ‘කළණි’ මේ දක්වා රංගනයෙන් දායක වී ඇත්තේ ඉතාම සුළු නිර්මාණ ප්‍රමාණයකට වුවද ඇය කෙතරම් දක්ෂද යන වග එයින් අපට මැන ගත හැකිවිය. රංගනයෙන් ඉඳහිට හමුවුවද, ‘කළණි’ ගේ සොඳුරු රුව අපට රූපවාහිනියේ ප්‍රචාරය වන දැන්වීම් ඔස්සේ නිතර දැකගත හැකිය. තුමිඳු ආචාර්ය උපාධියට ලැහැස්තිවන අතරේ ‘කළණි’ මොනවටද ලැහැස්ති වන්නෙ? ඒ ගැන ඇය අපට කියාවි.

‘කළණි’ කොහොමද මේ දිනවල කළණිගෙ කටයුතු?

ලලිත් රත්නායක අයියගෙ අලුත් ටෙලි නිර්මාණයෙහි චරිතයක් නිරූපණය කරනවා. මේ දිනවල එහි රූගත කිරීම්වලට දායක වෙනවා. ඒ අතරේ කැම්පස් එකේ රාජකාරි කටයුතුවල යෙදෙනවා. ඊටත් අමතරව ‘පුතා’ ගෙ වැඩ සහ ගෙදර වැඩට උදව් වෙමින් ජීවිතය ගත වෙනවා. 

කැම්පස් එකේ ‘කළණි’ ගෙ වැඩ කටයුතු ගැන කියමු?

මම මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ වෘත්තීය මනෝ උපදේශකවරිය විදියට කටයුතු කරනවා. රංගනයට සම්බන්ධවීමට කාලය අඩු වන්නෙත්, මේ විදියට රාජකාරිවල යෙදෙන නිසයි. කැම්පස් එකේ ජොබ් එක ගැන කතා කළොත් මම ඒක කරන්නෙ හරිම ආසාවෙන්. ඒ ගත කරන කාලය මට හරිම විශේෂයි. මම වැඩ කරන ඒ ආයතනය හරිම සුන්දර තැනක්. අපේ ආචාර්ය මඩුල්ල සහ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් මට ලැබෙන්නෙ ලොකු සහයෝගයක්. ඒ නිසා හරි සතුටින් සහයෝගයෙන් කටයුතු කරගෙන යනවා. ඒ අතරේ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් විදියටත් කටයුතු කරනවා. 

තුමිඳු සහ පුතාගෙ කටයුතුවලට ‘කළණි’ ලබා දෙන්නෙ මොන වගේ සහයෝගයක්ද?

මොන දේ කළත්, මම මගේ ජීවිතයෙ මුල්තැන දීලා තියෙන්නෙ ගෙදරට සහ ගෙදර කටයුතුවලට. පුතා අපූර්ව සහ තුමිඳු සහ ගෙදර තමයි මගේ ජීවිතයේ ප්‍රධාන තැන. මගේ පවුල සමඟ ජීවිතය ගත කරන්න මම හරි ආසයි. මට පුළුවන් සැම වෙලාවකම ගෙදර වැඩ ගැන සොයා බලන්නෙ. මොකද ‘තුමිඳු’ බොහෝම කාර්ය බහුල කෙනෙක්. ඒ නිසා මම තරමක් කාර්ය බහුල නොවී ඉන්න උත්සාහ ගන්නවා. ‘අපූර්ව’ පුතාට ඒ ආදරය රැකවරණය අඩු කරන්න මම කැමැති නැහැ.

‘කලණි’ රඟපෑ නාට්‍ය විකාශය වෙනවද?

මේ දිනවල නම් නැහැ. අන්තිමට මම රඟපෑවෙ ‘තණමල්විල කොල්ලෙක්’ නාට්‍යයේ. ඉන්පසුව රඟපාන නාට්‍ය තමයි ලලිත් රත්නායක අයියගෙ මේ රූගත කරන නාට්‍යය.

එහි රඟපාන්නෙ?

‘වත්සලා’ නමැති චරිතයක්. ඒකෙන් ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායකව සිටිනවා. වත්සලාගෙ චරිතයට සාධාරණයක් කරන්න උත්සාහ ගන්නවා. 

මේ වනවිට රඟපෑ නාට්‍ය ගැන මතකය අවදි කරමු?

පළවැනියටම රඟපෑවෙ ‘සහෝදරයා’ නාට්‍යයේ, ඊට පස්සෙ සූරියකුසුම, තණමල්විල කොල්ලෙක්, තාල චිත්‍රපටය සහ සිනෙමා චිත්‍රපටයට දායක වුණා.

අපි දකින තුමිඳු නමැති රංග ශිල්පියා ඔබ දකින්නෙ මොන විදියටද?

