ගමෙන් කොළඹට ආවේ හීන දෙකක් හින්දා - අමිල චින්තක ගමගේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජීවිතය අස ආදරය මනරම් සුවයකි. මිහිමත ඇති සොඳුරුතම මනෝභාවය එය යැයි සිතේ. හුස්මක් වැටෙන සහ හුස්මක් නොවැටෙන දෙයක් කෙරෙහි වුව ආදරය ඉපදේ. දෙයියන්දර සිට කොළඹට යාත්‍රාව ඔහුගේ ජීවනයේ සොඳුරුතම නවාතැන්පොළ නිර්මාණය කරන්නේ ආදරණීයම හීන දෙකක් පපුවටම තුරුළු කරගෙන ඒ ගමන ආ හෙයින්මය. පුවත්පත් කලාව සහ නළුකම ඒ සපැමිණි ගමනේ ඔහුගේ ආදරණීයම සිහින විය. දැනෙන්නට හුස්මක් වැටෙන ජීවිතයක් ඔහු වෙත තිළිණ කළේ ඔහු ආදරය කළ ඒ සිහින යැයි මට සිතේ.  

Q මාතර දෙයියන්දර ඉඳන් කොළඹ එන්න ඕනැමයි කියලා හිතෙන්න හේතු වුණු විශේෂම හේතුවක් ඇත්තටම තියෙනවද?

ඔව්. එහෙම හේතුවක් තියෙනවා. පුංචි කාලෙ ඉඳන් හැදිලා තිබුණු උණක් හොඳ කරගන්න තමා ඇත්තටම කොළඹ ආවෙ. 

Q ඒ උණ ගැන තමයි දැන් එහෙනම් කතා කරන්න ඕනෑ?

පුංචි කාලෙ ඉඳන්ම පුදුම ආසාවක්, පුදුම හීනයක් තිබුණා පත්තරකාරයෙක් වෙන්නයි නළුවෙක් වෙන්නයි. 

Q උණක් කීවාට එකවර උණ දෙකක්නෙ හැදිලා තියෙන්නෙ?

ඔව්. නළු උණයි පත්තර උණයි දෙකම එකම රස්නෙට ඇඟ පුරා හිත පුරා තිබුණා. පුංචි ළමයා ටිකෙන් ටික ලොකු වෙද්දි තේරුණා ඒ උණ සනීප කරගන්න නම් දෙයියන්දර ඉඳන් කොළඹට එන්නම ඕනෑ කියලා. 

Q ඉතින් ඊටපස්සෙ?

ඉතින් මම 2006 දි මාතර දෙයියන්දර ඉඳන් කොළඹට ආවා. කලාව කියන එක අඳුරගෙන තිබුණත් ඇත්තටම කලාව කියන එක හරියට නිර්වචනය කරගත්තෙ කොළඹ ආවට පස්සෙ කියලා මට හිතුණා. ගමේ ඉද්දි නාට්‍ය සහ ටෙලිනාට්‍ය තමයි අපිට හුඟාක් සමීප මාධ්‍ය වුණේ. වේදිකාවේ මගේ ඇරඹුම සටහන් වෙන්නෙ දහම් පාසලේදි. මගේ නළු සිහිනයට පළමු ඉඩ හදලා දුන්න තැන දහම් පාසල. දහම් පාසලේදි අවුරුදු හතරක් මම පිට පිටම හොඳම නළුවා වුණා. දෙයියන්දර ජාතික පාසලේ ඉගෙන ගන්න කාලයේ ඉඳන් මම රඟපෑවා. හොඳම නළුවා විදිහට තෑගි දිනාගත්තා. රඟපාන්න මට පුළුවන් කියන එක මම ඇත්තටම අඳුරගත්තෙ දහම් පාසලෙන් සහ පාසලෙන්. 

Q කොළඹ ඇවිත් හිතේ තිබුණු හීනවලට ආරම්භය අරගත්තෙ කොහොමද?

මම කොළඹ ඇවිත් ජාතික තරුණසේවා සභාවේ නාට්‍ය හා රංග කලාව පාඨමාලාව හැදෑරුවා. ඒ ඩිප්ලෝමා පාඨමාලාව අවුරුද්දක් පුරා සතියේ දවස් පහම හැදෑරිය යුතු පාඨමාලාවක්. ඒ කාලයේදීම ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වීමට මට අවස්ථාව හම්බවුණා. 

Q වේදිකාව ඔබේ මුල්ම තෝතැන්නයි. ආරම්භය ගැන මතකය දිගේ ඇවිදිමුද?

