ජීවිතේ අත්දැකීම් සමහර වෙලාවට රංගනයට වැදගත් වෙන අවස්ථාත් තියෙනවනෙ
කළින් කලට පුංචි තිරයට එකතුවන මුහුණු අතරින් මේ දිනවල ප්‍රේක්ෂක අවධානය දිනාගෙන ඉදිරියෙන් සිටින චරිතයක් සමඟින් මෙවර සඳැල්ලෙන් පුංචි කතාබහක් කරන්න හිතුවා. ඒ කුමුදිත ගුණවර්ධන නම්වූ නව පරපුරේ දක්ෂ ආකර්ෂණීය කලාකරුවා සමඟින්.
කුමුදිත මේ දිනවල ගොඩක් දෙනෙක්ගෙ ආදරය ලබන චරිතයක් වෙලා නේද?
මේ දිනවල විකාශය වන ‘ඇස්’ ටෙලි නිර්මාණය වෙනුවෙන් තමයි ඒ ආදරය ලබන්න හැකිවෙලා තියෙන්නෙ. ඇත්තටම මේ නාට්‍ය ආරම්භ වෙලා දැන් සති කිහිපයක් වෙන්නෙ. ඒ ආරම්භයේ සිට ලැබෙන ප්‍රතිචාර නම් ඉතා ඉහළයි. සතුටුදායක ප්‍රතිචාර තමයි ලැබෙන්නෙ. ඉතින් මෙහි මගේ චරිතය ‘ආකාෂ්’ එක්ක ගොඩක්දෙනෙක් එකතුවෙලා ඉන්නවා කියලා හිතෙනවා ලැබෙන ප්‍රතිචාරත් එක්ක.
ඇයි මෙතරම් ඉක්මනට ප්රේක්ෂකයො මේ චරිතය වැළඳගන්න ඇත්තෙ?
ආකාෂ් කියන්නෙ අහිංසකව ජීවත්වෙන චරිතයක්නෙ. තාත්තාත් නැතිව අම්මගෙ ආදරය, සෙනෙහස එක්ක ආර්ථික අපහසුතාත් මැද ඒ ගෙවන රළු කටුක ජීවිතයේ ගොඩක් සංවේදී තැන් තියෙනවනෙ. ඉතින් ඒ හැමදේම ගත්තම ප්‍රේක්ෂකාගාරයක් එවැනි චරිතයකට කැමති වෙන අවස්ථා වැඩියි. ඒ වගේම මෙහි අධ්යක්ෂවරයා හසුන් සමීර මේ චරිත ලස්සනට මෙහෙයවනවා. තිර පිටපත් රචක දිනේෂර පුංචිහේවා හරිම හැඟීම්බර විදියට මේ පිටපත රචනා කරන්නෙ. ඒ හැමදේමත් එක්ක මේ වෙනුවෙන් රංගනයෙන් දායකවෙලා ඉන්න පිරිසත් නිර්මාණයට ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඒ හැමදේමත් එක්කනෙ මගේ චරිතය මට සාර්ථකව කරගෙන යන්න හැකිවෙන්නෙ. ඉතින් මෙහි අධ්යක්ෂවරයාගෙ සිට මේ වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්න හැමදෙනාගෙම සහයෝගය මත තමයි අද වෙද්දි ආකාෂ් චරිතය ප්‍රතිචාර ලබන්නෙ.
මේ චරිත රංගනයෙ දි රූගත කිරීම් සිදුවෙද්දි කුමුදිත සංවේදී වුණ තැන් තියෙනවද?
ඇත්තටම ඔව්. මොකද මම මීට පෙර සඳහන් කළා වගේ ආකාෂ් කියන්නෙ ආර්ථික අපහසුතා මැද බොහොම කටුක ජීවිතයක් ගත කරන චරිතයක්නෙ. තාත්තාත් නැතිව අම්මා තමයි ආකාෂ්ව රැක බලාගන්නෙ. ඒ නිසා අම්මගෙයි පුතාගෙයි තියෙන ඒ බැඳීම වැඩියි. ඉතින් ඒ රංගනයේ මගේ අම්මාට රංගනයෙන් දායකවෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ජයනි සේනානායක මහත්මිය. ඇය මේ චරිතය හැඟීම්බරව ඉදිරිපත් කරනවා.
ජයනි සේනානායක කියන්නෙ ඉතින් ලංකාවෙ ඉන්න දක්ෂ සම්මානනීය රංගන ශිල්පිනියක්නෙ. ඒ අයගෙ රංගනය ඉතින් අපිවත් සංවේදී කරවන අඬවන තැන් තියෙනවා. ඇත්තටම ඇය හරිම ආදරණීය චරිතයක්. මගේ රංගනයට ඇයගෙන් උපරිම සහයෝගයක් ලැබෙනවා. මටත් ලොකු අවස්ථාවක් මේ රංගන අත්දැකීම.
