ගින්දරී 03 රට වටේ දුවමින් ආදායම් වාර්තා අලුත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලාංකීය සිනමා ඉතිහාසය තුළ මෑතකාලයේදී දක්නට ලැබුනු ජනප්‍රියම Horror – Comedy චිත්‍රපටය ලෙසින් සැලකෙන්නේ “බහුබූතයෝ” හාස්‍ය සිනමාපටයයි. උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය මෙරට සිනමාහල් වලට මුදා හැරියේ 2002 වසරේදීයි.

ආරම්භයේ සිට අවසානය දක්වාම ප්‍රේක්ෂකයින්ට විනෝදය සපයන හාස්‍ය ජවනිකා නිසාත්, පවුලේ සැමට නැරඹිය හැකි සරල family entertaining නිර්මාණයක් වූ නිසාත්, බහුබූතයෝ චිත්‍රපටය එකල අතිශය ජනප්‍රියත්වයට පත් වුනා. අන්තර්ජාලයේ සඳහන් වන ආකාරයට එය 2002 වසරේ වැඩිම ආදායම්ලාභී සිංහල සිනමාපට අතරටත් එක් වනවා.

දින 100කට අධික කාලයක් මෙරට සිනමාශාලා තුළ තිරගත වුනු “බහුබූතයෝ” චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ පබෝදා සංදීපනී, රොඩ්නි වර්ණකුල සමඟින් මහේන්ද්‍ර පෙරේරායි. රොඩ්නි වර්ණකුල සහ මහේන්ද්‍ර පෙරේරා විසින් ලැන්ටි – බන්ටි නැමැති මාධ්‍යවේදීන් දෙදෙනාගේ චරිත රඟ දැක්වූ අතර පබෝදා සංදීපනී නිරූපණය කළේ ටිකිරි නැමැති යක්ෂණියගේ භූමිකාවයි.

ලැන්ටි සහ බන්ටි පසුපස හඹා එන ටිකිරි නැමැති යක්ෂණියත්, ටිකිරිගේ කටයුතු නිසා ඔවුන් දෙදෙනාට මුහුණ දීමට සිදු වන අකරතැබ්බි දාමයත්, බහුබූතයෝ චිත්‍රපටය හරහා රසිකයින්ට දක්නට ලැබුනා.

“බහුබූතයෝ” සිනමාපටය ලැබූ අතිශය සාර්ථකත්වය නිසාම එහි දෙවන දිගහැරුමක් නිෂ්පාදනය කරන්නට උදයකාන්ත වර්ණසූරිය තීරණය කළ අතර එහි කතාව දිගහැරුනේ පළමු චිත්‍රපටය අවසන් වූ තැන සිටයි. 2015 අප්‍රේල් මාසයේදී “බහුබූතයෝ 02: ගින්දරී” නමින් මෙරට සිනමාශාලා වලට නිකුත් වූයේ එම sequel චිත්‍රපටයයි. මුල් මාසය අවසන් වනවිට රුපියල් මිලියන 45කට අධික ආදායමක් සමඟින් පළමු චිත්‍රපටයට නොදෙවෙනි ආකර්ෂණයක් හිමි කරගන්නට එයත් සමත් වුනා.

එයින් පසුව, බහුබූතයෝ චිත්‍රපට මාලාවේ තුන්වන දිගහැරුම ලෙසින් රසිකයින්ට සමීප වන්නේ මෙම “ගින්දරී 03” සිනමා නිර්මාණයයි. පළමු චිත්‍රපට ද්විත්වය මෙන්ම මෙහි අධ්‍යක්ෂණය සහ තිර පිටපත් රචනය සිදු කර තිබෙන්නේ ද උදයකාන්ත වර්ණසූරිය විසින්මයි. මෙය ඔහුගේ 25වන සිනමා අධ්‍යක්ෂණය වීමත් විශේෂත්වයක්! චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය දරන්නේ උදයකාන්ත වර්ණසූරියට අයිති U Creations නැමැති නිෂ්පාදන ආයතනයයි. තස්මේනියාවේදී තිරගත කළ පළමු සිංහල සිනමාපටය ලෙස හැඳින්වෙන්නේත් “ගින්දරී 03” සිනමා නිර්මාණයයි.

මුල් නිර්මාණවලට එකතු වූ පබෝදා, මහේන්ද්‍ර සහ රොඩ්නි විසින් “ගින්දරී 03” සිනමාපටයේ ප්‍රධාන චරිත ත්‍රිත්වයත් පෙර පරිදිම නිරූපණය කරන අතර මුල් ගින්දරී චිත්‍රපටය අවසන් වූ තැන සිට මෙහි සිද්ධි දාමය ආරම්භ වනවා. ඊට අමතරව පෙර බහුබූතයෝ චිත්‍රපටවල නොසිටි නව චරිත කිහිපයකුත් “ගින්දරී 03” හරහා ඔබට දැකගන්නට පුලුවන්.

පසුගිය දෙසැම්බර් 01 වනදා සිට දිවයින පුරා සිනමාහල් වලදී ප්‍රදර්ශනය ඇරඹි මෙම සිනමාපටය, මේ වනවිට අතිශය ජනප්‍රියත්වයක් ලබමින් සාර්ථකව තිරගත වනවා. සිය පළමු දිනයේදීම ලක්ෂ 08කට වැඩි ආදායමක් රැස් කරගත් එය දෙවන දිනය තුළදී පමණක් රුපියල් ලක්ෂ 13කට වැඩි ටිකට්පත් සංඛ්‍යාවක් අලෙවි කොට තිබෙනවා.
නිෂ්පාදකයින් පවසන ආකාරයට වසර 03කට පසුව සිංහල සිනමාපටයක් ආරම්භක දිනයේදී ලැබූ වැඩිම ආදායම වන්නේ මෙයයි.

“ගින්දරී 03” හි ප්‍රදර්ශනය අරඹා පළමු සතිඅන්තය අවසන් වනවිට වාර්තාගත රුපියල් ලක්ෂ 74.2ක මුදලක් රැස් කර ගැනීමට ඊට හැකිවූ අතර වසර 08කට පසුව සිංහල චිත්‍රපටයක් පළමු දින හතර තුළ සෙවූ වැඩිම ආදායම වන්නේ ද එයයි.

කෑගල්ල මිලානෝ සිනමා සංකීර්ණයේදී පමණක් මුල් දින හතර තුළදී රුපියල් 740,000ක ආදායමක් ලබා ගැනීමට ගින්දරී 03 සමත් වූවා.