ජීවිතේ මම ගත්ත හොඳම තීරණය තමයි ඇය විවාහ කර ගැනීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙයාගෙ නම චිලි. ඒ කියන්නෙ මිරිස්. මිරිස් සැර වුණාට, මේ ‘‘චිලි’’ නම් සැර නැති හොඳ තාත්තා කෙනෙක් කියලා තමයි රංගන ක්ෂේත්‍රයේ අය කියන්නෙ. මෑතකදී තිරගත වූ ‘‘මේක පුදුම කතාවක්’’ චිත්‍රපටයේ පියෙකුගේ චරිතය රඟපෑ ‘‘චිලී’’ මේ දිනවල තිරගත කෙරෙන ‘‘රයිඩර්’’ චිත්‍රපටයේ දුෂ්ඨයකුගේ චරිතය සමග අපට හමුවෙයි. මේ දිනවල රූගත කිරීම් සිදු කෙරෙමින් පවතින ජයන්ත චන්ද්‍රසිරි ප්‍රවීණයා අධ්‍යක්ෂණය කරන ‘‘දේවි කුසුමාසන’’ චිත්‍රපටයේ තවත් වෙනස් රංගනයක යෙදී සිටින ‘‘චිලි තිලංක’’ සමග අද මේ කතාබහ ‘‘තාත්තයි - පුතයි’’ සඳැල්ල විශේෂාංගය වෙනුවෙනි.

‘‘චිලි’’ රඟපෑම් හැර වෙන මොනවද කරන්නෙ?

රඟපෑම, නර්තනය, සංගීතය, ගායනය යන අංශවලට එදා ඉඳලම දායක වෙනවනෙ. ඊට අමතරව නිවේදනයත් කළා.

ගැයුමෙන් මේ දිනවල අලුත් නිර්මාණ කළේ නැද්ද?

‘‘කුසුමාසන දේවි’’ ෆිල්ම් එකේ ෂූටිං මාර්තු මස වෙනකල් සිදුවෙනවා. ඒ නිසා එයින් පසුව අලුත් ගීතය කරන්න සූදානමින් ඉන්නෙ. දැනට කළ අලුත් ගීතයේ රූප රචනාව කරන්නත් තියෙනවා.

කොහොමද ෆැමිලි ලයිෆ් එක. කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳයි. කොහොමටත් මම පවුලට ලැදි, පවුල එක්කම ඉන්න කැමති කෙනෙක්. ‘‘ෆැමිලි මෑන්’’ කිව්වොත් හරි. පිටින් දකිද්දි සමහරු හිතාවි මම සෙල්ලක්කාර චරිතයක් කියලා. ඒත් මට පුළුවන් සෑම වෙලාවකම ගෙදර ඉන්න කැමති කෙනෙක්. පවුලට හරි ලෙංගතුයි කියලා හිතනවා.

‘‘බිරිඳ’’ ගැන අද හැඟෙන විදිය?

ජීවිතේ මම ගත්ත හොඳම තීරණය තමයි ඇය විවාහ කර ගැනීම. ඒ අතින් මම හරි වාසනාවන්තයි. ඒ වගේ බිරිඳක් ලැබීම ගැන. මට හොඳ මව්පියන් හමුවුණා. හොඳ බිරිඳක් ලැබුණා. ඒ අතින් මම පිංවන්තයි කියලා හිතෙනවා. පවුල් ප්‍රශ්න නොමැතිව ජීවිතය ගෙවන්න ලැබේ නම්, එය ඇත්තටම වාසනාවන්තයි. පෙර භවයක මම හොඳ දේ කරලා ඇති කියලා හිතෙනවා. හැමෝගෙන්ම ආදරය ලබන්න හැකිවීම ලොකු පිනක්.

බිරිඳ රැකියාවක් කරනවද?

රිනි ඉමාෂා එයාගේම රූපලාවන්‍ය ව්‍යාපාරයක් හොඳින් කරගෙන යනවා.

‘‘චිලි’’ගෙ කොණ්ඩා විලාසිතා කරන්නෙත් රිනි ද?

එයාගෙ සැලෝන් එකට මට යාම තහනම්. ඒක කාන්තාවන් සඳහා පමණයි. එයාට උදවු කරන්න යනවා මිසක්, කොණ්ඩා විලාසිතා කරගන්න යන්නෙ නැහැ.

චිලි සහ චිලිගෙ පුතා ටික් ටොක්වල ජනප්‍රියයි කියලා සමහරු කියනවා? ඒ නිතරම ටික්-ටොක් වීඩියෝ කරන නිසාද?