ආකාෂ් කියන්නෙ විටෙක බොක්සින් ක්‍රීඩකයෙක්. තවත් විටෙක ගායකයෙක්, වාදකයෙක් නිවේදකයෙක් ඒ විදියට විවිධාකාර තැන් ස්පර්ශ කරනවනෙ. ඉතින් ඇත්තටම බොක්සිං හදාරලා තියෙනව ද?
බොක්සිං හදාරලා තිබුණෙ නම් නැහැ. නමුත් සටන් කලාව (Martial Art) කරලා තිබුණා. මම පොඩි කාලෙ පාසලේදී වූෂු ක්‍රීඩාව කළා. ඒ තුළින් සටන් කලාව පිළිබඳ යම් අවබෝධයක් තිබුණා. ඒ අවබෝධයත් එක්ක දැන්නම් බොක්සිං ක්‍රීඩාව යම්තාක් දුරට හදාරගෙන යනවා.
එතකොට මේ තුළ ගායනයත් තියෙනවනෙ? ගායනයට වාදනයටත් දක්ෂ ද?
ගායනයත් මම ඉගෙනගෙන තියෙනවා. ඇත්තටම මුලින්ම නම් පාසලේ දී මම අමතර විෂයක් විදියට O/L වලදී හැදෑරුවෙ නාට්‍ය හා රංග කලාව. එතැනින් පසුව A/L වලටත් නාට්‍ය හා රංග කලාව කළා. නමුත් ගායනයටත් පොඩි කාලෙ ඉඳන් යම්කිසි දක්ෂතාවයක් තිබුණා. අන්තර් පාසල් සහ සමස්ත ලංකා වගේ ගායන තරඟවලින් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. නමුත් පාසල් කාලෙන් පස්සෙ වැඩිපුර ගායන අංශයට නැඹුරුවක් තිබුණෙ නැහැ.
පාසල් ජීවිතෙන් පස්සෙ නිරූපන අංශයට තමයි සම්බන්ධ වුණේ. එහිදී මම වෙළඳ දැන්වීම් වලටත්, මියුසික් වීඩියෝ රංගනයටත් තමයි නැඹුරු වුණේ. නමුත් මට නැවතත් සංගීතය පැත්තෙන් දෙයක් කරන්න හිතුණා. ඒ නිසාම කීර්ති පැස්කුවල් සර්ගේ ගිටාර් පන්තියට ගිහින් ගිටාර් වාදනය ඉගෙන ගත්තා. ඒ විදියට සංගීතය නැවතත් හදාරලා මම ගීත කවර්ස් කිහිපයකුත් කළා. එතැනින් පසුව මගේම ගීතයක් විදියට ‘දෙව්ලිය’ නමින් ගීතයක් එළිදැක්වූවා. සංගීතය පැත්තෙන් ඒවා තමයි කළේ.
එතකොට මේ ‘ඇස්’ නිර්මාණය ඇතුළෙ ගීත ගයන්නෙත් ඔබ ද?
ඒ චරිත රංගනයෙදී මම කලබ්වල එහෙම ගීත ගායනා කරන තැන් තියෙනවනෙ. ඒ ගීත සජීවීව ගායනා කරන්නෙ. එතකොට ඒ ගීත නම් මම තමයි ගායනා කරන්නෙ.
ඒ කියන්නෙ රංගනයට, වාදනයට ක්‍රීඩාවට හැමදේටම දක්ෂතා පෙන්වන්න ලැබිලා තියෙනවනෙ ‘ඇස්’ හරහා ඒ හැමදේම වගේ ආදරය කරන්නත් මේ තුළ ලැබිලා තියෙනවා නේද?
ඔව්. ඒ දේවල් නම් ඉදිරියේදී තමයි දැක බලාගන්න හැකිවෙන්නෙ. ස්වර්ණවාහිනියෙන් දිගටම රාත්‍රී 7.30 ට ඇස් බැලුවොත් ආකාෂ් ආදරය කරන විදිය දැක බලාගන්න හැකිවෙයි.
ආදරය කරන්නත් දක්ෂ ද කලාවට වගේම?
