ගෑනියෙක් මිනිහෙක් එකට ඉඳලා බැලුවාම තමයි තේරෙන්නේ ඉන්න පුළුවන්ද බැරිද කියලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපි කරන දේවල් ගැන සමාජය මොනව හිතයිද කියන මානසිකත්වය අතහැරලා ජීවත් වෙන්න හැමෝටම බැහැ. එහෙත් මේ කතා කරන්න යන කෙනා නම් ඒ මානසිකත්වයෙන් මිදිලා ටිකක් තමන්ට කැමති විදියට ජීවිතේ දකින්න සහ විඳින්න උත්සාහ කරන කෙනෙක්. කවුරු මොනව කිව්වත් ඔහු කරන්නේ ඔහුට ඕනෑ දේ. සමහර විට අභියෝගාත්මක චරිත හරහා ඔහු අපට මුණ ගැසෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති. ඔහු සම්මානනීය රංගන ශිල්පී දසුන් පතිරණ. හුඟදෙනෙක් ආදරේට ඔහුව හඳුන්වන්නේ ‘දස්සා’ නමින්

මොනවද අලුත් තොරතුරු? 

මේ දවස්වල ටෙලිඩ්‍රාමා දෙකක ෂූටින් යනවා. ස්වාධීන රුපවාහිනියේ විකාශය වෙන සුපුන් රත්නායකගේ 4චූන් සහ  ස්වර්ණවාහිනියේ විකාශය වෙන ලක්මිණී අමරදේවගේ ‘මේක තමයි ජීවිතේ’ ටෙලි නාට්‍ය දෙකේ. 

අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තියනවද?

තියෙනවා තියෙනවා. නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. අලුත් ටෙලිඩ්‍රාමා එකක් තියෙනවා. ෆිල්ම් එකකුත් තියෙනවා. පහළොස් වැනිදායින් පස්සේ අලුත් ටෙලිඩ්‍රාමා එක පටන් ගන්නවා. 

කරලා තියෙන කළු චරිතය මොකක්ද? 

ඇත්තමට මම බ්ලැක් ටයිප් එකේ චරිත කරලා තිබුණේ නැහැ. එහෙම කරලා තියෙන්නේ දෙකයි. එකක් තුන්පනේ ඩ්‍රාමා එකේ බ්ලැක් කැරැක්ටර් එකක් කළා. අනෙක් එක අලුත් නිර්මාණය අවුට්සයිඩර් ඒකේ මම ඉන්නේ විලන්ට. ඒ චරිතයත් බ්ලැක්. සෙක්ස් දර්ශන ඇතුළත් චරිත ඇති නිර්මාණ භාරගන්න බොහෝ අය සූදානම් නැහැ. නමුත් දසුන් පතිරණ කියන්නේ අභියෝගාත්මක චරිත භාරගත් නළුවෙක්?
මම නළුවෙක් විදියට full open හිතන කෙනෙක්. ඇත්තටම සෙක්ස් කියන දේ මට නෝර්මල් දෙයක්. නළුවෙක් විදියට කැමරාවක් ඉස්සරහ ඇඳුම් ගලවනවා කියන එක මට කිසිම ප්‍රශ්නයක් නැහැ nothing'. නිර්මාණයට අවශ්‍ය නම් මම ඒක කරනවා. අපි සාමාන්‍යයෙන් වැඩ කරන්නේ පොඩි ළමයින්ට නෙවෙයි. වැඩිහිටියො ඒ නිර්මාණ බලන්නේ. වැඩිහිටි කියන්නේ ඒක තේරුම් ගන්න පුළුවන් අයනේ. නිර්මාණයක් ඇතුළෙ සෙක්ස් තියෙන්න පුළුවන්. වයලන්ස්  තියෙන්න පුළුවන්. ඒක ඇතුළෙ වැඩිහිටි මාතෘකා තියෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මම නළුවෙක් විදියට කරන්න පුළුවන් උපරිමයෙන්ම ඒ චරිතේ කරනවා. ඒවා ඇතුළෙ සෙක්ස් චරිත තියෙනවා කියන්නේ මට මාර දෙයක් නෙවෙයි.

අභියෝගාත්මක චරිත භාරගනිද්දි පවුලේ අයගෙන්, බිරිඳගෙන්, හිතවතුන්ගෙන් බලපෑම් ඇවිත් තියෙනවද? 

