ගමේ මිනිස්සු මගේ මහන්සියට වටිනාකමක් දුන්න එක ගැන නොයෙක් අපහාස මම දැක්කා - ITN අවුරුදු කුමරා
මෙවර ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරායා ලෙසින් කිරුළ පැළිඳුවේ තරංග සමරසිංහයි. ඔහු කලා ක්ෂේත්රයට නවකයෙක්. කලාව තුළින් දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වන තරංග සාරවිට අපි සමග සාකච්ඡාවකට එකතු වුණේ මේ විදිහටයි.
ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ නම තරංග සමරසිංහ. මගේ ගම කලුතර - මතුගම ප්‍රදේශයේයි. මේ වසරේ ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමාරයා ලෙසින් මම කිරුළු පැළඳුවා. මම කලාවට ඇවිත් දැනට අවුරුදු දෙකක් පමණ වනවා. මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ.
ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ?
ඒ මොහොත මතක් වෙනකොට දැනටත් මගේ ඇස්වලට කඳුළු එනවා. ඒ ගැන මට ඒ තරම් සතුටක් තිබෙන්නේ. මොකද මම මේ ජයග්‍රහණය වෙනුවෙන් පහුගිය අවුරුද්දේම හීන මැවුවා. ඒ හීනය හැබෑ වුණු එක ගැන මට නිහතමානී සතුටක් තිබෙනවා.
තරඟාවලියේදී අභියෝගයන් පැමිණියේ නැද්ද?
මම හිතන්නේ මේ ගමනේදී මට වැඩියෙන්ම ලැබුණේ අභියෝග. මම පොඩි තැනක ඉඳලා ආපු කෙනෙක්. මම පොඩි කාලේ ඉඳලා මගේ වැඩ තනියම කරගෙන හුඟක් බාධක මැදින් ආපු කෙනෙක්. ඒ බාධක එක්ක මට මේක හීනයක්. මම මුලින්ම අවුරුදු කුමරා තරඟයට අයදුම් කළාම මට හිනා වුණු අයත් හිටියා. ඒ හැමදේම දරාගෙන මම මගේ ගමන අද ආවා.
ජයග්‍රහණයත් සමග නිර්මාණවලට ආරාධනා ලැබෙන්න ඇති?
ඔව්. දැනටමත් ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබී තිබෙනවා. මම මේ ජයග්‍රහණය ලබාගත්තේ ස්වාධීන රූපවාහිනියෙන්. ඒ නිසා මගේ මුල්ම නිර්මාණයත් ස්වාධීන රූපවාහිනියේ විකාශය වන නිර්මාණයකටම දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.
මේ ඔබේ පළමු තරඟාවලියද?
නැහැ. මම පසුගිය වසරේත් ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරා තරඟයට ඉදිරිපත් වුණා. එහිදී මම අවසන් දොළොස් දෙනා අතරට පැමිණියා.
ඔබව පිළිගැනීමේ උත්සවයක ඡායාරූප මේ දිනවල අතිශයින් හුවමාරු වනවා. ඒ පිළිබඳව මොකද්ද කියන්න තියෙන්නේ?
ඔව්. මමවත් මගේ දෙමව්පියෝවත් මේ පිළිගැනීමේ උත්සවය පිටුපස ඉදන් කිසිම අවස්ථාවක මේ සඳහා සහය වුණේ නැහැ. මාව හොදින් දන්නා අඳුරන අය දන්නවා මම රෝසමල් යහනාවක ඉදලා ආපු කොල්ලෙක් නෙවෙයි කියලා. අඩියෙන් අඩිය තනියම යන ගමනක්. මගේ කුඩා අවදියේ ඉඳලා මං ගැන දන්න මගේ ගම්වාසීන්, යාලුවෝ එකතුවෙලා මම හීනෙන්වත් නොහිතපු විදිහේ උත්සවයක් සංවිධානය කරලා තිබුණා. මගේ ගමේ මිනිස්සු මගේ මහන්සියට වටිනාකමක් දුන්න එක ගැන නොයෙක් අපහාස මම දැක්කා. තරගකරුවන් දහසක් අතරින් ජයග්‍රහණයක් ලබාගන්න පහසු දෙයක් නෙමේ. අපි හැමෝටම හීන දකිනවා. ඒ සිහින සැබෑ වන විට සතුටක් දැනෙන එක පොදු හැඟීමක්. මීට වඩා දෙයක් සුභවාදී ලෙස දකින්න පුලුවම් වුණානම් වගේම අභ්‍යන්තරය ගැන නොදැන බාහිරව දකින දේ ගැන කතා කරනවාට වඩා වගකීමෙන් අපි වැඩ කළා නම් මේ ලෝකේ මීට වඩා ලස්සන තැනක් වෙයි.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
කලා ක්ෂේත්රයෙන් ඉදිරියට යාමට තමයි ලොකුම බලාපොරොත්තුව.
උදව් කරපු අය ගැන කිව්වොත්?
මුල ඉඳලාම මගෙත් එක්ක හිටියේ මගේ යාළුවෝ සහ මගේ දෙමව්පියෝ. එයාලාව ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ සභාපති නිරෝෂන් ප්‍රේමරත්න මහතා, මංජුල මහතා, අමිත මහතා ඇතුළු ස්වාධීන රූපවාහිනීයේ සියළුම කාර්යමණ්ඩලය ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මට වචනයකින් හරි උදව් වුණු හැම දෙනාවමත් මම ආදරයෙන් මතක් කරනවා.
කැළුම් දේවින්ද