සුසිල් ගුණරත්නගේ දෙනුවර දෙන්නෙක් කියන වේදිකා නාට්‍යයේ වේදිකා පරිපාලකයෙක් විදිහට තමයි කොළඹ ඇවිත් මුලින්ම වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණේ. ඊට පසු නාලක විතානගේ නිර්මාණය කළ I Love ජෙනී මම රඟපෑ පළමු ටෙලිනාට්‍යයයි. 

Q ඉතින් ඊටත් පස්සෙ?

අද වනතුරු නාට්‍ය හතළිහකට ආසන්න සංඛ්‍යාවක මම රඟපාලා තියෙනවා. ඒ හැම එකකම වගේ පොඩි පොඩි චරිත තමා මට ලැබුණෙ. ඒත් අනිච්චාවත සංඛ්‍යාරා කියන නාට්‍යයේ එකදිගට ගලාගෙන ගිය චරිතයක් මට ලැබුණා. මේ දිනවල විකාශනය වන සැලෙනා නුවන් ටෙලිනාට්‍යයේ ජනාගේ චරිතයත් ඒ විදිහට දිගටම ගලාගෙන යන චරිතයක්. 

Q ඔබ නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට හදාරපු කෙනෙක්. මම කැමතියි ඔබෙන් අහන්න මෙහෙම ප්‍රශ්නයක්. රංගනය කියන්නෙ විෂයක් විදිහට ඉගෙන ගන්න පුළුවන් දෙයක්ද?

A to Z ඉගෙන ගන්න බැහැ. මට හිතෙන්නෙ රංගනය කියන එක ඇඟෙන් එන්න ඕනෑ දෙයක්. මූලිකව සහජ හැකියාවක් විදිහට අරන් ආව දෙයක්. ඒත් මම විශ්වාස කරනවා එය විෂයක් ලෙස හැදෑරීම තුළින් එම හැකියාව තවදුරටත් ඔපමට්ටම් කරගන්න පුළුවන් කියලා. එහෙත් න්‍යායාත්මක දැනුමට පමණක් දක්ෂ රංගන ශිල්පියෙක් හෝ ශිලිපිනියක් නිර්මාණය කරන්න, නිෂ්පාදනය කරන්න බැහැ කියන එක මම පිළිගන්නවා. රංගනය ගැන න්‍යායාත්මකව බිංදුවකවත් දැනුමක් නැති දක්ෂ රංගන ශිල්පීන් ඕනෑ තරම් ඉන්නවා. එහෙත් ඕනෑම දෙයක් විෂයක් බවට පත්කර ගන්න පුළුවන්. නමුත් ඒ විෂය හැදෑරූ පමණින් එහි දක්ෂයෙක් හෝ ප්‍රවීණයෙක් වෙන්න බෑ. එය රංගනයටත් අදාළයි. ඒත් මම හිතනවා රංගනය පිළිබඳව හැදෑරීම කියන්නෙ සුබවාදී මඟපෙන්වීමක් කියලා. 

Q මම මෙහෙම ඇහුවොත්... සංවේදී ඉවක්, සමාජීය ස්පර්ශයක්, පට්ට සමාජීය රස්තියාදුවක් නැති කෙනකුට පුළුවන්ද හොඳ රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙන්න. ඒ ඉව ස්පර්ශය සහ රස්තියාදුව පුළුවන්ද විෂයකින් උගන්වන්න?

