ජීවිතේ මල් කියන්නත් බැහැ අපේ රට මුණදීලා තියෙන තත්ත්වය එක්ක ගත්තම
ලංකාවේ ප්‍රහසන කලාෙව් දක්ෂයන් අතලොස්ස අතර හැමදාම ප්‍රේක්ෂකයන් හිනස්සන අති දක්ෂයෙක් අද අපේ කතාබහට එකතු කරගන්න සිතුවා. ඔහු ඔබ ආදරය කරන ශාන්ත ගාල්ලගේ කලාකරුවායි. ආටක නාටක, නාටක මාරයි වැනි වැඩසටහන් හරහා ඔබව බොහෝ කාලයක් හිනස්සවපු වසර ගණනාවක සිට හිරු එෆ්එම් රේඩියෝ පටිරෝල් හරහා තාමත් ඔබව හිනස්සවන ඒ අපූරු හඬට ප්‍රේක්ෂක ඔබ දක්වන ආදරය ඉතාමත් ඉහළයි. ඒ වගේම පැරණි සිංහල සිනමා ගීත ගායනයටද ඔහු දක්ෂයෙකි.
ප්‍රහසන නළුවන් අතර විවිධ හඬවල් වලින් කතා කිරීමේ දුර්ලභ දක්ෂතා ඇති ඔහු ටෙලි ප්‍රහසන නළුවෙකු ලෙස විශේෂ රංගන දක්ෂතා දැක්වූ නිර්මාණයන් බොහෝය. පුංචි වලව්ව, නීල පළිගු, දිය පැහැසරා, මොණර කිරිල්ලි, තඹ පාට හැන්දෑව, හිතුවක්කාරී වැනි නිර්මාණයන් ඒ අතර වේ. කාලෙන් කාලෙට ප්‍රහසන කලාව තුළ විවිධ මානයන් සොයා යන ඔහු මේ දිනවල මුණගැහෙන ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ සෙබෙස්තියන්ගේ චරිතය මුළු රටක් ආදරය කරන ප්‍රේක්ෂකයන් ඇදබැඳ ගත් චරිතයකි.
කොහොමද ජීවිතේ?
ජීවිතේ මල් කියන්නත් බැහැ අපේ රට මුණදීලා තියෙන තත්ත්වය එක්ක ගත්තම. කලා කටයුතු සහ රැකියාව එක්ක ජීවිතේ සාමාන්‍ය විදිහට ගෙවීගෙන යනවා. නිර්මාණ පැත්තෙන් ගත්තාම මේ දවස්වල සිරස නාලිකාවේ විකාශනය වන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යය එක්ක තමයි වැඩි කාලයක් ගත වෙන්නේ.
ඊට අමතරව හිරු එෆ් එම් රේඩියෝවේ පටිරෝල් වැඩසටහන අඛණ්ඩව වසර 12 ක ඉඳලා කරගෙන එනවා. හැමදාම සවස 4 ඉඳලා 6.30 වෙනකම් ඒ වැඩසටහන කරනවා. එහි මම හඬවල් 5 කින් චරිත 5 ක් කරනවා. රංග සහෝදරයයි මමයි තමයි පටිරෝල් කරන්නේ. ලොකු රසික පිරිසක් පටිරෝල් වැඩසටහන එක්ක ඉන්නවා. රටේ ආර්ථිකයත් එක්ක අපෙත් පටි රෝල් වෙලා ඉන්න කාලේ පටිරෝල් වැඩසටහන සාර්ථකව කරගෙන යනවා.
සෙබස්තියන්ට ඇයි මේ තරම් ආදරයක්?
කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ සෙබෙස්තියන් කියන්නේ සෙසු චරිතයක්. සෙබාට ඇයි මෙච්චර ප්‍රේෂක ආදරයක් කියලා මටවත් හිතා ගන්න බැහැ. ඒ ආදරේ මම ආදරෙන් අත්විඳිනවා.
