ගුවන් හමුදාවට පොට්ටයෝ ගන්නෙ නෑ කියලා බණිද්දී මම කෑගහලා ඇඬුවා - ධම්මික බණ්ඩාර
''මගේ පුංචි රෝස මලේ - මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් - නොදකින කුමරා....''
ප්‍රේමය නම් කුමක්ද? එය සොඳුරු මනෝභාවයකි. හැඟීමකි. එය ඇතිවන්නේ කෙසේද? කවදාද? කවුරුන් අරභයාද? අවබෝධය, විශ්වාසය, පැහැදීම, ආකර්ෂණය වැනි දේ මතයි. සාමාන්‍යයෙන් තරුණ කාලෙදි.. අපට හදවතට දැනෙන මිනිසුන් වෙනුවනේ ප්‍රේමය උපදී. එය අතිශය සාමාන්‍ය ප්‍රශ්න කිහිපයක් හා පිළිතුරු කිහිපයකි. අපි කවුරුත් මේ ප්‍රශ්න අසනවා සේම මෙලෙස පිළිතුරු ද දෙන්නෙමු. ඒවා සියයට සියයක් හරිද? හිතන්න.. ඔබට ප්‍රේමයක් ඇතිවුණේ ඔබ දන්නා හඳුනන, අවබෝධ කරගත් කෙනෙකු වෙත පමණක්මද? ඔබ ප්‍රේම කරන්නෙ තරුණ වියේදී පමණද? නැත.. ප්‍රේමය ඇතිවීම, පැවතීම හෝ නැතිවීම යනාදී කිසිම සාධකයක් විෂයෙහි නිශ්චිතවම පැහැදිලිවම මෙන්න පිළිතුර යැයි ස්ථිරව කිව නොහැක. තාරුණ්‍යය ගෙවී ගොස් තනි වූ පාළුවෙන් ගතව යන මොහොතක එක්වරම දුටු, එසේ නැතිනම් නිරන්තරයෙන් ගැටෙන කෙනෙකු අරභයා ප්‍රේමයක් ඇතිවිය නොහැකිද? ඉහත ගීතයේ පරිදි හීනෙන්වත් නොදකින කුමරෙකු සිටිය නොහැකිද? වෙනවා සේම සැබැවින්ම ජාති, ආගම්, පන්ති තුළ මතභේද කිසිවක් ප්‍රේමය අභිමුව වලංගු වටිනාකම් නොවේ. ප්‍රේමයේ හැටි එයාකාරය. මෙවන් වූ අපූරු සිද්ධි දාමයකින් ගෙතුණු අපූරු රූප රචනයක් මීට වසර කිහිපයකට පෙර ස්වාධීන රූපවාහිනියේ Song of the week ලෙස ප්‍රචාරය විය. එය අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත්වූ අතර ගීත ලියන සිංහල ගුරුවරයෙකු පිළිබඳ, සාහිත්‍යයට සැබෑ ලෙසම හිතැති කලාකාමී මිනිසෙකු පිළිබඳ කතාබහක් ගීත ලෝකය තුළ ඇතිවන්නට විය.
බන්නැක්ගෙදර විජිත් කිත්සිරි ධම්මික බණ්ඩාර, නොඑසේ නම් කවුරුත් දන්නා පරිදි ධම්මික බණ්ඩාර නම් ගීත රචකයා, කවියා, සාහිත්‍යවේදියා පිළිබඳ කතාබහ එම ගීතයෙන් එපිටටද ඇදී යයි. අද හදසර (My story) අපේ කතාබහ ඔහු සමඟයි. විදුහල්පතිවරයෙකු වූ පියාටත් ගුරුවරියක වූ මවටත් එකම දරුවා වූ ධම්මික ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ පොන්නිලව ජ්‍යෙෂ්ඨ මිශ්‍ර පාසලෙනි. ශිෂ්‍යත්ව විභාගයෙන් 1973 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩිම ලකුණු ලබා සමත් වූ ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලැබීය. පියාගේ නම බන්නැක්ගෙදර පුංචි බණ්ඩා වූ අතර මව නන්දා සුබසිංහ නම් වූවාය.
