ගෝල බාලයන්ගෙන් එඩ්වඩ්ට උපහාර ගීයක්
දවස පහුගිය 6 වැනිදාය.
වේලාව පස්වරු හතරට ආසන්නව තිබිණි.
ස්ථානය - කොටුව ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි අවන්හලකි.
විශාරද එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී යුවළ එකී අවන්හලට ගොඩ වූයේ සැරිසර සංගීත ආයතනයට වසර තිස් පහක් පිරීමේ සුන්දර මොහොත සැමරීමටය.
සැරිසර යනු එඩ්වඩ් චරිතා යුවළ විසින් ආරම්භ කරන ලද සංගීත විද්‍යාලයකි.
ආරියදාස පීරිස් මාවතේ පිහිටි ඔවුන්ගේ නිවෙසේ පැවැත්වෙන මෙම සංගීත විද්‍යාලයට මොන්ටිසෝරි වයසේ පටන් එඩ්වඩ්ගේ වයසත් ඉක්මවූ උදවිය දක්වා විවිධ පිරිස් පැමිණෙති. ඒ ප්‍රාථමික සංගීත දැනුමේ පටන් කටහඬ පුහුණුව දක්වාම වන සංගීත දැනුම ලබා ගන්නටය.
මොවුනතරින් සුවිශේෂී පිරිස වන්නේද කටහඬ පුහුණුවට සහ ගීත ගායනයට කැමැත්තක් දක්වන වැඩිහිටියන්ය. ඔවුන්ගේ කැමැත්ත ගායකයන් සහ ගායිකාවන් වීමය. අනේ සර් අපිටත් ගීතයක් හදල දෙන්න.
ඔවුහු එඩ්වඩ් ගෙන් ඉල්ලා සිටියේ වරක් දෙවරක් නොවේ. එහෙත් එඩ්වඩ්වත් චරිතාවත් කලබල වූයේ නැත.
අපි ඉස්සෙල්ලා ගීත ගායනය පුරුදුවෙමු. කටහඬ පාලනය කරගෙන ඉමු. ඊට පස්සෙ ගීතයක් දෙකක් ගායනා කරමු. මොකද ගීත ගායනය ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
එඩ්වඩ් ඔවුන්ට කීවේය.
අපේ සැරිසරට මේ අවුරුද්දට අවුරුදු තිස් පහක් පිරෙනවා. ඒ වෙනුවෙන් මොකක් හරි කරමුද?
චරිතා අහන්නේ ඔය අතරතුරය.
කොහොමටත් එඩ්වඩ්-චරිතා පවුලේ සංවිධාන ශක්තිය ඇත්තේ චරිතාටය. පෙර වසරවලදී මාරම්බරී ප්‍රසංගයේ සංවිධාන ශක්තිය කරට ගත්තේද ඇයයි මොනවගේ දෙයක්ද? එඩ්වඩ් ඇසුවේය.
අපි සැරිසර සංගීත ආයතනය නමින් යූ ටියුබ් එකක් පටන් ගනිමු.
චරිතා කීවාය. ‘අද කාලෙ යූටියුබ් චැනල් එකක් තියෙන එක හොඳයි. එතකොට සංගීත දැනුම හොයන කට්ටියටත් ප්‍රයෝජනයක් වෙනවනෙ. ඒකත් හොඳයි තමා. හැබැයි මගෙන් කටහඬ පුහුණුව ලබන අයට සිංදු කියන්නත් ඕනැ කියනවා. එදාටම ඒ අයගෙ ගීත ටිකකුත් එළියට දාමුද? එතකොට මියුසික් ට්‍රැක් ගහන හැටි වොයිස් කරන හැටි එහෙම ඒ ගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවනිනෙ.
මං හිතන් ඉන්නෙ මේ වැඩේ ඔයාගෙ උපන් දිනේදාට කරන්න. කල් ඇතිද ඒ වැඩේට.
චරිතා ඇසුවාය.
අපි අදම පටන් ගම්මු එඩ්වඩ් ඒ මොහොතේම ක්‍රියාත්මක වූයේය. ඔහු සිය වැඩිහිටි ගෝලයන්ට දුරකථනයෙන් කතා කළේය. ගී පද රචනා ගෙන්වාගත් එඩ්වඩ් ඔවුන් වෙනුවෙන් ගී තනු නිර්මාණය කළේ පසුදා පටන්මය. මේ තනු නිර්මාණය මෙන්ම ට්‍රැක් හැදීමද ලහි ලහියේ කළ යුතු විය.
එහෙත් මේ හැම තනුවක්ම එකකට එකක් වෙනස් වීම අත්‍යවශ්‍යය. කලබලෙන් කළ යුතු වුවත් තනුවල විවිධත්වය රැක ගැනීම කළ යුතු බැවින් මේ කටයුත්ත අභියෝගයකි. එහෙත් එඩ්වඩ් පසුබැස්සේ නැත.
ඔය අහු අස්සේ එක් ශිල්පිනියකට ගී පද රචනයක් තිබුණේ නැත.
අනේ සර් කාට හරි කියලා ලියවගෙන මටත් සිංදුවක් කරල දෙන්න.
ඇය කීවාය.