මට දැන් පුතා විතරක් නෙවෙයි, දුවෙකුත් ඉන්නවා. පුතාට තවම අවුරුදු එකහමාරයි. දුවට මාස කීපයක් වෙනවා. පුතා අපේ පවුලට මුලින්ම එකතු වුණාම, මට දැනුණෙ මගේ ජීවිතේ එයා සොරා ගත්තා වගේ හැඟීමක්. මතක සටහන් විදියට තමයි ඔය පොඩි පොඩි වීඩියෝ කරලා ටික් ටොක් එකට දාන්නේ. එහෙම නැතුව ලෝකෙට පෙන්වන්න නෙවෙයි. මිනිස්සු මාව දන්න නිසා ඒවා ජනප්‍රිය වෙනවා. පුතාගේ ඒවා වැඩිපුර දාන්නෙ, එයාගේ සිඟිති කාලය ඉක්මනින් ගෙවී යනවනේ. ඉතින් ඒවා සමරු විදියට කවදාහරි බලන්න ලැබෙන නිසයි. කවදාහරි අපට ඒවා පුතාටත් බලන්න පුළුවන් හොඳ සැමරුම් වේවි. ඒ නිසා තමයි මම මගේ වැඩ අතරේත් පුතාගේ වීඩියෝ දාන්නේ.

පුතාගෙ නම?

ලිතිල් ලියෝන් වෙළඳගොඩ පතිරණ. දුවගෙ නම ජෝර්ජා ලිවේනා වෙළඳගොඩ පතිරණ.

පුතා ලැබුණ දවසේ සහ දියණිය ලැබුණ දවසේ ඇතිවූ හැඟීම් - මතක පෙළගස්වන්නෙ කොහොමද?

පුතා ලැබෙන මොහොතේ මම හිටියෙ බිරිඳ ළඟ. ඇය බොහොම ශක්තිමත් කාන්තාවක්. ඇය ගැන පෙරටත් වඩා ලොකු ගෞරවයක් ඇතිවුණේ. පුතා අතට ගත්තාම දැනුණ හැඟීම් වචනවලට පෙරළන්න බැරි තරම්. මහා ආඩම්බරකමක් වගේ දෙයක් දැනුණෙ. මගෙන් පස්සෙ මගේ බිරිඳ බලා ගන්න රජෙකු ඉන්නවනෙ වගේ හැඟීමක්. දියණිය ලැබුණ දවසේ දැනුණෙ ලොකු වගකීම් පෙළක් සහිත හැඟීමක්. මැණිකක් වගේ රැකිය යුතුය යන හැඟීම ඇති වුණේ. දියණිය තවම චූටියි. පුතාට ටිකක් තේරෙනවා. මම නැති වෙලාවට එයා මාව හොයනවා. මට හරිම ආදරෙයි. ලොකු බැඳීමක් එක්ක සුන්දර කාලයක් ගත වෙන්නෙ. බිරිඳත් ඒ සතුට නිවසට ගේන්න ලොකු කැප කිරීමක් කරලා තියෙන්නෙ.

දරුවන්ගෙ වැඩට ‘‘චිලි’’ උදව් වෙනවද?

වැඩිපුරම ඒ වැඩ කරන්නෙ බිරිඳ රිනි. මාත් උදව් වෙනවා. එක්කෙනෙකුටම ඒ වගකීම් පවරලා බලා ඉන්න බැහැනෙ. ගොඩාක් නිදිවරාගෙන දරුවන් වෙනුවෙන් කැපවෙන මවක් ඇය. මම ෂූටිං දිනවල ඇය තමයි ඒ කැපවීම කරන්නෙ. ඇයගේ ඥාතීන්වත් ආදරෙන් මතක් කළ යුතුමයි.

‘‘තාත්තා’’ යන චරිතයේදී ඔබ – ඔබ වෙතින් දකින හොඳ ගුණාංග මොනවද?

මගේ කුඩා කාලය ගත්තොත් අපේ තාත්තා අපට බොහොම සමීප වුණේ නැහැ. බොහොම ගෞරවය ඇති විදියට තාත්තා හිටියෙ. හැබැයි ඒ දුන් උපදෙස්, ඔවදන් නිසා තමයි අපි හොඳ මිනිසුන් ලෙස සමාජගත වුණේ. මමයි - පුතයි ගත්තොත් අපි දෙන්නා දුරස්ථ නැහැ. මම එයාට යාළුවකු හා සමානව සමීපයි. එයා හිතුවක්කාරකමට කරන පොඩි - පොඩි දේ මම ආදරෙන් බාර ගන්නෙ. ඉවසීමෙන් ටික ටික කියලා දෙනවා. එයාට හොඳ යාළුවකු වගේ වෙන්න තමයි මම උත්සාහ ගන්නෙ.

