ගිහි ජීවිතය මහා ගිනි ගොඩක් කියලා හරියටම දැනෙන්නෙ මේ පැවිදි ජීවිතයෙ ගත කරන විටදියි
මීට වසර තුන – හතරකට විතර පෙරදී ගිහි ජීවිතයේ දී ඔහු අපට හමුවූයේ මංජු තේනුවර නමිනි. සිරසෙ ‘‘මංජු’’ කී පමණින් හොඳටෝම ප්‍රමාණවත් වූයේ නිවේදකයකු ලෙස ලබා සිටි ජනප්‍රියත්වය නිසාය. සිරසේ වැඩසටහන් කළමනාකාරවරයකු සහ නිවේදකයකු ලෙස එදා අපට ඔහු හමුවූයේ ඉන්සයිඩ් ස්පෝට්ස්, අවර් චැම්පියන් සහ සංගීත වැඩසටහන් නිවේදකයකු ලෙසය. ලන්ච් ටයිම් ටී.වී. ඉන් එකකි. එලෙසින් එදා අපට හමුවූ මංජු තේනුවර යනු අදට වලංගු නාමයක් නොවේ. මක් නිසාද යත් එදා ගිහි ජීවිතයේ සිටි ඔහු අද අපට හමුවන්නේ මාතර විජයසීහ හිමි ලෙස පැවිදි දිවියට ඇතුළත්ව සිටින බුද්ධ පුත්‍රයකු ලෙසය. සිල්වත්, ගුණවත්, චරිතවත් තරුණ භික්ෂුවක ලෙස තරුණ සමාජයේ මෙන්ම වැඩිහිටි සමාජයේ බොහෝ දෙනා අතර ප්රකටව සිටින මාතර විජයසීහ හිමි සමග ජීවිතයට වැදගත් වූ කරුණු කාරණා ටිකක් අද අපි කතා කරමු.
අපේ හාමුදුරුවනේ, ගිහි ජීවිතයට සමුදීලා කොච්චර කල් වෙනවද?
අවුරුදු තුන සම්පූර්ණ වෙන්නෙ මේ මාසයේ අට (8) වෙනිදාට.
පැවිදි ජීවිතයට එළැඹි පසු ජීවිතය දැනෙන්නෙ කොහොමද? එදා ගිහි ජීවිතය ගෙවූ විදිය ගැන අද හිතෙන්නෙ කොහොමද?
ගිහි ජීවිතය මහා ගිනි ගොඩක් කියලා හරියටම දැනෙන්නෙ මේ පැවිදි ජීවිතයෙ ගත කරන විටදියි. ගිහි ජීවිතයේ දී සෑම කෙනෙකුටම උදේ පාන්දර අවදිවන්න සිද්ධ වෙන්නෙ ඔළුවට මහා බරක් දරාගෙන. රැකියාවේ බර, දරුවන්ගෙ, බිරිඳගෙ වගකීම්, මව්පියන්ගෙ, සහෝදර සහෝදරියන් වෙනුවෙන් වූ බර, මේ වගේ බොහෝ දේ ඔළුවට බරක්. හැබයි මේ පැවිදි ජීවිතයේ දී උදේට මට තියෙන්නෙ මනස ඉතාම නිරවුල් වූ පිබිදීමක්. ණයක් ගන්නෙ කොහොමද? ගේ හදා ගන්නෙ කොහොමද? ණය ගෙවන්නෙ කොහොමද? ටාගට් එක මොකක්ද? කියන ගිහි ජීවිතය හා බැඳී ඇති පීඩනය මට නැහැ. ගිහි ජීවිතයේ දී මොනම හෝ අභියෝග – ප්‍රශ්න තියෙනවා. එදා මම රැකියා කළ කාලයේ දී ඇයි මම එච්චර ඉලක්ක දරාගෙන මහන්සි වුණේ කියලා අද මට හිතෙනවා. මනුෂ්‍ය ජීවිතයේ දිග – පළල හරියටම දැනෙන්න ගත්තෙ පැවිදි ජීවිතයට ආ පසුවයි. ඉපදි ඉපදි, මැරි මැරි මේ සංසාරේ මේ ගමන යන්න වෙනවා නම්, සැම දෙයක්ම වලංගු වන්නෙ අපි ජීවත්ව සිටින කාලයේ දී කළ කී දේ විතරමයි. එතැනින් පස්සෙ ඒ පුද්ගලයා නැහැ. ‘‘හුස්ම’’ ටිකක් එක්කනෙ මේ සෑම දෙයක්ම සිදුවන්නෙ. ඒ හුස්ම ටික එක්ක සෑම දෙයක්ම එකතු කරගෙන ගොඩ ගහගෙන යනවා නම්, ඒක අඥාන ක්‍රියාවක්. හැබයි දැන් මම එකතුකර ගන්නෙ ඉදිරි ආත්මවලට අවශ්‍ය වූ ලෝකෝත්තර ජීවිතය වෙනුවෙන්. ඉදිරියේ දී මම ඉපදෙන්නෙ කොහෙද? ඒ ඉපදෙන තැන සුගතිගාමී විය යුතුයි. නිර්වාණයට යා හැකි, නිර්වාණය අවබෝධ කරගත් ආත්මයක් විය යුතුයි. මේ වෑයම ඒ ගමනට සමීපවීම වෙනුවෙන්. ගිහි ජීවිතය ගත කරද්දී නිස්කාරණව මම ජීවිතය ගත කළාය කියලා අද මට හිතෙනවා. කොච්චර සල්ලි තිබුණත්, දේපොළ තිබුණත්, ජනප්‍රිය වුණත්, ඒක තාවකාලික වින්දනයක් විතරයි. හැබැයි පැවිදි ජීවිතයේ දී මම හම්බකරගත් දේ ඊළඟ ආත්මයක්, ආත්මයක් පාසා නිර්වාණය දක්වා මට රැගෙන යන්න පුළුවන්. ගිහි ජීවිතය ඉතාම දුක්ඛිත තැනක් කියලා මට හරියටම වැටහුණේ මේ පැවිදි ජීවිතයට ආ පසුවයි. සරල බර නැති, මනසට – කයට සැහැල්ලුවක් දැනෙන ජීවිතයක් තමයි දැන් ගත කරන්නෙ.