ඇත්තටම එහෙම බලපෑමක් ඇවිත් නැහැ. මොකද මගේ තීරණ ගන්නේ මම. ගෙදර අය හෝ අනිත් අය ඒ ගැන හිතන විදිය මට අදාළම නැහැ. අනිත් එක ඒ අයගෙන් එහෙම බාධාවක් එන්නෙත් නැහැ. 

භාරගන්න චරිතවලින් දසුන් පතිරණ කියන ප්‍රතිරූපයට හානියක් වෙලා නැද්ද?

ඇත්තෙන්ම නැහැ. මොකද මට ඒ හැම නිර්මාණයකටම තියෙන්නේ හොඳ කමෙන්ට්ස් විතරයි. සයපෙති කුසුම (Frangipani) චිත්‍රපටයේ මම කලේ සමලිංගික චරිතයක්. ඒ චරිතේ භාර ගද්දිත් මට හිතවත් කිහිප දෙනෙක්ම කිව්වා උඹ ඒක කරන්න එපා කියලා. ඒත් මට ඒක අදාළ වුණේ නැහැ. මට ඒ චරිතයට හොඳම නළුවා සම්මානයත් ලැබුණා. නළුවෙක් විදියට මට ලැබෙන චරිතයට මම කැමති නම් ඒක කළුද, සුදුද, අළුද කියන එක අදාළ නැහැ. දක්ෂතාව පෙන්නන්න ඒක හොඳ අවස්ථාවක් නම් මම ඒ අවස්ථාව ගන්නවා. 

කොහොමද ෆැමිලි ලයිෆ් එක?

ඉතාම හොඳයි. හොඳ අවබෝධයකින් තේරුම් ගැනීමකින් හංසියි මායි ලයිෆ් එක ගත කරනවා. දුවලා දෙන්නෙක් ඉන්නවා. කෙල්ලෝ දෙන්නට මම පට්ට ලව්. එයාලා දකින්නේ නැතිව මට ඉන්න බැහැ. ඉස්සර වගේ නෙවෙයි මොනතරම් කාර්ය බහුල වුණත් ඒ අය වෙනුවෙන් කාලයක් දෙනවා.

හුඟක් අය කියනවා දසුන් තවමත් අවිවාහකයි කියලා?

ඔව්, අපි විවාහ වෙලා හිටියේ නැහැ. ඒ වුණාට අපේ ලයිෆ් එකටවත්, මටවත්, හංසිටවත් ළමයින්ටවත් ඒක ප්‍රශ්නයක් වෙලා නැහැ. ළමයින්ගේ පාසල් කටයුතුවලට සහ විවිධ අවස්ථාවල ලීගල් ප්‍රශ්න ටිකක් මතුවුණු නිසා මේ ළඟදි සෙටිෆිකෙට් එකට අත්සනක් දැම්මා. මට කොහෙත්ම කසාද බඳින්න, වෙඩින් ගන්න හීන නැහැ. ලයිෆ් එක ඇතුළෙ අපි සතුටින් නම් එච්චරයි. සමාජය මොනවා හිතුවත් මට ප්‍රශ්නයක් නැහැ. තමන්ට ඕනෑ විදියේ තීරණ අරන් ජීවත් වෙන්න හැමෝටම බැහැ?තමන්ට ඕනෑ ජීවිතේ ගතකරන්නේ කොහොමද කියන එක තීරණය කරන්න ඕනෑ තමන්.

ඒක තීරණය කරන්න කාලයක් ගියා. හුඟක් අය ඩිවෝස් වෙන්නේ එකට ඉඳලා පුරුදු නැති නිසා. ඒත් ගෑනියෙක් මිනිහෙක් එකට ඉඳලා බැලුවාම තමයි තේරෙන්නේ ඉන්න පුළුවන්ද බැරිද කියලා. මම කියන්නෙ නෑ කවුරුත් මම හිතන විදියට හිතන්න ඕනැ කියලා නමුත් තමන්ට ඕනෑ කරන ලයිෆ් එක හොයාගන්න තමන්ට පුළුවන් වෙන්න ඕනෑ.

ප්‍රාර්ථනා කරපු ජීවිතේ ද ලැබිලා තියෙන්නේ?

ප්‍රාර්ථනා කරපු ජීවිතේ ලැබිලා නැහැ. ඒත් මම කලාකරුවෙක් විදියට, න`ඵවෙක් විදියට, මම ආව ගමන සම්බන්ධයෙනුත්, ජීවිතේ මේ වෙනකොට අත්පත් කරගෙන තියෙන දේවල් සම්බන්ධයෙනුත් ඉතාම තෘප්තිමත්

නයනා උදයංගනී