චිත්‍රපටවලට අප්පච්චි වීරයා වුණා වගේම ඇත්ත ජීවිතෙත් වීර මනුෂ්‍යයෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘‘හීනයකි මේ ආදරේ’’ අකිලගේ අලුත්ම ටෙලි රංගනය? ටෙලි නිර්මාණයකට සම්බන්ධ වුණේ ටික කාලයකට පසුව නේද?

මම ටෙලි නිර්මාණවලට සම්බන්ධ වෙන්නෙ නම් ඉතා අඩුවෙන්. ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න නම් හොඳම ආරාධනාවක් වෙන්න ඕනෑ. මීට පෙර ටෙලි නිර්මාණ කිහිපයක් කරලා තියෙනවා. නමුත් ඒ කොටස් 50, 60නිර්මාණ. ඒවත් එක්ක දීර්ඝ කතාවකට සම්බන්ධ වුණේ ‘‘සක්කාරං’’ නිර්මාණය වෙනුවෙන්. එතැනින් පසුව තමයි දීර්ඝ නාට්‍යයක් විදියට ‘‘හීනයකි මේ ආදරේ’’ එක්ක එකතු වෙන්නෙ.

හොඳම ආරාධනාවක් ලැබුණොත්නෙ සම්බන්ධ වෙනවා කිව්වෙ? මේ ලැබුණෙ හොඳම ආරාධනාවක්ද?

අනිවාර්යයෙන්ම මම මේ නිර්මාණය වෙනුවෙන් ආරාධනා කළාම එකවරම කැමති වුණා. හේතුව මම ශාන්ත සොයිසා අ‌ධ්‍යක්‍ෂවරයාගේ වැඩකට සම්බන්ධ වෙන්න කැමැත්තකින් හිටියෙ. පබා, පබළු වගේ ඔහුගේ නිර්මාණවලට මම ගොඩක් කැමැතියි. අපි එතකොට ටිකක් පොඩියි. ඒ කාලෙ ඒවා ලොකු ආසාවකින් නැරඹුවේ. අපේ අම්මත් ඒ නිර්මාණවලට සම්බන්ධ වෙලා හිටියා. ඉතින් ඒ කාලෙ ඉන්දියානු කතා රැල්ල කඩන්න ආපු නාට්‍යයනෙ ඒ, අපිත් ආසාවෙන් බැලුවෙ. ඒවත් එක්ක මහේෂ් රත්සර මද්දුමආරච්චි මහත්මයගෙ පිටපත් රචනයකට වැඩ කිරීමේ කැමැත්තකුත් මගේ හිතේ තිබුණා. ඒ නිසා මේ අවස්ථාව ලැබුණු ගමන් මේ දේට මම කැමති වුණා.

අකිල වැඩිපුර සම්බන්ධ වෙලා තියෙන්නෙ ඉතිහාස කතාවලට නේද? ඒ චරිත රංගන එක්ක බලද්දී ‘‘පවන්’’ කියන්නෙ වෙනසක් ඇති කරපු චරිතයක් නේද?

ඔව්. මට වැඩිපුර ලැබිලා තියෙන්නෙ ඉතිහාස චරිත සහ ගැමි චරිත. මට මේ නිර්මාණයට ආරාධනා ලැබෙන්නට පෙර ශාන්ත සොයිසා මහත්මයා මුලින්ම කතා කළේ වෙනත් නිර්මාණයකට. ඒ ඉතිහාසයේ සිට වර්තමානය දක්වා ගලාගෙන යන රාජ්‍ය සම්මාන දිනූ නව කතාවක් වන ‘‘කාල නදිය ගලා බසී’’ පොත නිර්මාණයක් විදියට කරන්න බලාගෙන ඒ වෙනුවෙන් මට කතා කළේ. ඒ වෙනුවෙන් මම කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. නමුත් ඒ නිර්මාණය ටික කාලයකට කල් දැම්මා. ඉතින් අනතුරුව තමයි මේ නිර්මාණයට කතා කළේ. ඉතින් මම දෙවරක් නොසිතා කැමැත්ත ප්‍රකාශ කළා. ඒ ගත්තු තීරණය ගැන ලොකු සතුටක් තියෙනවා.

