ග්‍රීන් හාර්ට් පදනම හරහා ලාංකිය දරුවන්ට ජාත්‍යන්තරයට යාමට පාලමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හන්ඩ්‍රඩ් (100) හෙවත් සියය යන සංවිධානය ඇත්තේ ලෝකයේ හොඳම අධ්‍යාපනය ඇතැයි සඳහන් වන ෆින්ලන්තයේය. මෙම හන්ඩ්‍රඩ් සංවිධානයේ අරමුණ වෙන්නේ ‘ලෝකයේ සිටින සෑම ළමයකුටම සමාන අධ්‍යාපන ක්‍රමයක් ලබා දිය යුතුය’ යන්නය. ‘ලෝකයේ සෑම ළමයකුම ඉගෙනීම් කළ යුතුය සහ අධ්‍යාපනය මගින් නව නිපැයුම් සොයාගත යුතුය’ යන්න එහි මුඛ්‍ය තේමාව වෙයි. ළමයින්ට ඇති ආරක්ෂාව ගැන ද ප්‍රධානව සළකා බැලිය යුතුය යන්න මෙම සංවිධානයේ තවත් අරමුණකි. යෙනුලි බිනාරා රසංජන දැරිය මෙම හන්ඩ්‍රඩ් සංවිධානයේ ලාබාලතම තානාපතිවරියක ලෙස පත් වූයේ ඇයට වයස අවුරුදු 12 දී පමණය. ඉන්පසු වසරේදී නැගී එන නායක යන වර්ග කිරීම සමග ඇයට තවත් උසස්වීමක් ලැබිණි. එම තනතුරුවලට අමතරව පසුගියදා ඇයට තවත් ලොකුම ලොකු අවස්ථාවක් ලැබිණ. එනම් මෙම සංවිධානයේ තරුණ තානාපතිවරුන්, ලේකම්වරුන් ඇතුළු සියලු දෙනා අතරින්, කමිටු ප්‍රධානි තනතුර ලැබීමය. ලෝකයේ රටවල් ගණනාවක තරුණ තානාපතිවරු අතරින් මෙම තනතුර ඇයට හිමිවීම ලාංකීය දියණියක ලැබූ සුවිශේෂි අවස්ථාවකි. ඊට අමතරව Young Achiiever 2023 යන සම්මානයද ඇය ලබා සිටින්නීය. ඒ ලාබාල වයසේදි කළ සේවය වෙනුවෙනි. මෙලෙසින් මේ දියණිය සතු අධ්‍යාපනික, කලා සහ නිර්මාණශීලි මෙන්ම, ගායන ක්ෂේත්‍රයේදී දක්වන දක්ෂතා බොහෝමය. 2019 දී I Sing World ප්‍රාසාංගික මාලාවේදී අවසාන අවස්ථාව පැවැතියේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේදීය. එහිදී ලොව විවිධ තරගකරුවන් අතරින් මේ යෙනුලි බිනාරා 2 වැනි ස්ථානය දිනා ගත් අතර ඊට අමතරව හොඳම ඉදිරිපත් කිරීම උදෙසා ලැබූ සම්මානය හිමිවූයේද ඇයටය.මේ සියලු දේට අමතරව යෙනුලි බිනාරා ‘ටෝස්ට්මාස්ටර්ස්’ සංවිධානයේ සාමාජිකාවක වී සිටින්නේ මහජනතාව ඉදිරියේ ඇය දක්වන කථන හැකියාව නිසාය. Public Speaking යන අංශයෙන් ඇය කැනඩාව ඇතුළු රටවල් කීපයකට ගොස් ඇයගේ දක්ෂතා ඉදිරිපත් කර තිබේ. පරිසර හිතකාමී චරිතයක් වන මේ යෙනුලි බිනාරාගේ දැන් අරමුණ දක්ෂතා ඇති ශ්‍රී ලාංකීය තවත් දරුවනට ඇය මෙන් ජාත්‍යන්තර වේදිකාවට යෑමට මෙන්ම අධ්‍යාපනයෙන් ඉහළට යන ගමන වෙනුවෙන් ජාත්‍යන්තරව පාලමක් තනා දීමටය. තවමත් වයස අවුරුදු 15 ක් වන ඇය ගිය දුර පැසසිය යුතුමය. නව යව්වනයට එළැඹීමටත් පෙර ජීවිතයේ අරුත්බර ගමනක් පැමිණි යෙනුලි බිනාරාගේ මව දිල්රුක්ෂි දේවගේ​ සඳැල්ලට අදහස් දැක්වූයේ මෙලෙසිනි.

