ග්‍රීන්කාඩ් ලැබිලා රට නොයන එකම කෙනා සමහර විට අපි වෙන්න ඇති
රොෂාන් පිලපිටිය ගැන මේ දිනවල වැඩිපුර කතා වෙන්නෙ නීල පබළු, බොනිකරතරු සහ පාරදිගේ නාට්‍යවල රඟපාන නිසයි. විකාශය වූ මාණික්කාවත නාට්‍යයේ චරිතයක් ද රඟපෑ ‘රොෂාන්’ ට වැඩිදෙනෙක් මේ දිනවල කියන්නෙ ‘නානා’ කියලයි. ඉතින් මේ විදියට එයාට මිනිස්සු ‘නානා’ කියලා කියන්න හේතුව සහ තවත් විස්තර මේ පිළිසඳරට කියාවි.
මාණික්කාවතේ ඔබ රඟපෑවේ ළමුන්ට දැනුම ලබාදී අධ්‍යාපනය නගා සිටුවීමට උත්සාහ ගන්නා ගුරුවරයකු ලෙසයි, නීලපබළු නාට්‍යයේ දරුවන්ට ආදරය කරන පියෙක්, බොනිකර තරු නාට්‍යයේ පීඩිත පංතියේ ජීවන අරගලයට මැදිවූ පුද්ගලයෙක්. හැබැයි මේ ඔක්කෝටම වඩා පාර දිගේ නානායක්කාර වෙනස් නේද?
නානායක්කාර කියන්නෙ බොහොම සටකපටි මිනිහෙක්.
කොහොමද එච්චර සටකපටි මිනිහෙක් වුණේ?
ඒක ඉතින් තිර රචක සද්ධාමංගල සූරියබණ්ඩාර සහ අධ්යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් නිර්මාණය කළ චරිතයක්.
මේ වගේ චරිතයක් රඟපාන්නේ පළවැනි වතාවට නේද?
ඔව්
සැබෑ ජීවිතයේදී ඔබට මේ වගේ චරිත මුණ ගැහිලා තියෙනවද?
ඇත්තෙන්ම ඔව්. සැබෑ ජීවිතයේ දී මට මේ වගේ චරිත මුණගැහිලා තියෙනවා. මේ විදියෙ මම දන්නා කෙනෙකුත් ඉන්නවා. තමන්ට අවශ්‍ය කරන දේ කරමින් බොරුවෙන් ජීවත්වන ඒ වගේ අය සමාජයේ සිටිනවා. ඒ හා සමාන චරිතත් දැකලා තියෙනවා. ඒ නිසා මේ චරිතය කරද්දී, ඒ ලැබූ අත්දැකීම් ප්‍රයෝජනවත් වුණා. ඒ දේවල් එක්ක නානායක්කාර හෙවත් නානා ගෙ චරිතය කරන්න දායකත්වය ලබා දෙනවා.
සමස්ථයක් හැටියට මගේ චරිතය විතරක් නෙවෙයි, පාර දිගේ නාට්‍යයේ අනෙක් සියලුම චරිත වගේම ‘පාරදිගේ’ ගැනත් බොහෝ දෙනා කතාවෙනවා.
රොෂාන්ට කොහොමද නානාව දැනෙන්නෙ?
ඒ චරිතයට ප්‍රවේශ වුණාම මාත් ඒ චරිතය විඳිනවා. පාර දිගේ යටි පෙළ ගත්තොත් යම් දේශපාලනයකුත් කියැවෙනවා. මතුපිටින්, හාස්‍යය, විරහාව, වේදනාව, ආදරය ගැටුම්, තිබුණාට ඇතුළාන්තයෙන් කියැවෙන්නෙ මිනිස්සු මේ ජීවත් වීමට හදන ජීවන අරගලයේ ස්වභාවයයි. එක එක විදියට ජීවත්වීම උදෙසා මොනවා හරි ගේමක් ගහලා ජීවත් වෙන්න හදන මිනිස්සුන්ගෙ ජීවිතවල ස්වභාවය ගැන කියැවෙන්නෙ.
සැබෑ ජීවිතයේ දී රොෂාන් පිලපිටිය සමාජයේ දී මොනවගේ චරිතයක් කියලද හිතන්නෙ?
අනෙක් මිනිස්සුන්ට වගේම සාමාන්‍ය විදියට එදිනෙදා තියෙන ප්‍රශ්න මටත් තියෙනවා. ඒ අතරේ සාමාන්‍ය ජීවිතයක් ගෙවන අතිශයින් සරල චරිතයක්. එදිනෙදා ගැටෙන ප්‍රශ්න තිබුණත් සරලකම එක්ක ජීවිතය සතුටින් ගෙවන කෙනෙක්.
රොෂාන් කපටි වෙන්නෙ මොන වගේ අවස්ථාවලදීද?