නාටක මාරයි වැඩසටහන් මාලාවෙන් පස්සේ මහේෂ් සත්සර මද්දුමආරච්චි මහත්මාගේ හිතුවක්කාර ටෙලි නාට්‍යයෙත් හාස්‍ය ජනක චරිතයක් මම කළා. ඇත්තටම මහේෂ් මහත්මාගේ නිර්මාණ කිහිපයකටම මට අවස්ථාවන් ලැබිලා තියෙනවා.
සෙබෙස්තියන්ගේ චරිතයටත් එතුමා මට කතා කරලා ඇහැව්වා කැමති ද කියලා. සෙබා කියන්නේ මෝඩ, ලොකු අධ්‍යාපනයක් නැති විවාහ වෙලා නැති දුප්පත්කමට කොළඹ ඇවිත් ගෙදරක වැඩ කරන මානුෂීය ගති පැවතුම් යම් ප්‍රමාණයකුත් තියෙන මනුස්සයෙක් මට ලැබිලා තියෙන හාස්‍යජනක චරිත වලින් සෙබෙස්තියන් කියන්නේ මම පෞද්ගලිකවත් බෙහෙවින් ආදරය කරන චරිතයක්.
හැමදාම ප්‍රේක්ෂකයන්ව හිනස්සවපු සෙබා ප්‍රේක්ෂකයින්ව අඬවපු දවස මතකද?
හැමදාම සෙබා කරන්නේ මෝඩ වැඩනේ. එක දර්ශනයක් තිබුණා. හාම්පුතා සහ නෝනා ගැන එයාලගේ දරුවෝ බලන්නේ නෑ කියලා ඒ ගැන දුක්වෙවී හාම්පුතාගේ දුවත් එක්ක කතා කරන අවස්ථාවක්. ගෙදර සේවකයා වුණත් හාම්පුතාට සහ නෝනාට දරුවන් පිළිබඳ එන ප්රශ්නවලදී සෙබා හදවතින්ම දුක් වුණා. මම ශලනි තාරකා එක්ක යන දෙබස් ටික හරි පුදුම විදිහට මගේ හදවතට දැණුනා. මේ කතා මාලාවෙම මට ස්වභාවිකව සීරියස් රංගනයක් කරන්න ලැබුණ එකම කොටස ඒක. ඒ දර්ශනය පසුගිය සතියේ විකාශනය වුණා.
සෙබෙස්තියන්ට වැඩිපුරම ප්‍රතිචාර ලැබුණේ එදා. මට පෞද්ගලික දුරකථනයෙන් ගොඩක් අය කතා කළා. හැමදාම දකින මෝඩ ජෝක් අතරේ සෙබෙස්තියන්ගේ චරිතේ එදා හදවතටම කතා කළා කියලා මට ගොඩක් අයගෙන් ප්‍රතිචාර ලැබුණා. ස්වභාවික රංගනයත් මට බැරි නෑ කියන එක එදා රංගනයෙන් මට දැණුනා.
මීට පෙර ස්වභාවික රංගනයන්ට අවස්ථාව ලැබිලම නැද්ද?
මට ස්වභාවික රංගනයන්ට අවස්ථාව ලැබිලාම නැහැ. හාස්‍යජනක රංගනය කියන්නේ නිතරම ස්වාභාවික රංගනය පොඩ්ඩක් පැනලා යන රංගනයට. මට හැමදාම ලැබුණේ හාස්‍යජනක චරිත. අවස්ථාවක් ලැබුණොත් ස්වාභාවික රංගනයකට ඒ වෙනස භාරගෙන බලනවා. ඇත්තටම සෙබෙස්තියන් කියන්නේ කලා ජීවිතේ ඇතුළේ මට ලැබුණ වැඩිපුරම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණු චරිතයක්. සෙබාට ලැබෙන ආදරේ වගේම තමයි දෝෂාරෝපණත්.
සමන්දිනිගේ ප්‍රේමය නිසාද?
අම්මේ ඔව්. මේ දවස්වල සෙබා සමන් දිනිට ප්‍රේම කරනවානේ. මචං වගේ ඉඳපු ලින්කා මේ දවස්වල මාමා වෙලා. අයිරා නැන්දා වෙලා. වයස්ගත සෙබා තරුණියකට ප්‍රේම කරනවා කියලා දෝෂාරෝපනත් එනවා. හරි සුන්දර ප්‍රතිචාරත් ඒ අතර ලැබෙනවා. ප්‍රවීණ පිරිස වගේම තරුණ දරුවෝ එක්ක රඟපාන්න ලැබීම ලොකු සතුටක්.