යෙනුලි බිනාරා මොන වගේ පවුලක කෙනෙක්ද? ඒ පවුලේ විස්තර කිව්වොත්?

බිනාරාගෙ තාත්තා වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්. මම දිල්රුක්ෂි දේවගේ. ගුරුවරියක ලෙස මෙහි සේවය කරනවා. අපි පදිංචි වෙලා ඉන්නෙ එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රාන්තයේ ෂෙෆීල්ඩ් නගරයේ. ඒ කාලයේ මම ‘මුතුහර’ සමාජයේ හිටියා. ඒ වගේම වයලීන වාදනය කළා. ඒ වගේම ඉස්සර මම ගීත ගැයුවා. මගේ ගුරුතුමිය වුණේ විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය. මමයි මහත්තයයි දෙන්නම විශාරද දක්වා සංගීත උපාධිය වෙනුවෙන් හැදෑරුවේ ඉන්දියාවේ භාත් ඛණ්ඩෙ සරසවියෙන්. ඒ වුණාට අපි දෙන්නා උසස් පෙළ සමත් වුනේ වෙනම අංශවලින්. මම කළේ විද්‍යා විෂයයන්. සැමියා ගණිත අංශයෙන්. පසුව සැමියා සේවය සඳහා ඕමානයට ආවා. ඉන්පසුව තමයි එංගලන්තයට ගියේ.

බිනාරා දුව මේ දක්ෂතා පටන් ගත් මූලාරම්භය ගැන ආවර්ජනය කළොත්?

දුව උපන්නෙ ලංකාවෙදි. එයා ලංකාවේ පරිසරයට – ගහට – කොළට හරිම ආදරෙයි. මෙයාට බාල සහෝදරයෙක් ඉන්නවා. මේ දෙන්නවම එයාලගෙ පොඩි කාලයේ ඉඳලම අපි පරිසරයට යොමු කළා. ඒ කියන්නෙ පරිසරය රකින්න සහ ඊට ආදරය කරන්න. බිනාරා 2019 දි ඕමානයේ සිටියදී Public Speaking අංශයෙන් දෙවැනි ස්ථානයේ ශූරතාවය දිනා ගත්තෙ රටවල් ගණනාවක සිසුන් අතරින්. ඉන්පසුව එම වසරේදීම Public Speaking සහ ලිවීමේ  (Writing) අංශයෙන් කැනඩාවේදි Outstanding Award එක දිනා ගත්තා. ඒවාට අමතරව ඔපෙරා, සහ ඉංග්‍රීසි වේදිකා නාට්‍ය අංශයෙන් ජයග්‍රහණ ලබා ගත්තා. I Sing World තරගයට මුලින්ම ඉදිරිපත් වුණේ 2019 දී ඕමානයේ සිටියදියි. එහිදී දෙවැනි ස්ථානය සහ හොඳම ඉදිරිපත් කිරීම වෙනුවෙන් සම්මාන දිනා ගත්තා.

Europop – 2019  තරගාවලියේදීත් ජයග්‍රහණය කළා නේද?

සියලුම යුරෝපීය රටවල් අතර වූ ඒ තරගයට ඉදිරිපත් වුනෙත් ඕමානයේ සිට. Best Singer of the Europe යටතේ ජූරිය විසින් පිරිනමන එකම සම්මානය දිනා ගත්තෙ බිනාරා. ඒ සියල්ලට අමතරව විවාද තරගවලදි කථන සහ කථික තරගවලදි ජයග්‍රහණ ලබා ගත්තා.

ග්‍රීන් හාර්ට් පදනම ආරම්භ කළේ මේ පුංචි දැරිවිය නේද?

ඔව්, එයා ඒක කළේ පරිසරයට සතුන්ට සහ ලෝකයට තියෙන ආදරය නිසාමයි.

ගායනයෙන් ලෝකයට ගියේ මොන ගීතයෙන්ද?

Wake up mom ගීතයෙන්. එය පරිසරය වෙනුවෙන් තේමා කරගෙන කළ ගීතයක්. ඒ ගීතය ඉදිරිපත් කළේ 2020 දී. එම වසරේදීම Bipin Kuriakose ග්‍රන්ථ කතුවරයාගෙ කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ ජාත්‍යන්තර අවස්ථාවේ දුව ප්‍රධාන දේශනය කළේ ප්‍රධාන ආරාධිත දේශිකාව ලෙස.