හරිම නිහතමානී මනුස්සයෙක්. ඒ නිහතමානිකමට මම හරි ගරු කරනවා. ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. හරි ආදරණීය චරිතයක්. එයාගෙ අධ්‍යාපන කටයුතු, රංගන කටයුතු වගේම එයාගෙ පවුල වෙනුවෙන් හරියට ‘බැලන්ස්’ විදියට, ඒවාට අවංක වෙලා කටයුතු කරන බව කියන්න පුළුවනි. එයා කරන ඕනෑම දෙයකට උපරිම දායකත්වය ලබාදීම වගේම හරියට කරන්න උත්සාහ ගන්නවා. එයාගෙ සමහර ගතිගුණ දිහා බලද්දි, මට මගේ ජීවිතයෙ දියුණු කරගන්න තියෙන ආදර්ශ සහ ගතිගුණ මම එයාගෙන් ඉගෙන ගන්නවා.

ගෙදරදි තුමිඳු මොන වගේ කෙනෙක්ද?

කරන වැඩේට අවංක කෙනෙක්. මේ වෙලාවෙ එයාගේ අධ්‍යාපන කටයුතු එක්ක ඉන්නෙ. ඒ ගැන හිතලා බැලුවොත් ඒකට එයා හරියට මහන්සි වෙනවා. එයාට ඒ අතරේ විවේකයක් ලැබුණාම පොඩි එක්කෙනා එක්ක ගත කරන්න, අපි එක්ක ගත කරන්න වෙලාව හදා ගන්නවා. ඒ වගේ කරන දේට හරි අවංකයි.

‘තුමිඳු’ ගැන අපි නොදුටු, තවම එයා එළියට දාලා නැති දක්ෂතා හැටියට ඔබ දකින්නෙ?

කතිකාචාර්යවරයෙක්, රංග ශිල්පියෙක් යන ඒ දේවලට එහා එයා ගැන කතා කළොත් හරිම ආදරණීය චරිතයක්. ‘තුමිඳු’ කියන්නෙ අනෙක් අයට සංවේදී වෙන්න පුළුවන් චරිතයක්. තමන්ගෙ දරුවට, බිරිඳට හරිම ආදරේ චරිතයක්. අපි විවාහවෙලා අවුරුදු හතක් වෙනවා. මම වැටිච්ච තැන්වලදි මාව ඔසවා තැබීමට ශක්තියක් වුණා. එයාටත් මම එහෙමයි. අපි දෙන්නට දෙන්නා අපේ ජීවිතවලට උදව් කරගෙන අවබෝධයෙන් යන ගමනක් අපට තියෙන්නෙ. ගෙවී ගිය ඒ කාලය ඇත්තටම හරිම සුන්දරයි. සතුට-දුක තිබුණ තමයි, ඒ සියල්ල අතරේ බැඳීම් තවත් ශක්තිමත් වුණා.

තුමිඳුට දැන් වෙලාව ඇවිත්, ආචාර්ය උපාධිය වෙනුවෙන් විදෙස්ගත වෙන්න, ඒ ගැන කළණි කොහොමද හිතන්නෙ? එයා ඒ වෙනුවෙන් ගියාම?

‘තුමිඳුට’ එයාගෙ ආචාර්ය උපාධිය කරනවා කියලා කිව්ව දවසෙ ඉඳලම එයාට අවශ්‍ය සෑම දෙයක් වෙනුවෙන්ම මට දෙන්න පුළුවන් සහයෝගය මම එයාට දුන්නා. මෙතැනදිත් මම ඒ දේ කරනවා. එයා මේ විදියට ගියාම, මායි-පුතයි සැරින් සැරේ ගිහින් අපි එයාව බලලා එන්න යනවා. ඇත්තටම මම හිතන විදියට එයා අලුත් දැනුම සොයා යන ගමනට අපි උදවු කරන්න ඕනැ. ඒක තමයි සැබෑ ආදරය කියන්නෙ. මට අමාරු වුනත් මම එයාට ඒ සපෝට් එක දෙන්න ඕනෑ. අපූර්ව ආදරයෙන් පරිස්සමට බලාගෙන ඉන්නම් කියලා මම කිව්වා.

කොහොමද ‘තුමිඳු’ එක්ක ගත කරන ජීවිතය කළණිට දැනෙන්නෙ?

හරි සුන්දර ජීවිතයක්. ඒක එහෙම වචනවලට කියන්නත් බැහැ. තුමිඳු මුණ ගැසීම, ඊළඟට අපි විවාහවීම, ‘අපූ’ ලැබීම, මේ සියල්ල ගැන හිතනකොට මට ඇති වන්නෙ ලොකු සතුටක්. මේ ගෙවී ගිය කාලය ඇතුළෙ මොන දේ වුණත්, අපි තුන්දෙනා ආදරයෙන් හිටියා. වසංගත තත්ත්වය එක්ක ලෝකයේ බොහෝ ප්‍රශ්න ආවත්, අපි තුන්දෙනා ගත කරන ඒ ජීවිතයට මම ආදරෙයි.

මේ විදියට ආදරණීය ජීවිතයක් ගත කරන ‘කළණි’ කොහොම කෙනෙක්ද?

බොහොම සාමාන්‍ය කෙනෙක්. මට මම ගැන කිව්වොත් සතුටින් ඉන්න ආස කෙනෙක්.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