මම එකඟ වෙනවා. මනා සංවේදී ඉවත් සමාජීය ස්පර්ශයත් පට්ට සමාජීය රස්තියාදුවත් කියන්නෙ නළුකමට මාර පන්නරයක් තමයි. සමාජීය ඉව තුළින් ලබන දැනීම් සමාජ රස්තියාදුවෙන් ලබන අත්දැකීම්, ඒ අත්දැකීම් ඇඟටයි හිතටයි පත්තියම් කරගත්තම එන ගැම්ම න්‍යායන්වලින් උගන්වන්න බෑ. සමාජය ගැන ගැඹුරු කියැවීමක් තියෙද්දි මිනිස්සුන්ගෙ හිතුවිලි, සිහින, බලාපොරොත්තු, ආත්මීය රස ගැන මාර ඉවක්, දැනීමක් කෙනකුට එනවා. ඒ ඉව සහ දැනීම තියෙන කෙනකුට පුළුවන් ආත්මීය හුස්මක් එක්ක ඕනෑම චරිතයකට පරාරෝපණය වෙන්න. මට හිතෙනවා රඟ නොපා රඟපාන නළු නිළියන් නිර්මාණය වෙන්නෙ සහ නිෂ්පාදනය වෙන්නෙ එවන් පසුබිමක කියලා. මානසික ඒකාග්‍රතාව ගිලිහුණු තැන චරිතය ගිලිහෙනවා. ඇත්තටම රඟපෑම කියන්නෙ භාවනාවක් වගේ. චරිතය රඟපාද්දි නළුවා හෝ නිළිය කියන්නෙ ''මම'' නෙවෙයි. තමන් ගිලිහී තවත් චරිතයක් වෙත ආත්මගත වීම ඇත්තටම ලේසි දෙයක් නෙවෙයි. මට හිතෙනවා පොළොවෙ ඉඳන් අහසට පයින් ගහන මිනිස්සුන්ට ඒ පරාරෝපණය ඒ විදිහටම ගන්න බෑ කියලා. ආයාසයකින් තොරව චරිත තුළට ප්‍රවේශ වෙන කෙනකුට පුළුවන් චකිතයකින් තොරව චරිතය ඇතුළෙ ජීවත් වෙන්න. මොකද එහෙම ''රස්තියාදුකාරයන්ගේ'' පපුව ඇතුළේ ලෝකය තේරුම් ගන්න හදගැස්මක් තියෙනවා. අනිත් මිනිස්සුන්ගෙ දුක, වේදනාව, සතුට, කලකිරීම, හැම මනෝභාවයක්ම තේරෙන සහකම්පනයක් තියෙනවා. ඒ හැම දෙනෙක්ටම කෘත්‍රිම විදිහට චරිතයක් ඇතුළෙ සැරිසරනවා වෙනුවට එය ඕනෑම චරිතයක් එක්ක ගැඹුරු හුස්මක් අරගෙන බැඳෙන්න වෙළෙන්න පුළුවන්. 

Q කලාකරුවෙකුට හෝ කලාවේදියෙක්ට මරණය තෙක් කලාව තුළින් අතිශය තෘප්තිමත්භාවයට පත්විය හැකි යැයි ඔබ විශ්වාස කරනවද?

නැහැ. මට හිතෙන්නෙ කලාව තුළින් කවදාවත් කාටවත් අවසන් හුස්ම තෙක් තෘප්තිමත් වෙන්න බැහැ කියලා. 

Q එහෙම කියන්න හේතුව මට පැහැදිලි කරලා දෙන්න?

මට මීට වඩා දශමයක් හරි කරන්න තිබුණා නේද කියන හැඟීම ඕනෑම රඟපෑමක් අවසානයේ රංගන ශිල්පියෙකුට දැනෙන්න පුළුවන්. අනිත් එක රඟපෑම කියන්නෙ එක්තරා පිපාසයක්. ඒකතරා ලුහුබැඳ යාමක්. එක්තරා ගවේෂණයක්. එය ඇතුළෙ කොච්චර දක්ෂ නළුවෙක් නිළියෙක් වුණත් තමන්ගෙ ජීවිතය අවසන් හුස්මක් නොවීමේ අවකාශයක් තියෙනවා කියලා මට හිතෙන්නෙ. රඟපෑ චරිත හැරුණුකොට තව චරිත රඟපාන්න ඔවුන් සිහින දකිනවා ඇති. මීට වඩා දශමයක් හෝ මට කරන්න තිබුණා කියන හිතුවිල්ල ඔවුන්ට දැනෙනවා ඇති. රංගනය ඇතුළෙ තව තව ඉසියුම්ම දේවල් හොයන් යන්න හිතෙනවා ඇති. මගේ අනන්‍යතාවට තවදුරටත් තහවුරු කරගන්න තෘෂ්ණාවක්, ආශාවක්, කැමැත්තක් ඇතිවෙනවා ඇති. ඉතින් මට හිතෙනවා ඔවුන් කවදාවත් තෘප්තිමත්භාවයේ අවසානයට ළඟා නොවන එක්තරා මානව කොට්ඨාසයක් කියලා. 

Q රංගනය තුළ ඔබේ විශිෂ්ටයන් කවුද?