වැඩ වාසය කරන්නෙ කොහෙද?
අලව්ව තරුණ දම් සභාව බෞද්ධ මධ්‍යස්ථානයේ. එය මාගේ මූලිකත්වයෙන් නිර්මාණය කළ ස්ථානයක්. පැවිදි ජීවිතයේ දී මම වැඩිපුර ඇසුරු කළේ තරුණ දරුවන්. ඒ අය එක්ක කටයුතු කරද්දි මට දැණුනු දේ වන්නෙ, එයාලට එයාලගෙ පීඩනය පිට කරගන්න සහ ඒ පීඩනයට සහනයක් ලැබෙන්න තැනක් නැතිකම. එයාලගෙ සිතිවිලි පිට කරගන්න – කියන්න කෙනෙක් නැහැ. ගිහි ජීවිතයේ දී එය අත්දැකීමෙන් මම දුටු දෙයක්. බුදු දහම තුළ ඒ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු තියෙනවා. සෑම පංසලකම වගෙත් උත්තර තියෙනවා. ඒත් පංසලකට ගිහින් උත්තර හොයා ගන්න බොහෝ දෙනා උත්සාහ කරන්නෙ නැහැ. මගේ ගමේ පංසල, මගේ ගමේ හාමුදුරුවො, ඒ නිසා මට ලැජ්ජයි වගේ අදහසක් හැමෝටම තියෙන්නෙ. ඒ නිසා තමයි පංසල එක්ක තාරුණ්‍ය එච්චරටම සමීප නැත්තෙ. මෙන්න මේ දේ දුටු නිසා තාරුණ්‍යයේ ප්‍රශ්නවලට විසඳුම් ලබාගත හැකි එයාලට ගැළපෙන තැනක් නිර්මාණය කරන්න මට අවශ්‍ය වුණා. තරුණ දරුවෝ වෙනුවෙන්ම ලංකාවේ ඉදිකළ පළමු ආරාමය. සියයට අනූවක්ම මෙතැනට එන්නෙ තරුණ – තරුණියො. එයාලා තමයි මේ සියල්ල ගොඩ නගන්න උර දෙන්නෙ. සංකල්පයත් එයාලගෙ. අදහස් එයාලගෙ. මම එයාලට නායකත්වය ලබා දෙනවා. මෙතැන තුන් බෝධිය තියෙනවා. ඒ නිසා මෙතැන වයසක අම්මලාට, තාත්තලාට වැඩිහිටියන්ට පවා විවෘතයි. තාරුණ්‍යයටම කියලා වෙන් කරලාම නැහැ. මෙතැන තියෙන සියලු දේ ක්‍රියාත්මක කරන්නෙ තරුණ ළමයින්.
එතැනට තරුණයින් එන්නෙ බණ අහන්න ද? නැත්නම් උපදෙස් ගන්න ද? මොනවට ද?
