ගහට පොත්ත වගේ සැදැල්ලත් සඳුන් කියන නම ඉදිරියට ආවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් මෙන්ම දක්ෂ පුවත්පත් මාධ්‍යවේදියෙකු වන සඳුන් ගමගේ ගැන අටුවාටිකා ලිවීම අත්‍යවශ්‍ය නොවේ. සති අන්ත පුවත්පත් කලාව වෙනස් මානයකට රැගෙන යන්නට පුරෝගාමි වූ ඔහු මේ වනවිටද පුවත්පත් මාධ්‍යය තුළ නිරන්තයෙන්ම වෙනස් අත්දැකිමක් පාඨකයාට ලබා දෙන්නට උත්සාහ කරන්නෙකුද වෙයි.

ඔබ ඡායාරූප ශිල්පියට යොමුවුණේ අහම්බෙන්?

ඇත්තටම මගේ හිතේ තිබුණේ නැහැ ඡායාරූප ශිල්පියෙක් වෙන අදහසක්. දවසක් මගේ මිතුරෙකුගේ පියාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වෙලා ඉන්නකොට ඒ මිතුරාගේ ඉල්ලීමකට මට ඡායාරූප ගන්න සිද්ධ වුණා. ඉතින් පුළුවන් හැටියට මාත් විවිධ කෝණවලට ඡායාරූප ගත්තා. දැන් වගේ නෙමෙයිනේ ඒ කාලේ ෆිල්ම් රෝල් දාලා ගන්නේ පොඩි කැමරානේ තිබුණේ. මාත් ඉතින් ආසාවට අවමංගල්‍ය උත්සවයේ හැම පැත්තක්ම ආවරණය වෙන විදිහට ඡායාරූප ගත්තා. කොහොම හරි ඒ ඡායාරූප ටික මුද්‍රණය කරලා ගත්තාට පස්සේ වෘත්තීය මට්ටමේ ඡායාරූප ශිල්පියෙක් ගාණට ගත්තු පින්තුර ටික හොඳට වැදිලා තිබුණා. ඊට පස්සේ යාළුවෝ අතරේ මම ජනප්‍රිය වුණා ඡායාරූප ශිල්පියෙක් විදිහට. ඔවුන්ගේ උපන්දින සාද විවාහ මංගල්‍යය ඔය හැමදේකට මට කතා කළා ඡායාරූප ගන්න. ඔය විදිහට අහම්බෙන් තමයි මම ඡායාරූප ශිල්පියෙක් බවට පත් වුණේ.

මාධ්‍ය ක්ෂේත්‍රයට යොමු වෙන්න එතකොට?

ඡායාරූප ශිල්පිය ගැන ඉගෙන ගන්න මම සිංගප්පූරුවට ගියා. මගේ මතකය හැටියට ඒ 1996 වසරේ. ඒ වැඩේ මාස ගාණනකින් ඉවර කරලා මම නැවතත් ලංකාවට ආවා. මගේ අයියා කිව්වා එතකොට නිතීය පැත්ත හදාරන්න කියලා. මොකද, මගේ අයියාත් නිතීඥවරයෙක් නිසා. මගේ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ ඒ පැත්තට යොමු වෙන්න. මම අයියාට කිව්වා පත්තරේකට ලියන්න ආසයි කියලා. ඔය අතරේ මම තව මගේ ඉංග්‍රීසි පැත්තත් හොඳට හදාගත්තා. අයියාගේ යාළුවෙක් තමයි මනෙල් ධර්මකිර්ති. ඔහු හරහා මට මුණ ගැහෙන්න ලැබුණා අදටත් ලංකාදිප ප්‍රධාන කර්තෘ විදිහට කටයුතු කරන සිරි රණසිංහ මහත්මයාව. ඔහු එතකොට ඉරිදා ලංකාදිපයෙත් ප්‍රධාන කර්තෘ. ඔහු මාව දෙඹගහවත්ත මහත්මයාට අදුන්වලා දුන්නා. ඔහු ඇහුවා මොන වගේ දේවල්ද ලියන්න කැමති කියලා. පාසල් කාලේ මම ක්‍රිකට් ක්‍රීඩා කරලා තිබුණ නිසා ක්‍රීඩාව හා කලාව පැත්ත ලියන්නම් කිව්වා.