''මම ආනන්දෙට ආවේ ඉංග්‍රීසි හෝඩියේ අකුරක් හරියට නොදැන, සංගීත භාණ්ඩයක්වත් නොදැක්ක කැලෑ කොල්ලෙක් විදිහට. මම පාසල් නේවාසිකාගාරයේ නතරවෙලයි පාසල් ගියේ. ඒ කාලයේ අපිට තිබුණනෙ කැපීපෙනෙන ආශාව. ඒ සඳහා යම් විදිහක්, ක්‍රමයක් මට අවශ්‍ය වුණා. නේවාසිකාගාරය ඉස්සරහ තමයි බාස්කට් බෝල් ක්‍රීඩාගාරය තිබුණෙ. මම හිතුවා ඉගෙනීමට වඩා බාස්කට් බෝල් ගහන්න ගියොත් හොඳයි කියලා. ඉතින් මම එදා ඉඳන් බාස්කට් බෝල් ගැහුවා. ඒ විතරක් නෙවෙයි.. ඒ සිද්ධියත් එක්ක හරි අපූරු කතාවක් තියෙනවා. මම වයස අවුරුදු 15න් පහළ බාස්කට් බෝල් නායකයා වෙනකොට අර්ජුන රණතුංග තමයි ක්‍රිකට් නායකයා. අර්ජුනත් මාත් අවුරුදු දෙකක් විතර එකම පන්තියක හිටියා.''
ගමේ පාසලේ නොදුටු සංගීත භාණ්ඩ ආදිය නෙත ගැටෙන විට ධම්මිකට සංගීතය ඉගෙනීමට ආසාවක් ඇතිවිය. ඔහු සංගීත විෂය තෝරාගත්තේ එනිසාය. ඒ හා බැඳුණු ඔහු පවසන කතාව දුක්බරද නැතහොත් සිනා දැනෙන තරම් කතාවක්දැයි තීරණය කළ හැක්කේ ඔබටමය.
''ආනන්දේ බොහෝ ගීත නිර්මාණය කළ ගුරුවරයා තමයි එවක අපේ පන්තියට සංගීතය උගන්වන්න හිටියෙ. මමත් ගියා ඉතින් පන්තියට. ඒ දවස්වල මම කණ්ණාඩි දාන්නෙ නෑ. කළු ලෑල්ලෙ සර් ලියලා තිබුණා ස්වර ප්‍රස්තාරයක්. ස, රි, ග, ම, ප, ධ, නි ආදී වශයෙන් ලියලා ස්වරවලට උඩින් තිත් තියලා තිබුණා. මම හිටියේ ඉස්සරහම. සර් ඇහුවා මේ ස්වරවලට උඩින් මොනවද තියෙන්නෙ කියලා. මම කිව්වා සර් ඒ තිත් කියලා. සර් කෑගහලා කිව්වා නගින්න මේසය උඩට. නැග්ගට පස්සෙ වේවැල් පාරවල් හයක් හම්බවුණා. මම එදා රූම ලිව්වා තාත්තට ලියුමක්. මට සංගීතය ඉගෙන ගන්න බෑ.. මට ඕන කෘෂිකර්මය කරන්න කියලා. තාත්තා ඊළඟ සුමානේ ලිපියක් ලියාගෙන ආවා. බී.වී.කේ. ධම්මික බණ්ඩාර නමැති මගේ පුත්‍රයාට සංගීතය විෂය අතහැර කෘෂිකර්මය තෝරාගැනීමට අවශ්‍යයි... ඒ සඳහා අවසර දෙන්න කියලා. මට අවසර ලැබුණා. ඉතින් මම කෘෂිකර්මය කළා. විභාගය දවසෙත් හරි පුදුම වැඩක් වුණේ. අපේ මාමා කෙනෙක් ආවා විභාගය දවසේ. එදා ඉතින් වැඩි ආදරයට එයා බුරියානි එකක් අරන් දුන්නා මරදානෙන්. මට බඩ රිදෙන්න ගත්තා. විභාගයට ලියාගන්නත් බැරි තරම්. මට කෘෂිකර්මයට සාමාන්‍ය සාමාර්ථයක්. නමුත් මම සාමාන්‍ය පෙළ හොඳින් සමත් වුණා. උසස් පෙළ කළේ ජීව විද්‍යාව අංශයෙන්. හැබැයි මම අසමත්.''