ගී පද රචනයක් සොයා ගැනීම වෙලාවේ හැටියට අපහසු විය. එඩ්වඩ් කළේ කොළයක් සහ පෑනක් ගෙන පැත්තකට වීමය.
අන්තිමේදී එඩ්වඩ් ජයකොඩි ගීත රචකයෙක් බවට ද පත්ව තිබිණි.
ඔබ එනවද සිනාසෙන්න
මගේ පැලට හැන්දෑවේ
ඔබේ අහස සරසන්නම්
පුරහඳ වී හඳපානේ
ඇවිද යමුද වෙරළ දිගේ
රැල්ල උඩින්
නතර වෙමුද තුරු වදුලේ
නිවා ගිමන්
ඉගිල යමුද අනන්තයට
තුරුලු වෙවී
සුව විඳිමුද පෙම් උයනේ පමා නොවී
ගීත තිහකට තනු නිර්මාණය කිරීමට මියුසික් ට්‍රැක් හැදීමට මෙන්ම ගායනයටද තිබුණේ මසක පමණ කාලයකි. ලොකුම අභියෝගය වූයේ උන්හිටි ගමන් විදුලිය විසන්ධි වීමය. ශබ්දාගාරයට ගොස් පැයක් හමාරක් වැඩ කරන විට විදුලිය විසන්ධිවේ. එතැන් පටන් පැය දෙක තුනක් ගත කරන්නට වෙන්නේ ආගිය තොරතුරු විහිලු තහලු ආදියටය. කෙසේ වෙතත් අප්‍රේල් 6 වැනිදා වනවිට ගීත තිහක් නිර්මාණය කරන්නට එඩ්වඩ් සමත්විය.
ඔහු ඉකුත් බදාදා පෙරකී අවන්හලට ගොඩ වූයේ ප්‍රිතියෙනි.
ගීත තිහ ජනගත කෙරිණි. යූ ටියුබ් නාලිකාවද ජනගත කෙරිණි. ඒ එඩ්වඩ් චරිතා මියුසික් ඇකඩමි නමිනි.
එඩ්වඩ්ගේ වැඩ එතැනින් අහවරය.
එහෙත් චරිතාට තවත් ලොකු වැඩක් ඉතිරිව තිබිණි. ඒ වෙනුවෙන් එඩ්වඩ්ගේ පැරැණි ගෝලයන් පිරිසක් සූදානම්ව සිටියහ.
සංගීත පටයක් වාදනය විය.
අර කී ගෝල බාලයෝ ගීයක් ගයන්නට වූහ.
මහ තුඟු ජයකොඩි
ගුරු පියානනේ
සියක් ආයු සැරදේ
සියක් ආයු සැරදේ
නැලවිලි ගී මැද කිරි පොවනා කල
අම්මා පිදු ආදර බල මහිමේ
සිසු දරු කැල වෙත ලැබදුන්නා ඔබ
හදට සිසිල දෙන නුග සෙවනක් වී
හදවත මිහිරෙන් මිහිරට පත්කළ
සත්සර රාවෙන් හිත් සුවපත් කළ
ඔබගේ සෙවණේ රැඳුණු දයාබර
සුළඟ හමායයි ලෝ දෙරණේ
ආදරයෙන් පිරි හසරැලි උයනේ
සුවඳ බෙදාගෙන ආ ගිය ගමනේ
සොඳුරු මතකයන් ඇත අප හද තුළ
කිසිදා කිසිවිට මිය නොයනා
එඩ්වඩ්ගේ ඇස් විසල් විය.
ඔහු චරිතා දෙස බැලුවේ විමතියෙනි.
බර්ත් ඩේ ස’ප්‍රයිස්?
ඔහු චරිතාගෙන් ඇසුවේ සිනාසෙමිනි.
චරිතාද හිනැහිණි.
මේ එඩ්වඩ් ජයකොඩි වෙනුවෙන් ලියැවුණු ගීතයකි.
ඔහු දිගු හුස්මක් ගත්තේය.
සාමාන්‍යයෙන් උපහාර ගීත ගයන්නෙ කෙනෙක් මලාට පස්සෙ. ඒත් මලාට පස්සෙ උපහාර කරලා මොකටද? ඉන්න වෙලාවෙනෙ උපහාර කරන්න ඕනෑ.
එඩ්වඩ් කීවේ සතුටෙනි.
ඔයා දන්නවද ඒ උපහාර ගීතය ලිව්වෙ කවුද කියලා.
චරිතා ඇසුවාය. අපේ රඹුකන හාමුදුරුවො. එතකොට තනුව දැම්මේ අපේ පුතා චන්දීප.
එඩ්වඩ්ගේ උපන් දිනය ගෙවී ගියේ ඒ ආකාරයෙනි.
එහෙත් එදින ඇරැඹුණේ චන්දීප පුතු ඔහුගේ බිරිඳ දේශකී සහ දුවගේ සුබපැතුම් වලිනි. චන්දීප කැනඩාවේ සිටත් දුව ඕස්ට්‍රේලියාවේ සිටත් සිය පියාට සුබ උපන් දිනක් පැතුවේ දුරකථනයෙනි.
ශකුවි