මතකද මුලින්ම සඳුන් ලියපු ලිපිය?

අද වගේ මතකයි ඒක. වසන්ති චතුරාණි එක්ක මම කරපු මුල්ම ලිපිය. පළමු වතාවට ඉතින් රංගන ශිල්පිණියක් එක්ක මුණට මුණ කතා කළේ. වසන්තිගේ ගැහැණු ළමයි චිත්‍රපටය එහෙමත්  මම ඒ කාලේ බලලා තිබුණේ. ඉතින් රූපවාහිනියේ වගේම සිනමාවේ දැකපු කෙනා මගේ ඉදිරිපිට ඉඳගෙන කතා කරනවා කිව්වාම ඒක මට හිතාගන්න බැරිවුණා. මම කරපු පළමුවැනි සම්මුඛ සාකච්ඡාව නිසා මාත් හැබැයි ටිකක් චකිතයෙන් හිටියේ. කොහොම හරි වැඩේ ඉවර කරලා මම ලිපිය ලියලා දීලා හොඳ හෙඩිමකුත් දැම්මා කඩුල්ල පැන ගිරයට හසුවු වසන්ති කියලා. ඒක ඒ විදිහටම මගේ ලිපියේ පළවෙලා තිබුණා. ලිපිය පළවුන දවසේ මට නින්ද ගියේ නැහැ. මම සිය දහස් වාරයක් ඒ ලිපිය පෙරළ පෙරළ කියෙව්වා. මුලින්ම මගේ කවරයේ ඡායාරූපයක් පළවුණේ බන්දුල විදානපතිරණ අයියා කර්තෘ වෙලා හිටිය සිරිකත පත්තරේ. ඒ දිපීකා සන්දනායකගේ. විශේෂත්ව වුණේ මම පත්තරේකට කියලා කරපු පළමුවෙනි ඡායාරූප ටික එක.

සඳුන් සැදැල්ලට සම්බන්ධ වුණේ කොහොමද?

පත්තරේට ලියන්න ආපු මුල් කාලයේ සැඳැල්ල අතිරේකය පටන් අරගෙන තිබුණේ නැහැ. පස්සේ දෙඹගහවත්ත මහත්තයා ඒක පටන් ගත්තා. හැබැයි මේක අතිරේකයක් විදිහට නෙමෙයි පත්තරේ පිටු කිහිපයක් විදිහට තමයි සැඳැල්ල මුලින්ම මුද්‍රණය වුණේ. ගහට පොත්ත වගේ සඳුන් ගමගේ කියන නම සැදැල්ලත් එක්ක පුවත්පත් කලාවේ ඉදිරියට ආවා. මුල් කාලයේ මම ලිපි කිහිපයක්ම ඒකට ලිව්වා. පස්සේ ඡායාරූප එක්ක ලිපි ලියන්න ගත්තා. මුල් කවර මගේ නමින් පළවෙන්න ගත්තා. සඳුන් කියන නම හිතාගන්න බැරි විදිහට කලා ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ වුණා. නන්දා මාලනි, ගීත කුමාරසිංහ, සංගීතා විරරත්න වැනි ප්‍රසිද්ධ කලාකරුවෝ ඊට පස්සේ ඡායාරූප ශිල්පියෙක් තරුණ මාධ්‍යවේදියෙක් විදිහට මාව ගොඩක් අගය කරන්න ගත්තා.

මාධ්‍යය දිවියේ සඳුන්ට මුණ ගැහුණ විශේෂ පුද්ගලයෝ කවුද?