එම අසමත් වීමට හේතුව ඔහුගේ අදක්ෂකමක් නොවේ. ඒ නව යොවුන් වියේ පෙම් සිතුවිලි පහළ වන කාලයයි. ධම්මික ද යුවතියකට පෙම් කළ අතර ඈ කිසි ලෙසකවත් ඔහු මායිම් නොකළාය. පසුව බලන විට ඇයට පෙම්වතෙකු සිටි අතර මේ සියල්ල සමඟ ඔහුගේ හිත බිඳී ගියේය.
''එතැනින් මම වැටුණා. මම බාස්කට් බෝල් (කැඩෙටින්) ඔක්කොම අතහැරියා. විභාගය අතහැරියා. ඔහොම කාලෙ යද්දී මම ගුවන් හමුදාවට යන්න තීරණය කළා. මට සහතික සෑහෙන්න තිබුණා. සම්මුඛ පරීක්ෂණ කිහිපයකටම ගියා. සියල්ල හොඳින් සිදු වුණා. මගේ මිතුරා හරේන්ද්‍ර පේරුසිංහත් මා සමඟ සහභාගි වුණා. අන්තිමට ගියා වෛද්‍ය පරීක්ෂණයට රත්මලානේ. මාව පරීක්ෂා කළ නිලධාරියා මගේ ඇස් දෙක හොඳින් විපරමෙන් බැලුවා. මාත් බලාගෙන හිටියා. එක්වරම මේ නිලධාරියා හයියෙන් කෑගැහුවා. මනුස්සයෝ.. ගුවන් හමුදාවට පොට්ටයෝ ගන්නෙ නෑ කියලා. මම එළියට ආවේ බොඳ වුණු ඇස්වලින්. ඇවිත් එළියේ ගහක් යට වාඩිවෙලා කෑගහලා ඇඬුවා. ඒකත් මට අහිමි වුණා නේද කියලා. අඬලා හිත සැහැල්ලු කරගෙන මම කල්පනා කරන්න පටන් ගත්තා. මම හමුදාවට ගියත් නාවික හමුදාවට ගියත් මෙච්චරයිනෙ. මට මේක හරියන්නෙ නෑ. මම ආයෙ උසස් පෙළ කරනවා කියලා තීරණය කළා. හැබැයි ඒ කලා විෂය ධාරාවෙන්. ඒ වෙද්දි මට විභාගයට තිබුණෙ මාස අටයි. මම විභාගය ලියලා සමත් වුණා. 1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වුණා. ඒකත් ගිනි ඇවිලෙන කාලයක්. මට එතැනදි තමයි උපුල් ශාන්ත සන්නස්ගල හමුවුණේ.''
විශ්වවිද්‍යාල ජීවිතය කොතරම් අභියෝග, බාධක මැද වුවද තම කලා හිත අවදි කරන්නට සමත් වූ වග ධම්මික බණ්ඩාර පවසයි. ඔහු සියලු සාහිත්‍ය තරගවලට ඉදිරිපත් වූ අතර සියල්ලෙන් පළමු තැන දිනන්නට සමත් විය. ධම්මිකට ප්‍රථම සම්මානය ලැබුණේ ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා අතිනි.
