චූටි කාලේ ඉඳලම මගේ එකම හීනේ ගායකයෙක් වෙන එක. මම ගොඩක්ම ආස ඉංග්‍රීසි ගීත ගායනයට
හදවතටම කතා කරන තට්ටු දෙකේ ඉස්කෝලේ. ලලිත් රෝහිත එදිරිසිංහගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ඔහුගේ කුළුඳුල් සිනමා පටය තට්ටු දෙකේ ඉස්කෝලේ මේ වනවිට සිනමා ප්‍රේක්ෂකාගාරයට තිලිණ කර අවසන්.
කාලෙකට පස්සේ හදවතට කතා කරපු සොබා දහමට සීමා මායිම් නැතුව ආදරය කරන්න උගන්නපු තට්ටු දෙකේ ඉස්කෝලේ සිනමා සිත්තම හරහා ප්‍රේක්ෂකාගාරයට එන පුංචි පැංචියන් අතරේ ‘රම්බාගේ’ චරිතයෙන් එන පුංචි නළුවා කතාබහකට එකතු කරන්න සිතුවා. මේ තමයි ඉමාෂ් ලක්ෂාන්.
සම්පූර්ණ නම: ඉමාෂ් ලක්ෂාන් විතාන.
වයස: අවුරුදු 15යි.
පවුලේ විස්තර: අම්මා ශානිකා ඉරන්ති තාත්තා චන්දන විතාන, තාත්තා පෞද්ගලික අංශයේ රැකියාවක නියැලෙනවා. අම්මා ගෘහණියක්. මට වැඩිමහල් අයියා කෙනෙක් ඉන්නවා.
පාසල: මගේ පාසල කොළඹ තර්ස්ටන් විද්‍යාලය. මම දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.
ඉමාෂ්ට කොහොමද කලාවට එන්න අවස්ථාව ලැබෙන්නේ ?
තට්ටු දෙකේ ඉස්කෝලේ කියන්නේ මම රංගනයෙන් දායක වෙන පළමු චිත්‍රපටය. චූටි කාලේ ඉඳලා ගීත ගයන්න මම ගොඩක් දක්ෂයි. රඟපාන්න ලොකු දක්ෂතාවයක් තිබුණේ නැහැ. දවසක් ප්‍රවීණ රංගන ශිල්පිනි සුනීතා විමලවීර නැන්දා මාව දැකලා අපේ අම්මාගෙන් අහලා තිබුණා මෙහෙම චිත්‍රපටයක් කරනවා මාව දෙන්න පුළුවන් ද කියලා. ඒ විදිහට දවසක් කිව්වාම අම්මා මාව සුදර්ශියට එක්ක ගියා. එදා ළමයි තුන් හාරදාහක් විතර තිර පරීක්ෂණයට ඇවිත් තිබුණා. ඒත් හැබැයි මාව චරිතයකට තෝරා ගනීවි කියන විශ්වාසය තිබුණේ නැහැ. මොකද මම ආබාධිත කෙනෙක් නිසා.
ඒත් ඉමාෂ්ටම ලියපු චරිතයක් ඒක ඇතුළේ තිබුණා ඒ තමයි ‘රම්බා’
ඔව්. ඒක හරි පුදුම සහගත දෙයක්. රම්බා කියන්නේ චිත්‍රපටය ඇතුලේ ආබාධිත චරිතයක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලලිත් රෝහිත මාමා රම්බෝ කියන චරිතය ලියලා තිබුෙණත් එයාගේ ගමේ ඉඳපු චරිතයක් මවාගෙන. මම තිර පරීක්ෂණයට යනකම් ඇත්තටම මමත් ආබාධිත ළමයෙක් කියලා ලලිත් අංකල් දැනගෙන හිටියේ නැහැ. එදා තිර පරීක්ෂණයේ දී මට පුළුවන් විදියට රඟපාලා පෙන්නුවා. ඊට පස්සේ ලලිත් මාමා මගේ ළඟට ඇවිත් ‘රම්බා’ ගේ චරිතයට හරිම කෙනා පුතා තමයි කියලා කිව්වා.
රම්බාගේ චරිතය ඉමාෂ්ට කොහොම ද දැණුනේ?
උපතින්ම කකුලේ දණහිස ඇට මිදුළුවල රෝගයක් තියෙනවා. 3000කින් එක් අයකුට පමණක් වැළඳෙන රෝගයක්ලු මේක. චූටි කාලේ නම් ඇවිදින්නම බැරිව හිටියා. මේ වෙනකොට මගේ කකුලේ ශල්‍යකර්ම හතක් කරලා තියෙනවා. දැන් ටිකක් ඇවිදින්න පුළුවන්කම තිබුණත් සාමාන්‍ය කෙනෙක් වගේ ඉක්මනට ඇවිදින්න අමාරුයි. දුවන්න කරන්න බැහැ. පඩියක් එහෙම නගින්න කාගේ හරි උදව්වක් ඕන. රම්බා කියන චරිතය ගැන ලලිත් මාමා කිව්වාම ඒ චරිතයත් ලියවිලා තිබුණේ මං වගේම අබාධ සහිත ළමයෙක් විදිහට. මගේ කකුලේ ආබාධය එක්ක මුලදී රූගත කිරීම් කරන්න ගොඩක් දුෂ්කර වුණා. ඒත් රම්බාගේ චරිතය ගැන පිටපත කියවලා ලලිත් මාමා මගේ ඔළුවට දැම්මාට පස්සේ චරිතය ගොඩ නගා ගන්න අසීරු වුණේ නැහැ.