එහෙම වෙන්න අවස්ථා මට ලැබිලා නැහැ. මොකද මම රැකියාවක් කරන්නෙ නැහැනෙ. ඒ නිසා කවුරුවත් කපාගෙන ඉහළට යන්න, තනතුරු ගන්න ගේම් ගහන ස්වභාවයක් මට නැහැ. මට තරඟය තියෙන්නෙ මාත් එක්ක විතරයි. ඒ නිසා ලැබෙන දේ සතුටින් බාරගෙන එයින් තෘප්තිමත්ව ජීවිතය ගෙවනවා. ඒ විදියට ජීවත් වෙනකොට කපටිකම් අවශ්‍ය වෙන්නෙ නැහැ.
ඔබ හිතන්නෙ රැකියා කරන විවිධ ආයතනවල සිටින අය තමයි බොහෝවිට තව කෙනෙකුට අංචි ඇදලා, කේලාම් කියලා කපාගෙන යන්න බලන්නෙ?
මට හිතෙන්නෙ එහෙමයි. සමහර මගේ යාළුවො විවිධ ආයතනවල විවිධ ඉහළ තනතුරු දරමින් සිටිනවා. මට වඩා එයාලා බොහෝ දෙනෙක් ධනවත්. ඒත් මට හිතෙන විදියට එයාලගෙ ජීවිත සතුටින්ම නෙවෙයි ගෙවන්නෙ. අර ඉහත කී ස්වභාවයන්ට මුහුණ දීමට සිදුවීම ඒකට හේතුවයි. ඉස්කෝලෙ කාලයේ ෆිල්ම් එකක් බලලා, සංගීතයක් නරඹලා සැහැල්ලුවෙන් හිටපු සමහර අය රස්සාවට ගියාට පස්සෙ කවදාවත් ඒ දේවල් කරලා නැහැ. පොතක් කියවලා නැහැ, නාට්‍ය නරඹලා නැහැ, එක්කෝ ෆෝන් එක ජීවිතය කරගෙන, ඔෆිස් ප්‍රශ්න එක්ක ජීවත් වෙන්නෙ. ඒ නිසා මම නම් කියන්නෙ මොන ගැටලු තිබුණත්, පත්තරයක්, පොතක් කියවන්න, ෆිල්ම් එකක් නරඹන්න, ගීතයක් රස විඳින්න කියලයි.
රැකියාවක් කරද්දී තව කෙනෙක් තව කෙනෙකුට කැපිල්ල දානවා නම් ඒකට හේතුව ලෙස ඔබ දකින්නෙ?
මේක දියුණු වෙමින් පවතින රටක් වීම නිසයි. වෙන රටවල් ගත්තොත්, කන්නයි, බොන්නයි, අඳින්නයි, තියෙනවා. ඒ හැරත් ඒ රටවල ජාති ආගම් භේද කියලා දේ නැහැ. අපේ රටේ අපේ ආගම උසස් කියලා අනෙක් අය පල්ලෙහාට දාන සමහර අය ඉන්නෙ. ඒත් ඒ රටවල කාගෙවත් ආගම දිහා බලන්නවත්, ජාතිය දිහා බලන්නවත්, රස්සාව දිහා බලන්නවත් එයාලට අවශ්‍ය නැහැ, තමන් හම්බ කරනවා රටේ ඒකපුද්ගල ආදායමත් ඉහළයි. ඉතින් තව කෙනෙක්, තව කෙනෙකුට තරඟයක් වෙලා නැහැ. ඒකපුද්ගල ආදායම වැඩිවෙද්දී තමුන්ට අනුන් ගැන හොයන්න වෙලාවක් නැහැ. තමුන්ගෙ වැඩේ කරන්න තමයි බලන්නෙ. එතකොට මානසික පීඩනය අඩුයි. එවිට ජීවිතය විඳින්න අවස්ථා ලැබෙනවා. අපේ රටේ එහෙම ස්වභාවයක් නැහැනෙ. හොරු නැතිවෙලා සාධාරණ රටක් වෙච්ච දවසට මිනිස්සු කාටවත් කැපිලිදාන එකක් නැහැ.
රොෂාන්ගෙ වෘත්තිය රඟපෑම විතරද?
මගේ වෘත්තිය රඟපෑම. ඒ අංශයෙන් ලැබෙන දේ මම කළමනාකරණය කරගන්නවා. අමතරව බොහොම සුළු විදියට ව්‍යාපාරයකුත් කරනවා. ඒත් රංගනය නිසා යැපෙන්න විදියක් නැහැ, මේක භයානකයි කියලා මම කියන්නෙ නැහැ. කලාව කරන අපි ගැන බලන්න කියලා කාටවත් පිංසෙන්ඩු වෙන්න අවශ්‍යත් නැහැ. අපි කැමැත්තෙන්නෙ රංගනයට ආවෙ. ඉතින් කැමැත්තෙන් ඒ විෂයය කරමින් ලැබෙන දේ කළමනාකරණය කරගනිමින් ජීවත්වීම වැදගත්. රටේ ජාතික ප්‍රතිපත්තිය හැදෙන්නෙත් නැත්නම් හොඳම දේ අපට ලැබෙන දේට අනුව ජීවිතය හැඩගස්වා ගැනීමයි. රංගනය කලාව උතුම් තැනක්. ගෞරවණීය තැනක්.
බොහෝ දෙනෙක් රට අත්හැර යන බවක් පෙනෙනවා රොෂාන්?