ඇත්තටම ඔබට කලාවට එන්න පාරකැපෙන්නේ කොතනින්ද?
ඒක ඉතා අහඹු සිදුවීමක්. නාරද බක්මී වැව මහත්මයාගේ මිත්‍රයෙක් එෆ් එම් රේඩියෝ වැඩසටහනකට විහිළු චරිත කරන දෙන්නෙක් සොයලා දෙන්න කියලා නාරදට කියලා. නාරද කිව්වා සුරංග සතරසිංහටයි මටයි අභියෝගය භාරගන්න කියලා. නෙත් එෆ් එම් එකේ වැඩසටහන ජනප්‍රිය වීගෙන එනකොට හිරු එෆ්එම් පටිරෝල් එකට ආරාධනා ලැබුණා. ඒ එක්කම හිරු ටීවී එකේ ආටක නාටක කියලා විහිළු කතන්දර මාලාවක් කළා. ඒකට තමයි මුලින්ම ඉදිරිපත් වුණේ. එතනින් දෙරණ ටීවී එකේ නාටක මාරයි වැඩසටහන් මාලාවට ආරාධනා ලබුණා. ඒක ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. නාටක මාරයි වැඩසටහන් මාලාවෙන් තමයි සුරංග සතරසිංහ මහතාව සහ මාව ප්‍රේක්ෂකයෝ අඳුරගත්තේ.
මගේ ගම හෝමාගම. පාසල් කාලේ අංශුමාත්‍රයකින්වත් කලාවට දායක වෙලා හිටියේ නැහැ. අඩුම තරමේ ඒ කාලේ තාලෙට අත්පුඩියක්වත් මට ගහන්න බැහැ. හැබැයි 70 දශකයේ මම ඒකාලේ චිත්‍රපට පිස්සෙක්. ඒ කලාකරුවන් අතර ජෝ මහත්තයා මගේ හදවතේ හිටපු විශිෂ්ටයෙක්. මම රංගනය ඉගෙන නොගත්තාට රංගනය, ගායන හැකියාව මගේ ඇඟේ තිබිලා තියෙනවා.
විවිධ හඬවල්වලින් කතා කිරීමේ දක්ෂතාවත් ඔබට තියෙනවා. මම හිතන්නේ ඒක මට උපතින්ම ලැබුණ දෙයක්. චරිතයකට ගැලපෙන අයුරින් හඬ වෙනස් කිරීමේ හැකියාව මට තියෙනවා.
ඔබේ වෘත්තිය කලාවද?
ඇත්තටම මම කලාව කරන්නේ විනෝදාස්වාදය සඳහා. මම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් රෝහලේ ඖෂධවේදියකු ලෙස සේවය කරනවා. මගේ රාජකාරියට කිසිම විදිහකින් බාධාවක් නොවන විදිහට තමයි කලාවට දායක වෙන්නේ. හැමදාම මුල්තැන දෙන්නේ වෘත්තිමය රාජකාරියට. කලාව වෙනුවෙන් මට හැකි උපරිම දේ මම කරනවා. මම නියැලෙන වෘත්තියෙන් වගේම කලාවෙනුත් මම ලොකු තෘප්තියක් ලබනවා.
පෞද්ගලික ජීවිතේ තොරතුරු?
මගේ බිරිඳ ඉරේෂා මල්කාන්ති. පාසල් වයසේ දුවෙක් සහ පුතෙක් ඉන්නවා මට. මම ගෙදරදිත් ඉතින් නිතරම විහිළු කරගෙන හිනා වෙලා ඉන්න කෙනෙක්. මට කියන්න තියෙන්නේ මගේ රංගනය නිසා මගේ ආදරණිය ප්‍රේක්ෂකයෝ සතුටු වෙනව නම්. ප්‍රශ්න අමතක කරලා හිනාවෙනවනම් ඒක තමයි මගේ ලොකුම සතුට.
නදීශා අතුකෝරළ