''එතුමා මගේ හිස අතගාලා කිව්වා පුතේ හොඳට ලියන්න කියලා. ඒ මට ලැබුණු පළමු ආශිර්වාදයයි. ඉන්පසු කාලය ගතවෙද්දි මම පත්තර කලාවට සම්බන්ධ වුණා. මාව එක්කගෙන ගියේ ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහ. ලේක්හවුස් පඩිපෙළ නගිද්දි ඔහු කිව්ව දෙයක් මට තාම මතකයි. ධම්මික මේ පඩිපෙළ ලේසියෙන් කෙනෙකුට නගින්න බැහැ කියලා. මම එතැනින් තවත් දුර ගියා. ඔය කාලෙදි මට ජීවිතේ තව අහිමිවීමක් දරාගන්න වුණා. ඒ මවගේ අහිමිවීම. මට අදටත් ඒ ගැන කතා කරන්න අපහසුයි. මේ කාලේ ශාන්ත (උපුල් ශාන්ත සන්නස්ගල) දෙල්කඳ ප්‍රදේශයේ බෝඩිමක හිටියා. මම එතැනට ගියා. ඔහු මට උදව් කළා. බන්දුල පද්මකුමාරට කතා කරලා (අරලිය) පුවත්පතට ලියන්න පටන් ගත්තා (සරසවි දැහැන) කියලා. (නව යුගය)ටත් ලියන ගමන් දවසක් සන්නාම (සන්නස්ගල) තමයි කිව්වෙ සරසවි දැහැනෙ අවසානයට ලියන කවි එකතු කරලා පොතක් කරමු කියලා. එය තමයි (අහෝ මිත්‍රවරුනි). ඒ කාලේ අපි ගිවිසුමක් ගැහුවා සන්නා කොළඹත් මම වයඹත් උපකාරක පන්ති කරන්න. නමුත් යම් තැනකදි ඔහු ඒ ගිවිසුම කැඩුවා. ඒත් මම තරහ වුණේ නැහැ.''
කාලයේ ඇවෑමෙන් ඔහු තනිවම සංයුක්ත තැටියක් එළිදැක්වීය. මෙරට ප්‍රධාන බැංකුවකින් රුපියල් ලක්ෂ පහක මුදලක් රුගෙන කළ මේ සංයුක්ත තැටිය අතිශය අසාර්ථක වූ අතර ඔහුට සිදුවූයේ ණය ගෙවන්නටය.
''මම මෙහෙම දුක සේ ඉන්නකොට මට එක මිනිසෙක් ඉදිරිපත්වෙලා කිව්වා අපි තව හොඳ නිර්මාණයක් කරමු කියලා. ඔහු සමස්ත වියදම දැරුවා. අදටත් මම ඔහුට සර් කියන්නෙ ඒ ගෞරවයට. ඒ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු කීර්ති ධර්මසිරි. ප්‍රවීණ භෞතික විද්‍යා දේශකවරයා. ඔහුගේ වචනයට තමයි හන්තානට පායන සඳ, හිම දියවී හිමාලයේ, ශ්‍රී දේවි වගේ, මගේ පුංචි රෝස මලේ වැනි ගී ලියවුෙණ්. මා ඔහුට ණයගැතියි.
මම ගීත විචාර වැඩසටහන් ඇරඹුවේ ''කිවිදා නිශාන්තය'' තුළින්. ඉන්පසු බොහෝ ගුවන්විදුලි, රූපවාහිනී වැඩසටහන් සමඟ එක්වුණා. මේ දිනවල සිකුරාදා ප්‍රේම තටාකය, අපේ සිංදුව, තාරකා ඇස් ආදී වැඩසටහන් තුළි රසිකයින්ව හමුවෙනවා. ඒ වගේම ආරාධනා ලැබුණාම ගී රසවින්දන වැඩසටහන් සඳහාත් එක්වෙනවා. ප්‍රවීණ මාධ්‍යවේදී කපිල තිලකසිරි තමයි මට මාධ්‍ය ලෝකයේ දොරගුලු හැරදුන්නේ.''
ධම්මික තම පළමු ගීය ලියුවේ රොහාන් ශාන්ත බුලේගොඩගේ ''සඳක් නම්'' සංයුක්ත තැටියටය. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළ එම ගීතය ''පිපුණිදෝ ඔබ මේ උදේ'' යි. වසර දොළහක ප්‍රේමයෙන් ඉක්බිති ධම්මික, අයෝමා දිසානායක සමඟින් විවාහ වූ අතර ඔවුන්ට සිටින්නේ එක් දියණියකි. ඇය රණහංසි රංගධාරී බණ්ඩාර නම් වන්නීය.
කවිය, ගීතය සේම හරබර ගීත විග්‍රහය ඔස්සේද සුවහසක් සිත් සනහාලන ප්‍රවීණ ගී පද රචක ධම්මික බණ්ඩාරයන් පසුගියදා සිය උපන්දිනයද සැමරීය. නිදුකින් සුවපත්ව තව තවත් රසික සිත් නිවන්නට ඔහුට හැකිවේවායි හදසර අපි ප්‍රාර්ථනා කරමු.
මොනිකා සේරසිංහ