මාලන් බ්‍රුන්ඩෝ මම දකින විශිෂ්ටම රංගන ශිල්පියෙක්. රඟ නොපා රඟපාන චරිතය තුළ දැනෙන්න ජීවත් වන නළුවෙක් ඔහු. ලංකාවේ මම කැමතිම සුවිශිෂ්ටම නළුවා විදිහට මම දකින්නෙ සෞම්‍ය ලියනගේ. රංගනය තුළ සෞම්‍ය ඔහුටම අනන්‍ය රංග පෞරුෂත්වයක් ගොඩනගාගෙන තියෙනවා. ඒ පෞරුෂයට මම හරි ආසයි. ඒ වගේම රංගනයෙදි ඔහුගේ ලොකු ඇස් පාවිච්චි කරන විදිහට මම හරි ආසයි. ඔහු මට වීරයෙක්. ඒ වගේම මහේන්ද්‍ර පෙරේරාටත් මම හරි ආසයි. ඔහුත් මගේ වීරයෙක්. එහෙම කිහිප දෙනෙක් ඉන්නවා. 

Q දක්ෂ නළුවෙකුට පුළුවන්ද දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න?

නළුකම කියන එක දන්න කෙනකුට නළුවෙක් විදිහට හැසිරෙන්න ඕනෑ කොතැනද කියලා දන්න කෙනකුට අධ්‍යක්ෂකවරයෙක් විදිහට භූමිකාවන් හසුරුවන්නත් හොඳ පරිචයක් තියෙන්න පුළුවන්. නිර්මාණශීලී අධ්‍යක්ෂකවරුන් වූ දක්ෂ නළුවන් ඉන්නවා. හොඳ නළුවෙක් වීම තුළ හොඳ අධ්‍යක්ෂකවරයෙක් වීමේ සම්භාවිතාවය තියෙනවා කියන එක පිළිගන්න පුළුවන්. 

Q පුවත්පත් කලාව හෝ රංගනය කියන දෙකෙන් එකක් තෝරාගන්න වුණොත් තෝරාගන්නෙ මොකක්ද කියලා ඇහුවොත් කෙලින් උත්තරයක් දෙන්න පුළුවන්ද?

ඔව්. 

Q කියන්න ඉතින් එහෙනම් ඒ දෙකෙන් කොතැනද රුඳෙන්නෙ?

රංගනය. ඒ තමයි මගේ තෝරාගැනීම. 

Q හේතුව?

මම හොඳටම දන්නවා ප්‍රබල ස්ථාවරත්වයක් ගොඩනගා ගත්තෙ නැත්තෙ නම් ලංකාවෙ නළුවෙක් වෙලා ජීවත් වෙන්න අමාරුයි කියලා. ඒකට මූලිකම හේතුව තාමත් ලංකාවේ කලාව කර්මාන්තයක් විදිහට ශක්තිමත්ව ගොඩනැගී නොතිබීම. එහෙත් ඒ සියල්ල ඉවසානෙ මාරම කට්ටක් කාගෙන කලාවේ රුඳිලා ඉන්න අය මේ රටේ ඉන්නවා. මට හිතෙනවා ඉටු නොවුණු ආශාවන් සහ බලාපොරොත්තු වෙනුවෙන් දුක් ඉවසීම සහ දරාගැනීම මනුෂ්‍ය ස්වභාවයක් කියලා. මම දෙයියන්දර ඉඳන් කොළඹට ආවෙ හීන දෙකක් අරගෙන. ඒ හීන දෙකම ඉටුකර ගත්තා. පත්තරකාරයෙක් වගේම නළුවෙකුත් වෙන්න පුළුවන්කම තිබුණා. එහෙත් පුවත්පත් කලාව තුළ පත්තරකාරයෙක් විදිහට ලියන්න තිබුණු උණ සෑහෙන්න සංසිදවා ගත්තා මම. ඒත් රංගනයෙන් ඉදිරියට යන්න තියෙන ආසාව කවදාවත් සංසිඳෙන එකක් නෑ. අර මුලින් කතා කළා වගේ එය කවදාවත් තෘප්තිමත් නොවන තැනක රැඳෙන දෙයක්. 

රංගනයෙන් ඉස්සරහට යන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. තවදුරටත් රඟපෑම දියුණු කරගන්න ආසාවක් මගේ තියෙනවා. මට හානියක් නොවෙන ඕනෑම කැපකිරීමක් ඒ වෙනුවෙන් කරන්න මම සූදානම්. 

Q සිනමාව ඔබේ සිහින අතරට එකතු වුණේ නැද්ද?