ඉතින් මේ ‘‘පවන්’’ ගැන කතා කරමු?

‘‘පවන්’’ කියන නම මගෙ ජීවිතේට ගොඩක් ළඟයි. හේතුව මම කලාව කියන දේ ආරම්භ කරන්නෙම ඒ නමින්. මගේ ඒ ආරම්භය සිදුවෙන්නෙ රොමේෂ් සුගතපාලගේ ‘‘දිගු දෑස දුටුවාම’’ මියුසික් වීඩියෝවෙන්. ඒ කාලයේ මේ මියුසික් වීඩියෝව ඉතා ජනප්‍රිය වුණා. වීව්ස් ගොඩක් හැදුණා. ඒවා Face book තුළ වැඩි වශයෙන් දකින්න තිබුණා. ඉතින් ඒ මියුසික් වීඩියෝව තුළත් මගේ නම ‘‘පවන්’’ නෙ. ඒ නිසාම මේ නිර්මාණයේත් මගේ නම ‘‘පවන්’’ කියද්දී ඒ ගැනත් සතුටක් තමයි දැනුනෙ. පවන් ගෙදරට එක් චරිතයක්, යාළුවොත් එක්ක වෙනම චරිතයක් වගේම පෙම්වතිය ළඟ වෙනම කෙනෙක්. ඒ එක් එක් විදියට හැසිරෙන මේ චරිතය වුණු පවන්. මම වගේ කියලා හිතෙන තරමට මගේ ජීවිතේට ළඟයි. ඒ නිසා මේ තුළ මම ජීවත් වෙනවා හරි ආසාවෙන්. මට මේ තුළ රඟපාන්න දෙයක් නැද්ද කියලත් හිතෙන තරමට ජීවිතේට ළඟ බවක් තියෙනවා. මේ තුළ මගේ ඇත්ත ජීවිතේ ගුණාංග ගොඩක් තියෙනවා. ඒ නිසා මට ඒ චරිතය ඉක්මනින් ළං කරගන්න හැකි වුණා.

අකිලගෙ මේ නිර්මාණය බිරිඳ සහ දියණිය නරඹනවද?

ඔව් දෙන්නම බලනවා. බබා ඒවා බලාගෙන ඉඳලා අහනවා අප්පච්චි කවුදමේ ඇන්ටි කියලා. මේ අම්මා නේද? එහෙම කියලා අහනවා. මේ කතාව යද්දී පළවෙනි දවස්වල පොඩි ඊර්ශ්‍යාවක් වගේ තිබුණා. නමුත් බබා දන්නවා මේ ලෝකේ රඟපානවා කියලා දෙයක් තියෙනවා කියලා. අපි සමහර වෙලාවට වැඩවටල එහෙම යද්දී අරගෙනනෙ යන්නෙ. ඒ නිසා ඒ දේවල් බබාට පුරුදුයි.

බිරිඳට ඊර්ෂ්‍යාවක් එහෙම හිතෙන්නෙ නැද්ද නිර්මාණ තුළ අකිලගෙ පෙම් ජවනිකා දකිද්දි?

මම විවාහ වුණේ මගේ Secretary සමග. ඒ නිසා මගෙත් එක්ක වැඩ කරන සියලුම දෙනා බිරිඳගෙත් යාළුවො. ඇය කොහොමත් මගේ රැකියාව තේරුම් අරගෙන ඉන්නෙ. ඒ කාලෙනම් පොඩි පොඩි ඊර්ෂ්‍යාවන් තිබුණා. නමුත් ඇය අදටත් මගෙත් එක්ක මම යන හැම තැනකම යන එන නිසා ඒ යන තැන්වලින් ඇයට ලැබෙන පිළිගැනීම ඒ හැමත් එක්කම දැන් කිසි ප්‍රශ්නයක් නැහැ.