රම්බා මට දැනුණු ගොඩක්ම සංවේදී චරිතයක්. රම්බා කියන චරිතයෙන් වගේම මේ චිත්‍රපටයෙන් මම ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
ඇත්තටම අපි පැරදුන හැම වෙලාවකම අඬන්නේ නැතුව හිනාවෙන හැටි පාල මාමා කියලා දුන්නා. පාල මාමා ගැන විශේෂයෙන් කියන්න ඕන ජගත් චමිල මාමා අපි 12 දෙනාටම තාත්තා කෙනෙක් වගේ රඟපාන එක ඇතුලේ ‘අ’ ඉඳලා කියලා දුන්නා. ඒ වගේම ලලිත් මාමා අපිව ඉවසගෙන ඉඳපු එකම මාර දෙයක්.
‘රම්බා’ සියඹලා ගහ දාලා කොළඹ එද්දී මොක ද හිතුණේ?
චිත්‍රපටයේ දර්ශනවල දී මට ඇත්තටම දෙපාරක් ඇස්වලට කඳුළු ඇවිත් තියෙනවා. එකක් පාල මාමා නැති වෙන සිද්ධියේ දී මට ඇත්තටම ඇඬුනා. අනිත් එක බණ්ඩා කොළඹ එක්ක යනකොට මට ඒ දුකත් දරා ගන්න බැරිවුණා. ඒ කාලයම අපි ජීවත් වුණේ සියඹලා ගහත් එක්ක. අපි හුස්ම ගත්තේ සියඹලා ගහත් එක්ක. චිත්‍රපටය ඉවර වෙලා කොළඹ එන්න පිටත් වෙද්දී අපි දුවලා ගිහිල්ලා සියඹලා ගහට වැඳලා බදාගෙන ඇඬුවා
ඒ සියඹලා ගහත් එක්ක ගෙවුණු දවස් කීපය මට පුදුම සැහැල්ලුවක් දැනුන කාලයක්. දුෂ්කරතා තිබුණා ගොඩක්. නැත්තේ නැහැ. කඳු හෙල්වල මට ඇවිදගෙන යන්න බැරි තැන්වල යාළුවෝ සහ ජගත් මාමා මාව වඩාගෙන තමයි ගියේ. මට චුට්ටක්වත් මගේ කකුලේ ආබාධය ගැන හිතන්න එයාලා ඉඩ දුන්නේ නැහැ. අපි කැමරාව ඉස්සරහ කොච්චර රඟපෑවත් ජගත් මාමා ඇහිපිල්ලමකින්වත් මාව අතැරියේ නැහැ. මාව ශක්තිමක් කරපු ඒ කණ්ඩායමේ සියලුම දෙනාට ගොඩක් පිං.
රම්බාට කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය දන්නේ නෑ මම ඇත්තටම ආබාධිතයි කියලා. ගොඩක් දෙනා කතා කරනවා. විශේෂයෙන් මගේ පාසල කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරුවරු මගේ යාළුවෝ සියලුම දෙනා ගෞරවයෙන් සිහිපත් කරනවා. මට හැම තැනකදීම ඒ අය ලොකු ශක්තියක් වෙනවා.
මගේ අම්මා ගැන විශේෂයෙන් කියන්න ඕන. පාසල් යන්න ගත්ත දා පටන් මාව වඩාගෙන ඉස්කෝලෙට එක්ක ගියා. දැන් මට ටිකක් ඇවිදින්න පුළුවන්. ඒත් අදටත් අම්මා මාව උදේට පන්තියට ඇරලවලා ඉස්කෝලේ ගේට්ටුව ඉස්සරහ පාසල අවසන් වෙනකම් ඉන්නවා. ඇය මං වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරනවා. මගේ තාත්තා අයියා මගේ ඊළඟ ලොකුම ශක්තිය. මගේ වටේ හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා. වෙනුජ විහඟ දිනුෂ දිනිත් එයාලා තමයි මගේ ඊළඟ ශක්තිය. පාසලේ මගේ බෑග් එක අරන් යන්නේ මාව අතින් අල්ලලා එක්කගෙන යන්නේ ඒ අය.
අඩුපාඩුවක් ඇතිව ඉපදුනත් හැමෝගෙන්ම මේවගේ ආදරයක් ලබන්න මම හරිම වාසනාවන්තයි කියලා හිතනවා. මම ලබපු ලොකුම වාසනාව ජගත් චමිල මාමා එක්ක රඟපාන්න ලැබීම.
ඉමාෂ්ගේ ඉදිරි බලාපොරොත්තු මොනවද?
චූටි කාලේ ඉඳලම මගේ එකම හීනේ ගායකයෙක් වෙන එක. මම ගොඩක්ම ආස ඉංග්‍රීසි ගීත ගායනයට. මයිකල් ජැක්සන් මගේ ප්‍රියතම ගායකයෙක්. මේ වනකොට සංගීතය පිළිබඳ මම ඉගෙන ගනිමින් ඉන්නේ. ‘අපට සැදුනු අපේ ලෝකේ’ කියන චිත්‍රපටයේ ප්‍රධාන ගීතය ගයන්නත් මට අවස්ථාව ලැබුණා.
ගායකයෙක් වීමේ හීනය දිගේ මගේ අරමුණට කොහොමහරි මම යනවා. තට්ටු දෙකේ ඉස්කෝලේ චිත්‍රපටයෙන් පස්සේ රඟපාන්න ආසාවක් ඇතිවුණා. හොඳ නිර්මාණය මගේ ආබාධිත තත්ත්වයට හරියන චරිතයක් වුණොත් දායක වෙනවා. දැනට දෙරණ TV ආයතනයේ ටෙලි නාට්‍යයකට කතා කරලා තියෙනවා.
නදීශා අතුකෝරළ / ඡායාරූප - සජීව ලක්ෂාන්