රඟපෑම ඇතුළෙ ඒ හීනයත් මට තියෙනවා. මම චිත්‍රපට සංස්ථාවෙ සිනමාව පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් කළා. ඒ කාලයේ හුඟාක් විදේශීය චිත්‍රපට බැලුවා. අදටත් ඒ ස්වයං හැදෑරීම මගේ ගාව තියෙනවා. මම වඩාත් කැමති කලාත්මක සිනමා ධාරාවට. ඒත් එයින් කියැවෙන්නෙ වාණිජ සිනමාව බැහැර කරනවා කියන එක නෙවෙයි. සිනමාව මගේ සුන්දර සිහිනයක්. ඇත්තටම මම චිත්‍රපට තිර රචනයක් ලියලා තියෙනවා. ඒක කලාත්මක ධාරාවේ චිත්‍රපටයක් කියලා මම විශ්වාස කරනවා. ඒ තිර පිටපත චිත්‍රපටයක් වෙනවා දකින එක තමයි මේ වෙද්දි මගේ ජීවිතේ ලොකුම සිහිනය. ඊට කලින් මම කෙටි චිත්‍රපටයක් දෙකක් කරයි. ඒත් ජීවිතේ තියෙන වටිනාම සිහිනය තමයි සිනමාවේදියෙක් වීම. 

Q ඔබ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ඇයි අහනකම් ඒ ගැන මුකුත් නොකිව්වෙ?

ඔව්. කෙටි චිත්‍රපට කියන්නෙත් මගේ හීනයක් බව මතක් කරලා දුන්නට ස්තූතියි. 2016 දී ජාතික තරුණසේවා සභාව මගින් පැවැත්වූ Youth festival හි මම අධ්‍යක්ෂණය කළ මගේ අනෙකා කියන විනාඩි අටේ කෙටි චිත්‍රපටය හොඳම කෙටි චිත්‍රපට දහය අතරට තේරුණා. මම එහි රඟපෑවා. ඒ වගේම හොඳම චිත්‍රපට ලෙස ජාත්‍යන්තර සම්මාන උළෙලකදී ඇගයීමට පත්වූ කෙටි චිත්‍රපට දෙකකත් මම රඟපෑවා. ඒ ගයාන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ පෙරිෂ්ලා සහ රනිල් රුවන් පතිරණ අධ්‍යක්ෂණය කළ ගිනි කියන කෙටි චිත්‍රපට දෙකයි. 

Q ආ මඟ දිහා හැරිලා බලද්දි දැනෙන හිතුවිල්ල අවංකවම කියන්න?

ඇත්තටම දෙයියන්දර ඉඳන් භෞතිකව හිස් අතින් ආපු මම පුවත්පත් කලාවේදියකු හා රංගන ශිල්පියෙක් විදිහට ගොඩනගා ගත්ත දේවල් ගැන තියෙන්නෙ සතුටක්. විශාල ආත්ම තෘප්තියක්. ඒ සතුට ​සහ ආත්ම තෘප්තිය සමඟම කොළඹ ආපු ගමනේදී අද දක්වා උදව් කරපු හැම කෙනෙක්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. ලංකාදීපයේ මාධ්‍යවේදියකු වශයෙන් පුවත්පත් කලාවට ඉන්න මඟ හදලා දුන්න තාරකා වාසලමුදලිආරච්චිත් පුවත්පත් කලාව තුළ යෝධ සෙවණැල්ලක් වූ ලංකාදීප හිටපු කර්තෘ සහ වත්මන් උපදේශ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි රණසිංහ සර්වත් ආදරයෙන් මතක් කරන්න ඕනෑ. ඒ වගේම ජයන්ත වීරසිංහ, සෙනෙවිරත්න කොඩිප්පිලි, අතුල සමරනායක, සුරංග ලක්මාල්, නිදුක් මධුෂික, සුරේෂ් අල්විස්, නලින් ගුරුගේ, අර්ජුන විමුක්තිනායක, සමීර තොටවත්ත, ලසිත සහ මලින්ද ඇතුළු නව නොකීවත් වචනෙකින් හරි දිරියක් දුන් හැම කෙනාම මේ මොහොතේ හදවතින්ම ආදරෙන් සිහිපත් කරනවා. අද මට දැනෙන හිතුවිල්ල තමයි කලාව කියන දේ අවසන් හුස්ම තෙක් ජීවිතේ අත්හරින්නෙ නෑ කියන එක. අවසන් හුස්ම තෙක් අත්හරින්නෙ නෑ කියන්නෙ සංසාරයේ මා එය රුගෙන යාවි. තවදුරටත් කලාවේ විවිධ ඉසව් ගැන හදාරමින්, සොයමින්, අධ්‍යයනය කරමින් මගේ ගමන මා යා යුතුයි කියන හිතුවිල්ල තමයි අවංකවම අද මට දැනෙන්නෙ.

I සංජීවිකා
සේයාරූ I සුමුදු හේවාපතිරණ