විශේෂයෙන්ම මෙතැනට ඇවිත් නේවාසිකව ඉන්නෙ, පීඩනයකට පත්වූ තරුණ ළමයි. ඒ රැකියාව නිසා, ගෙදර ප්‍රශ්න නිසා හෝ වෙනයම් ඕනෑම දෙයක් නිසා ඇතිවූ පීඩනය නිසා වෙන්න පුළුවන්. ඒ වගේ ළමයකුට මෙතැනට ආ පසු ඒ පීඩනය අවම වෙනකල්, එයාට මේ පරිසරයේ සිට බණ අහන්න පුළුවන්, ධර්ම දේශනා, වගේම එයාගෙ ප්‍රශ්නවලට උත්තර මෙතැනදි හොයා ගන්න පුළුවන්. එයාට වන්දනා කරන්න, භාවනා කරන්න පුළුවන්. පුදුම සරල ජීවිතයක් ගත කරන්න පුළුවනි. වෙන තැනක ගැටි ගැටී සමාජය එකක් හිටියා නම් ඒ තරුණයාට පීඩනය තවත් වැඩියි. සමහර වෙලාවට සියදිවි හානි කරගන්න පවා ඉඩ තියෙනවා. ඇයි එයාගෙ ප්රශ්නය හරියට කියන්න කෙනෙක් එයාට නැහැනෙ. අපේ ජීවිතය අපට පංච නීවරණ තියෙනවා. එහි එකක් තමයි උද්දච්ඡ – කුක්කුච්ඡ හෙවත් පසුතැවීම. ජීවිතය අත්හරින තැනට පත්වීම. අන්න ඒ නිසා මෙතැනට ආවාම අර කිව්ව විදියට මානසික සුවතාවය ලබා ගන්න පුළුවනි. ටෙලිෆෝන් එකෙන් ඈත්වෙලා, ඉතාම සැහැල්ලු - සරල නිදහස් මනසකින් මෙතැන ගත කරන්න පුළුවනි. දැනට 400 ක් පමණ තරුණ – තරුණියන් මෙතැන ලියාපදිංචි වී ඒ විදියට ගත කරනවා. හරි ලස්සන – අමුතු සංකල්පයක්. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඒ වෙනුවෙන් පුනරුත්ථාපන කටයුතු නම් මෙතැන වෙන්නෙ නැහැ. සමාජයේ විවිධ තලවල – හොඳ සමාජ පසුබිමක් තියෙන ළමයි මෙතැනට එන්නෙ. ටික දවසක් ඉඳලා එයාලගෙ මනස සුවකරගෙන යන්න, පීඩනය නැති කරගෙන යන්න. ප්‍රශ්නයකට උත්තරයක් සොයා ගන්න බැරි තැන කලකිරීමකට පත්වෙනවා. අන්න ඒ තැනදි තමයි, අපි අනිවාර්යයෙන්ම තරුණ හැඟීම් අවබෝධ කරගෙන කටයුතු කරන්නට ඕනෑ. ගංජා - කුඩු බොන ළමයි කවදාවත් සියදිවි නසා ගන්නෙ නැහැ. එයාලට තියෙන්නෙ ඇබ්බැහි වීමක්. ඒක නැති කරන්න එයාලා පුනරුත්ථාපනය කළ යුතු වෙනවා. ඒත් සමාජයේ පීඩනයකින් පෙළෙන තාරුණ්‍යයේ මනස සුවපත් කළ යුත්තෙ අපි මේ මේ කරන සංකල්පය වගේ පරිසරයකින්. හොඳට ජීවත් වන ළමයින්ට ප්‍රශ්නෙට උත්තර හොයා ගන්න බැරි වුණාම තමයි ජීවිතය අත් හරින්නෙ. මෙතැනට ආවාම ඒ සියල්ලට එයාලට පිළිතුරු යම්තාක් විදියකට ලැබෙනවා. ආපසු එයාලා යන්නෙ පීඩනයකින් තොර ජීවිත වටිනාකම තවදුරටත් වටහා ගන්න නිරවුල් මනසකින්. අලව්ව තරුණ දම් සභාව බෞද්ධ මධ්‍යස්ථානයේ සංකල්පය වන්නෙ පීඩනයකින් පෙළෙන තාරුණ්‍යයේ මනස ආධ්‍යාත්මකව සුවපත් කර යළි සමාජගත කරවීමයි. සංසාර ගමනට බියක් තියෙන කිසිවෙක් සියදිවි හානි කරගන්නෙ නැහැ. ජීවිතය වටහා ගන්නවා. තමන් විසින්ම සියදිවි හානි කර ගත්තොත් පුතේ ආයෙත් මනුස්සයෙක් නම් වෙලා ඉපදෙන්නෙ නැහැ කියලා, ඒ කාලයේ අපේ ගමේ තරුණ අයියා කෙනෙක්ගෙ මරණින් පසු ආච්චි මට කියා දුන්නාම, එදා ඉඳලා ඒ සංසාර බිය මට ඇතිවුණා. සංසාරෙට බයයි, ලැජ්ජයි දෙකම තියෙන්නට ඕනෑ. එය අපේ තථාගත සම්බුදු පියාණන් වහන්සේ දහමින් අපට කියාදුන් සත්‍යයයි. බයයි - ලැජ්ජයි ඇති ළමයි කවදාවත් සියදිවි නසා ගන්නෙ නැහැ. මෙතෙන්ට එන්නෙ අන්න ඒ වගේ ලැජ්ජා - බයට හැදුණු ළමයි. එයාලා එන්නෙ එයාලගෙ පීඩනය නැති කරගෙන මනස සැහැල්ලු කරගෙන යන්න.
සඳුන් ගමගේ