සමාජයේ අනෙකුත් තාත්තලා, විශේෂයෙන්ම ඔබගෙ වයසේ අය දිහා බලද්දි ඔබ – ඔබගෙන් සහ ඔවුන් වෙතින් දකින දේ?

ඕනෑම පියකු තමුන්ගෙ දරුවන්ට ආදරෙයි. ඒක වෙනසක් නැහැ. අඩුපාඩු වෙනවා ඇති. මාත් තවම හොඳම තාත්තා කෙනෙක් කියලා කියන්න බැහැ. අපේ සමාජයේ සිටින තාත්තලා හැමෝම දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනැගීමට වෙහෙසෙන්නේ. සමහර විට ආදරේ වැඩිකමට ආත්මාර්තකාමී විදියට දරුවො හැදෙන්න පුළුවන්. ඒ නිසා හැකිතාක් දුරට ‘‘ආත්මාර්තකාමී’’ චරිත නොවී කටයුතු කරන විදියට දරුවන් හදනවා නම් හොඳයි. තමන්ගෙ පුතා විතරයි රජ්ජුරුවෝ කියන හැඟීම නැතුව අනෙක් අය සමග ඉතා ගුණයහපත්කම ඇති විදියට දරුවන්ට සෑම දෙයක්ම කියාදීම වැදගත්. ‘‘එපා - එපා’’ කියන වචනය නැතුව, තරගකාරිත්වය නැතුව දරුවන් තැනීම මිසක, ආත්මාර්ථකාමී චරිත නොකළ යුතුයි. මට අවශ්‍ය මගේ පුතා හොඳම – ගුණයහපත් මිනිසකු කිරීමයි.

ඒ විදියට අනාගතයේදී ගුණවත් මිනිසෙකු කිරීම වෙනුවෙන් ඔබ අනුගමනය කරන්නෙ?

අනෙක් දරුවන් සමග සමගියෙන් ගත කිරීමට, කෑමක් වුණත් බෙදාහදාගෙන කෑමට, ඒ වගේ දේ කිරීමෙන් එකිනෙකාට ගෞරව කරන මිනිසකු අනාගතයේදී බිහිවේවි. අපේ පුතා හැමෝගෙම ආදරය දිනාගත හැකි මිනිසකු වනවා දැකීමට අපි කැමතියි. දකින දකින දේ ඉල්ලන විදියට දරුවෝ හදන්න හොඳ නැහැ. මගේ බිරිඳ ඒ ක්‍රමය හරියට කරනවා. මාත් ඇයට උදවු කරනවා.

පවුලේ වගකීම් වැඩි වෙද්දි, පවුල පිටින්ම විදෙස් රටකට යන්න ඕනෑය කියන අදහස ඇති වුණේ නැද්ද?

පුතා ලැබුණු මුල්ම කාලයේදී ඒ වගේ හැඟීමක් ඇති වුණා. දරුවන්ගෙ ආරක්ෂාව සහ හොඳම දේ දෙන්නනෙ ඕනෑම මව්පිය යුවළක් බලන්නෙ. රටේ පෙට්‍රල්වත් නැති ප්‍රශ්න තිබූ කාලයක්නෙ. මගේ බිරිඳගෙ මව්පියන් ජීවත් වෙන්නෙත් යුරෝපයේ. ඒ නිසා අපට අවස්ථාවක් තිබුණා දරුවන්ගෙ අනාගතය ගැන හිතලා එහෙම අදහසක් තිබුණත්, අන්තිමට බිරිඳයි - මමයි තීරණය කළේ අමාරුවෙන් හරි මෙහේ ජීවත්වීමටයි. දැනට  එහෙම හිතලා කටයුතු කරගෙන යනවා. ඒත් අනාගතය අපට කියන්න බැහැනෙ. මොන විදියකින් හෝ තමුන්ගෙ ටාගට්වලට යනවාට වඩා ඉතාම යහපත් විදියට ලැබෙන දේ කළමනාකරණය කරගෙන, යහපත් ලෙස ජීවත් වීමට මාත් බිරිඳත් උත්සාහ ගන්නවා.

සඳුන් ගමගේ