චීත්ත ගවුම ඇන්දට ඒ කෙල්ල හරි ශක්තිමත් - කසුනි කාවින්දි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Q ජූනි මාසේ හත්වැනිදා සිට තිරගත වෙන සසික හේරත් අධ්‍යක්ෂණය කරන "සිහින සමීකරණ" චිත්‍රපටයේ කසුනි ප්‍රධාන භූමිකාව රඟපානවා. ඒ ආරාධනාව ලැබුණේ කොහොමද?

ඒ චිත්‍රපටයට මීට වසර හතර හමාරකට පෙර මට ආරාධනා ලැබුණා. මගේ පළවෙනි චිත්‍රපටය වන්නේ "ඉක්කා" චිත්‍රපටයයි. ඒක කෞෂල්‍ය මාධව පතිරණගේ අධ්‍යක්ෂණයක්. ඒ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නරඹපු සසික අයියා "සිහින සමීකරණ" චිත්‍රපටයට මට කතා කළා.

Q කසුනි රඟපාන රිද්මි කියන චරිතය ගැන කතා කළොත්?

සසික අයියා මට මුලින්ම පිටපත ලබා දුන්නා. මම යම් කාලයක් අරගෙන හොඳට පිටපත අධ්‍යයනය කළා. ඇත්තටම ඒ පිටපතේ මගේ චරිතයට මට ලෝබ හිතුණා. ඒ චරිතය තුළින් මට බොහෝ දේවල් කරන්න තිබුණා. දුෂ්කර ගමක ජීවත් වෙන ධෛර්යවන්ත, හිත හයිය තරුණියක් තමයි රිද්මි කියන්නේ. චීත්ත ගවුම් ඇඳලා, අහිංසක වගේ හිටියට රිද්මි ඇතුළේ කොල්ලෙක් වගේ ශක්තිමත් පෞරුෂයක් තිබුණා. ඒ වගේම හරිම සංවේදී, තමන්ට වඩා අනිත් අය ගැන හිතන, තමන් හිතින් ආදරය කරන කෙනා වෙනුවෙන් තමන්ගේ හීන මරාගෙන ඔහුගේ හීන හැබෑ කරගන්න උත්සාහ දරන තරුණියක්. රිද්මිගේ වයසට වඩා ඇය වගකීම් ගත්තා. ඒ වගේ බොහෝ පැති ගැන කියැවෙන චරිතයක්. ඒ නිසා මම හරිම ආසාවෙන් ඒ චරිතය බාරගත්තා.

Q ඒ අභියෝගය ඔයා බාරගත්තේ කොහොමද? ඒක කියන තරම් අභියෝගයක් වුණේ නැද්ද?

ඇත්තටම ඒක අභියෝගයක්. ඇත්තම කිව්වොත් බයිසිකල් පැදීම සාමාන්‍ය  දෙයක් වුණාට මම ඒ කුසලතාවය වර්ධනය කරලා තිබුණේ නැහැ. පොඩි කාලේ වුණත් ඒක වර්ධනය කරගන්න මට වුවමනාවක් තිබුණේ නැහැ. උනන්දුවකුත් තිබුණේ නැහැ. ඒ නිසා මට ඒකට හැකියාව තිබුණෙත් නැහැ. මේ චිත්‍රපටයට ආරාධනා කළාට පස්සේ චරිතය කරන්න ඕනෑ වුණාට බයිසිකල් පදින්න බැරිකම නිසාම පොඩි චකිතයකුත් ඇතිවුණා. හැබැයි සාමාන්‍යයෙන් මම අභියෝග බාරගන්න කැමති කෙනෙක්. ඒත් පිටපතට මම කැමති නම් මම ඒ වෙනුවෙන් උපරිමයෙන්ම මහන්සි වෙනවා. ඒ නිසා මම බයිසිකල් පදින්න පුරුදු වුණා. කොළඹ අවට රූගත කිරීම් කරන්න මාසයකට උඩදී මම යාළුවන්ගේ උදව් ඇතිව පුරුදු වුණා. ටික දවසකින් මට නිෂ්පාදක කණ්ඩායමත් බයිසිකලයක් ලබා දීලා ඒ අයත් ගොඩක් උදව් කළා. වැලිකන්ද ගියාට පස්සේ රූගත කිරීම් නැති වෙලාවෙදිත් මම ගම පුරා බයිසිකල් පැද්දා. බයිසිකලය කියන්නේ රිද්මිගේ ජීවිතේ කොටසක් වගෙයි. අද වෙද්දි නම්  මට හොඳට බයිසිකල් පදින්න පුළුවන්.

Q වැලිකන්දෙදි ලැබුණු අත්දැකීම් කොහොමද?