ඇය ගීත ලියලා ජයග්‍රහණ ලැබුවේ?

ඒ 2021 දී එංගලන්තයේදී.

එතකොට 'Hundred' සංවිධානයේ තානාපති වුණේ?

2021 සිට.

මේ Hundred සංවිධානයට අපේ ලංකාවේ සිටින ළමුනට තානාපතිවරු ලෙස සම්බන්ධ වෙන්න බැරිද?

ඒක අතිශය දුෂ්කර අවස්ථාවක්. එහෙම වෙන්න නම් මේ දුව වගේ විවිධ අංශවල, විවිධ විදියට දක්ෂතා දක්වන්නට ඕනැ. ඒ අනුව තමයි ඊට බඳවා ගන්නෙ. හැබැයි එහෙම යන්න බැරි දරුවන් වෙනුවෙන් දුව යම්කිසි අත්වැලක් සැපයීම හෙවත් පාලමක් තැනීම වෙනුවෙන් අලුත් සංකල්පයක් හඳුන්වා දුන්නා.

මොකක්ද බිනාරා ඒ තැනූ පාලම?

Hundred සංවිධානයේ කෙරෙන වැඩ අතරින් ආවරණය නොවන අංශයක් බිනාරා තෝරාගෙන තියෙනවා. පරිසරය සුරැකීම කියන අංශයේ තිබූ ඒ හිඩැස වෙනුවෙන් දුව හන්ඩ්‍රඩ් සංවිධානයේ තානාපතිනියක සහ කමිටු සභාපතිනිය ලෙස ඇය කළේ නවෝත්පාදන කියන අංශයට පරිසර හිතකාමී නවෝත්පාදන කියන අංශය හඳුන්වා දීමයි. ලෝකය අද පාරිසරිකව විනාශ වෙලා තියෙන්නෙ පරිසර හිතකාමී විදියට නවෝත්පාදන නිර්මාණය නොකළ නිසාය කියන අදහස දුව ඉදිරිපත් කළා. අන්න ඒ වෙනුවෙන් තමයි ලංකාවේ ළමුන් 200 කගෙ මූලිකත්වයෙන් බිනාරා ග්‍රීන්හාර්ට් (Green Heart) පදනම පටන් ගත්තෙ. බිනාරාගේ ග්‍රීන්හාට් ෆවුන්ඩේෂන් විද්‍යුත් ලිපිනයට ළමුන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා ඊමේල් පණිවිඩුයක් එවීම මගින් එම සංවිධානයට බැඳීමට අවශ්‍ය කටයුතු දැන ගන්න පුළුවනි. අපි එවන පිරවුම් පත පුරවා එවීමෙන් සුදුසුකම් ඇති අය මෙම සංවිධානයට බඳවා ගැනීම සිදුවෙනවා.

කොහොමද මේ දුව ගෙදරදි මොන වගේ චරිතයක්ද?

එයා පොත පතේ වැඩ ඉතා හොඳින් කරමින්, ඒවාට මූලිකත්වය දීලා තමයි බාහිර වැඩවල යෙදෙන්නෙ. අධ්‍යාපන වැඩකටයුතු එයා කරන්නෙ හරිම උනන්දුවෙන් සහ ඇයගේම ආසාවෙන්. ඇයට විවිධ අත්කම් නිර්මාණ අලුත් විදියට හිතලා කරන්න පුළුවනි. ඒකත් විශේෂ දක්ෂතාවයක්.

යෙනුලි බිනාරාගෙ අරමුණ?

ඇයට අවශ්‍ය වෘත්තියක් තනතුරක් පසුපස හඹා යාමට නෙවෙයි. ඇයට අවශ්‍ය කවදාහරි ලෝකයට සේවයක් වන දෙයක් කිරීමටයි.

ගෙදරදි විනෝදාංශයට කරන්නෙ?

චිත්‍ර අඳින්න ආසයි. ඒ වගේම ඕගන් එක වාදනය කරනවා. ගෙදර අස්කිරීමේ වැඩ හරි පිළිවෙලට කරන්න ආසයි. ගෙදර අහකදාන දෙයින් පවා පරිසර හිතකාමී නිර්මාණ කරනවා.

සඳුන් ගමගේ