මේ තුළ අකිලට රංගනයෙන් දායක වෙන්න තියෙන්නෙ ප්‍රේක්‍ෂක ආදාරය ප්‍රතිචාර බෙහෙවින් දිනාගත් සම්මානනීය රංගන ශිල්පිනියක් වන ශලනි තාරකා එක්ක. ඇය සමඟ රංගනය කොහොමද?

මුලින්ම කියන්න ඕනෑ මම ශලනිත් එක්ක වැඩ කරන්න කැමැත්තෙන්  හිටපු කෙනෙක්. ඇය මගේම වයසෙ වුණත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ මීට අවුරුදු 15 කට පෙර වගේනෙ. ඇත්තටම මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ නැහැම කියලා හිතපු කාලයක් තිබුණනෙ. ඒ කාලෙදි මම රූපවාහිනිය නරඹද්දි ශලනිව මුලින්ම දකින්නෙ කුමරියක් විදියට. ඇයව කුමරියක් කරන්න මම ඒ කාලෙදි SMS පවා යවලා තියෙනවා. ඉතින් අදටත් මම ඇයට කතා කරන්නෙ කුමරිය කියලා. ඇත්තටම ඇය එක්ක වැඩ කරද්දි තේරෙන දේ තමයි ඇයගේ වෘත්තියභාවය කියන කෑල්ල ඉතා විශාලයි. ඒ නිසා ඇයත් එක්ක වැඩ කරන්න ඉතා ලේසියි.

මීට අමතරව කරන රංගනයන් ගැනත් කියමුද?

මේ දිනවල තවත් නාට්‍යයක වැඩ කටයුතු කරගෙන යනවා. ඒ අපේම රංගන ශිල්පියකු වන ධනංජය සිරිවර්ධන අධ්‍යක්‍ෂණය කරන වෙනස්ම නිර්මාණයක. ‘‘සිදාදියේ මනාලියෝ’’ කියන නිර්මාණය. ඒ තුළ ලස්සන කතාවක් තියෙනවා. ගමේ සිට නගරයට ආපු ගැහැණු ළමයි පිරිසකගේ කතාවක්. ඒ තුළ රහස් පරීක්‍ෂක කතාවකුත් ගලාගෙන යනවා.

ඒ වගේම සිනමා නිර්මාණ කිහිපයක වැඩ කටයුතුත් ඉදිරියේදී දැකගන්න ලැබෙයි. ඊට අමතරව ලබන වසරේ හිරු නාළිකාවෙ රියැලටි වැඩසටහනක විනිශ්චය මණ්ඩලයේ වාඩිවෙන්න නියමිතව තියෙනවා.

රටම ආදරය කරන ඔබේ පියාණන්ගේ තත්ත්වය ගැනත් සඳහනක් කරමු?

ඇත්තටම අද අපි එළියට බැස්සත් අපේ කලා නිර්මාණ ගැන කතා කරනවා වෙනුවට අප්පච්චි ගැන තමයි හැමදෙනාම කතා කරන්නෙ. බොහෝ දෙනෙක් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරලා බෝධි පූජා, ආශිර්වාද පූජා පවත්වනවා. ඇත්තටම ඒ ආදරේ ලොකු ශක්තියක්. ඉතින් මේ සිදුවුණේ උනක්, සෙම්ප්‍රතිශ්‍යාවක් වගේ සතියෙන් දෙකෙන් සුවවෙන රෝගයක් නෙමෙයි. දරුණු අනතුරක් තමයි සිදුවුණේ. ඒ නිසා මෙය එක පැත්තකින් ලොකු යුද්ධයක්. ඉතින් චිත්‍රපටවලට අප්පච්චි වීරයා වුණා වගේම ඇත්ත ජීවිතෙත් වීර මනුෂ්‍යයෙක්. ඉතින් ඉක්මණට නැවතත් අප්පච්චි අපි ළඟට එනවා.

ධනු විජේරත්න / ඡායාරූප -  සජීව ලක්ෂාන්