ඇත්තම කියන්න මට මේ මොහොත වන විට ග්‍රීන්කාඩ් එක ලැබිලා තියෙන්නෙ. ග්‍රීන්කාඩ් ලැබිලා රට නොයන එකම කෙනා සමහර විට අපි වෙන්න ඇති. එහෙ ගියා කියලා අලුතින් ජීවිතය පටන්ගන්න විදියක් නැහැනෙ. දැන් මෙහේ අපේ ජීවිත මුල් ඇදලා ඉවරයි. හැබැයි ට්‍රැවල් කරලා එන්න ආසයි. මම එහෙමයි කියලා යන අයට යන්න එපාය කියලා මම කියන්නෙ නැහැ. තමුන්ට හොඳ ආර්ථික ශක්තියක් ගොඩනගා ගන්න හොරුන්ට අසු නොවී, වැරදි මාර්ගවලින් තොරව, හරි විදියට රට යන්න. හරි විදියට රට ගියාම වරදින්නෙත් නැහැ.
රොෂාන්, රිද්මා එකතුවෙලා කේටරින් සර්විස් එකක් පටන් ගත්තා නේද?
ඒකත් සුළුවට කරගෙන යනවා. ඒත් එදිනෙදා ජීවිතේ සතුට මට තිබුණාම ඇති. දරුවා හොඳ පුරවැසියකු කිරීම අනෙක් මව්පියන් වගේම අපි දෙන්නගෙ එකම බලාපොරොත්තුවයි. නිතරම ඔළුවට අනවශ්‍ය බරක් ගන්න මම කැමති නැහැ. අපේ රට ගත්තොත්, දුප්පතා වේවා, මධ්‍යම පාංතිකයා වේවා, ධනවතා වේවා, එයාලට උපයන දේ මදි කියලා හිතෙන්න පුළුවන්. මදි තමයි ප්‍රශ්න ප්‍රශ්න බඩුමිල ඉහළයි. ඒත් ඒ කිසිවක් නිසා මම නම් මගේ මානසික සතුට නැතිකර ගන්නෙ නැහැ. ලැබෙන දේට අනුව ජීවිත රවුම ගහගත්තාම, එයින් සෑහීමකට පත්වෙන්න පුළුවනි. සරලවන තරමට ජීවිතය හරි පහසුයි. මට සයිවර් කඩෙන් කන්නත් පුළුවන්, තරු හෝටලයකට යන්නත් පුළුවන්. ඒ විදියට හුරුවුණාම ජීවිතය ඔරොත්තු දෙනවා. ගෙදර මල්පෝච්චිවල තියෙන්නෙ මල් ගස් නෙවෙයි, එළවළු වගා කරලා තියෙන්නෙ. ඒකෙ ගෞරවය රිද්මාට හිමිවිය යුතුයි. ඉතින් 2019 න් පස්සෙ මහා ලොකුවට අපි මාකට් එකෙන් එළවළු අරන් නැහැ. නැත්නම් ඉතින් එළියට බැස්ස වෙලාවෙ ඉඳලා ප්‍රශ්න තමයි ඔළුවට එන්නෙ. සිස්ටම් චේන්ජ් එකක් වෙනකල් කියලා අපි අපේ සතුට නැතිකරගන්න අවශ්‍ය නැහැ.
රොෂාන් කොහොමද විවාහ ජීවිතය? හොඳයි ?
ඇත්තෙන්ම මම හිතුවටත් වඩා හොඳයි. රිද්මා දරුවාවත් හදාගෙන ගෙදර පෝච්චියක හෝ එළවළුවක් වගාකරගෙන ගෙදර ලස්සනට තියාගෙන හරි ලස්සනට ජීවිතය ගෙවනවා. එදිනෙදා ප්‍රශ්න හමුවේ අපට ජීවිතය සුන්දර කරගන්න ඒ සියලු දේ ඉවහල් වුණා. විවාහ ජීවිතයේදී ඇත්තටම මම සතුටින්. මම පුළුවන් විදියට ගේ අතුගාලා දීලා හරි මම රිද්මාට, ගෙදර වැඩවලට උදවු කරනවා. ඒ විදියට ජීවිතයේ දී එක්කෙනෙකුට විතරක් බරක් නොදී පුළු පුළුවන් විදියට වැඩ බෙදාගෙන කළොත්, දෙන්නටම සතුටක් දැනෙන්නෙ. මොකද ඒවා කරන්නෙ සතුටින්නෙ. සමහරු මට බනින්නෙ මම සෝෂල් මීඩියාවල නැහැ කියලයි, වට්ස්ඇප් හැර මම සෝෂල් මීඩියා එකේ නැහැ. මම ආසා කරන්නෙ පොතක් කියවන්න, ඇවිදින්න, ව්‍යායාම් කරන්න, ෆිල්ම් එකක් බලන්න වගේ දේ වලටයි. සෝෂල් මීඩියා එකේ ඉඳිද්දි පොත් කියවීම පවා අඩුවුණා. ඒ නිසා මම ඒවායින් ටිකෙන් ටික ඈත්වුණා.
සඳුන් ගමගේ