ඒ රූගත කිරීම් කරපු මුළු කාලයම හරිම සුන්දර කාලයක් වුණා. අපේ මුළු කණ්ඩායමම හරිම ආදරණීය පිරිසක් හිටපු කණ්ඩායමක්. ඔවුන් හරිම මිත්‍රශීලියි. ඒ නිසා "සිහින සමීකරණ" කියන්නේ සුන්දර මතකයන් ගොඩක් ඉතිරි කරපු නිර්මාණයක්. චිත්‍රපටය රූගත කිරීම් කරන්නත් කලින් සජිතයි මමයි වේදිකා නාට්‍ය නිසා දැනගෙන හිටියා. ඒ වේදිකා නාට්‍යයේ රඟපෑමෙන් පස්සේ තමයි අපිට "සිහින සමීකරණ" රඟපාන්න ලැබුණේ. ඊටත් පස්සේ තමයි ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කළ "නාඩගම්කාරයෝ" ටෙලිනාට්‍යයේ අපි දෙන්නම එකට රඟපෑවේ. ඒ නිසා  වේදිකාවෙන් ගොඩනැගුණු හිතවත්කම අපිට තිබුණා. සජිත කියන්නේ දක්ෂ වගේම හරිම මිත්‍රශීලී, නිහතමානී, පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්. මේ රංගනය සාර්ථකව කරගන්න ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.

Q මෙය මීට වසර හතර හමාරකට පමණ පෙර කළ නිර්මාණයක්. අද නිර්මාණය දකිද්දී මොකද හිතෙන්නේ?

සමස්තයක් විදිහට නිර්මාණය දකිද්දී ලොකු සතුටක් දැනෙනවා. අවුරුදු හතරකට කලින් හිටපු රංගන ශිල්පිනිය නොවේ අද මා තුළ සිටින්නේ. අපි යාවත්කාලීන වෙනවනේ. අද ඒ නිර්මාණය දකිද්දි "මෙතැනදි මෙහෙම වුණා නම් තව හොඳයි" කියලා හිතෙන තැන් තිබුණා. හැබැයි මේ වෙද්දි නරඹපු පිරිසගෙන් ලැබුණු ප්‍රතිචාරත් එක්ක රිද්මිට සාධාරණයක් කරලා තියෙනවා කියලා මට හිතෙනවා.

Q රංගන ශිල්පිනියක් වීම කසුනි පුංචි කාලෙ දැකපු හීනයක්ද?

නැහැ... මට පොඩි කාලේ වෙන වෙන හීන තිබුණා. හැබැයි සෞන්දර්ය විෂයන් එක්ක මම නිතරම ගැවසුණා. පහු කාලයේදී නාට්‍ය හා රංග කලාවට ආසාවක් දැක්වුවා. කාලයක් මම නාට්‍ය හා රංග කලාව සම්බන්ධයෙන් කථිකාචාර්යවරියක් වෙන්න ආසා කළා. වේදිකාවේ මම රඟපෑවට හිතපු නැති විදියට තමයි සිනමාවටත් පුංචි තිරයටත් සම්බන්ධ වුණේ. මට මතක හැටියට චූටි කාලේ මම පශු වෛද්‍යවරියක් වෙන්න ආසා කළා. මම සතුන්ට හරි ආදරෙයි. ටිකක් ලොකු වෙද්දී  එහෙම වෙන්න ගණන්වලට දක්ෂ වෙන්න ඕනෑ කියලා මට තේරුණා. මම ගණිතයට එතරම් දක්ෂ කෙනෙක් නෙවෙයි. ඒ නිසා මගේ ඒ හීනය වෙනස් වුණා.

Q ඔයාගේ පවුලේ  විස්තර ටිකක් කියමු?

අපේ පවුලේ ඉන්නේ අයියයි අක්කයි අම්මයි මමයි. මගේ තාත්තා අද වෙද්දි ජීවතුන් අතර නැහැ. අයියා ගුරුවරයෙක්. අක්කා නීතිඥවරියක්. පාසලේදී  කලාවට මම ගොඩක් නැඹුරුයි. නර්තනයට වගේම ගායනයටත් පාසලේදී මම ඒ කාලේ ජනප්‍රියයි. පාසලේදී ඉගෙන ගන්නවටත් වඩා බාහිර ක්‍රියාකාරකම්වලට වැඩි නැඹුරුවක් තිබුණා. පාසලේදී මමම අධ්‍යක්ෂණය කරපු නාට්‍ය තිබුණා.

Q මේ දිනවල ටිකක් සැරයි කියලයි ආරංචිය?

ඔව්නේ... මේ දවස්වල ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන "see you” නාට්‍යයේ රඟපෑම්වලට සහභාගි වෙනවා. ඒක රිද්මිට හාත්පසින්ම වෙනස් චරිතයක්.

Q අද වෙද්දි කසුනි දන්නා කියන කෙනෙක්ගේ පෙම්වතියක්. එහෙම නේද?

ඔව්... එයා අකලංක ප්‍රභාශ්වර. එයත් රංගන ශිල්පියෙක්. අපි දෙන්නම එකම  වෘත්තියේ යෙදෙන අයයි. දෙදෙනාම එකිනෙකාට පහසුවීමම තමයි ආදරේ කියලා මට හිතෙන්නේ.  නීති රීති නොදා, කොන්දේසි නොදා, අනිත් කෙනාට එයාවම වෙන්න ඉඩදීම වගේම, බලාපොරොත්තු වීම් අඩු කිරීම තමයි ආදරය කියන්නේ. අද මට පෞද්ගලික ජීවිතය හා වෘත්තිය ජීවිතය ගැනත් සතුටක් තියෙනවා.

• දිශානි ජයමාලි