ගොඩ දෙනෙක් ඉන්නවා. ගීත කුමාරසිංහ කියන්නේ ඒ අතරින් විශේෂ කෙනෙක්. මම ගීතාව මුණ ගැහෙන්නේ ගියේ පත්තර කලාවට ආපු මුල් කාලයේ. හැබැයි ගීතා මාව ආධුනිකයෙක් කියලා වෙනසක් කළේ නැහැ. මට මතකයි ඇය මට කිව්වා සඳුන් කියන නම පුවත්පත් කලාවේ ඉහළට ගෙනියන්න පුළුවන් දෙයක් කරනවා කියලා. එහෙම කියලා ඇය බිකිණියකින් හැඩ වෙලා එයාගේ නාන තටාකයේ ඡායාරූප ගන්න මට කිව්වා. ඒ වගේම ඇය මට විශේෂ අමුත්තෙකුට වගේ කෑමවලින් සංග්‍රහ කරලා මට රේකෝඩරයක් පවා තෑගී කළා. මට ඒක තාම අද වගේ මතකයි. ඒ ඡායාරූප පළවුණාට පස්සේ ගොඩ දෙනෙක් මා ගැන කතා කරන්න පටන් ගත්තා. සංගීතා විරරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනි මට මාධ්‍ය දිවියේ මුණ ගැහුණ තවත් විශේෂ පුද්ගලයෝ.

ඡායාරූප ශිල්පියෙක් විදිහට පුවත්පත් මාධ්‍යයට පමණක් ඔබ කොටුවෙලා හිටියද?

නැහැ. මම විවාහ ඡායාරූපකරණයටත් ඔය කාලේ යොමු වුණා. 2000 වසර වෙන කොට විවාහ මංගල ඡායාරූප ශිල්පියෙක් විදිහට ලොකු නමක් හදාගත්තා ක්ෂේත්‍රය තුළ. එළිමහන් ඡායාරූප ගන්න පුරෝගාමි වුණ ඡායාරූප ශිල්පියා මම කිව්වොත් හරි. මොකද, ඒ කාලේ ගොඩක් ඡායාරූප ගත්තේ ස්ටුඩියෝවක. එහෙමත් නැත්නම් තිර දාලා. මම ඒ කලාව බැහැර කරලා විවාහ මංගල ඡායාරූප එළිමහනේ ගන්න උත්සාහ කළා.  ඒක සාර්ථක වුණා. ඊට පස්සේ ගොඩක් අය ඒ දේට යොමු වුණා. හැබැයි මම ඒ වැඩෙන් නමක් හදාගත්තා හොඳ විවාහ ඡායාරූප ශිල්පියෙක් විදිහට.

ඡායාරූප ගනිද්දි අමතක නොවන සිදුවීම් එහෙම නැද්ද?

කිහිපයක් තියෙනවා. ඉන් එකක් මගේ මතකයේ අදටත් තියෙනවා. ස්වර්ණවාහිනියේ වැඩ කරපු දිනුෂා පතිරණ, හරින්ද්‍ර ජයලාල් එක්ක ජැක්සන් අයියාව දාලා මම අවුරුදු මුල් කවරයක් කළා. වැඩේ කියන්නේ මම මේක ගත්තේ බක්කි කරත්තයක් පදවගෙන එන කොට. ජැක්සන් අයියා තමයි කරත්තේ පදවගෙන ආවේ. එනකොටම ගොනා කලබල වුණා. එහෙම්ම කරත්තේ ඇදගෙන වැටුණා ළඟම තිබුණ කුඹුරකට. මම ගොඩක්ම බයවුණා කාටහරි තුවාල වෙලාද කියලා. හැබැයි අදටත් මට පුදුමයි. ඒ කරත්තේ හිටිය කාටවත් සිරිමක්වත් වෙලා තිබුණේ නැහැ.

බුද්ධික සේනාධීර