ආදරය පිළිබඳ අත්දැකීම් නම් තියෙනවා. ඒක ඉතින් හැඟීමක්නෙ. ඉතින් මගේ ජීවිතේ අත්දැකීම් මේ චරිත රංගනයට ප්‍රයෝජනවත් වුණා කියලාත් හිතෙනවා. ජීවිතේ අත්දැකීම් සමහර වෙලාවට රංගනයට වැදගත් වෙන අවස්ථාත් තියෙනවනෙ.
මේ නිර්මාණය තුළ ආකාෂ්ට රෙහාන්ගෙන් හරියට අඩත්තේට්ටම් සිද්ධ වෙනවා නේද?
ඔව්නෙ. ඇත්තටම කියන්න ඕනෑ ඔහු රෙහාන් චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ඉතා ඉහළයි. මේ දිනවල රෙහාන්ට බනින අයත් ඉන්නවා. එවැනි ප්‍රතිචාර ලැබෙන්නෙ ඔහු ඒ චරිතයට උපරිම සාධාරණය ඉෂ්ට කරන නිසානෙ. මේ නිර්මාණය තුළ ඔහු ආකාෂ්ට අඩත්තේට්ටම් කළාට ඔහු ඇත්තටම ගොඩක් හොඳ යාළුවෙක්. මේ නිර්මාණයෙන් පිට අපි ගොඩක් හොඳ යාළුවො.
ලොකු සහයෝගයකින් එකම පවුලක් වගේ බැඳිලා වැඩ කරගෙන යන්නෙ. අධ්යක්ෂවරයා ඇතුළු මේ කණ්ඩායමේ හැමෝම.
ඇත්ත ජීවිතේ කුමුදිතට ප්‍රතිවාදීන් ඉඳලා නැද්ද?
අනේ නැහැ. මම පාසල් යන කාලෙ ඉඳන්ම බොහොම මිත්‍රශීලී කෙනෙක්. යාළුවො ගොඩක් ඉන්නවා මට. මම පාසල් ගියේ කොළඹ රාජකීය විද්‍යාලයට. ඒ කාලෙ ඉඳන්ම බොහොම සතුටින්, විනෝදෙන් යාළුවො එක්ක කාලය ගත කළේ. ඒ යාළුකම් අදටත් ඒවගේම තමයි. ඒ නිසා මට තරහකාරයො නම් නැහැ.
අද වෙද්දි මේ ඇවිල්ලා තියෙන ගමන් මග ගැන මොක ද හිතෙන්නෙ?
ඇත්තටම මගේ ජීවිතේ ආසාවක් අරමුණක් තිබුණා. කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න. පොඩි කාලෙ ඉඳන් ඒ ක්ෂේත්රයට සම්බන්ධ වෙන්න යම් යම් දක්ෂතාත් තිබුණා. ඉතින් පාසල් වේදිකාවෙන්ම ඒ ආරම්භ කරපු ගමන අද යම්තාක් දුරකට ඇවිල්ලා තියෙනවා. පාසල් වේදිකාවෙ අත්දැකීම් එක්ක ටිකින් ටික හිමින් ආපු මේ ගමනේ ලංකාව ඇතුළෙ යන්න පුළුවන් උපරිම තැනක් තියෙනව නම් ඒ තැනට යන්න මම හිමින් මගේ ගමන ආරම්භ කරනවා. නමුත් මට කිසිම හදිස්සියක් නැහැ. මොකද ලැබෙන හැමදේම බදාගෙන කරන කෙනෙක් නෙමෙයි. මට ගැළපෙන නිර්මාණ තමයි මම භාරගන්නෙ. මීට පෙර මට ලැබුණු අවස්ථා අතඇරලත් තියෙනවා. ඒ මට ගැලපෙන්නෙ නෑ කියලා විශ්වාස කරපු දේවල්. මොකද මම යම්කිසි ප්‍රතිපත්තියක් අනුගමනය කළා.
මම ස්ථිර රැකියා අවුරුදු 20 සිට කරපු කෙනෙක්. ඒ කාලෙ වෘත්තිය සහ කලාව සමබරව කරගෙන ගියත් මේ වෙද්දී නම් මම වැඩි දායකත්වයක් ලබාදෙන්නෙ කලාවට. මොකද මේ ක්ෂේත්රයට ගොඩක් ආදරේ නිසා. මේ දිනවල නම් ‘ඇස්’ මගේ ජීවිතේ ලොකු වෙනසක් කළා කියන්න පුළුවන්. ඒ නිසා ඒ නිර්මාණයට තමයි සම්පූර්ණ දායකත්වය මේ කාලයේ ලබා දීලා තියෙන්නෙ. ඉදිරියෙදී හොඳ නිර්මාණවලින් සම්බන්ධ වීම ලොකුම අරමුණ.
ධනු විජේරත්න