ගොඩක් වැඩ එනවා මම භාරගන්නේ නැහැ
මේ දිනවල විකාශය වෙන ටෙලි නිර්මාණ කිහිපයකම දකින නවින්දි රැපියෙල් කලා ක්ෂේත්රය තුළ දකින්නට ලැබෙන අලුත් මුහුණකි. ස්වාධින රූපවාහිනියේ විකාශය වෙන දිව්‍යාදරි හි තුෂි ලෙසත්, හිරු රූපවාහිනියේ විකාශය වෙන සංසාරිණි හි අමෝදි ලෙසත් වර්තමානයේ ප්‍රේක්ෂක ඔබගේ ආදරය දිනාගන්නට සමත් නවින්දිට මෙවර අපද ඉඩක් වෙන් කළා.
කලා ක්ෂේත්රයට ඔබගේ පිවිසීම සිදුවන්නේ කොහොමද?
ටෙලි නාට්‍යය රංගනයට නම් එන්නේ ගිය අවුරුද්දේ ඉඳලා. ඒ ප්‍රදිප් ධර්මදාස අයියාගේ දිව්‍යාදරි ටෙලි නාට්‍යය තුෂි කියන චරිතය හරහා. හැබැයි මම රංගනයට එන්නේ මට වයස අවුරුදු හතක් වෙද්දි. මුලින්ම රඟපෑවේ ඇන්කර් නිව්ඩේල් කියන වෙළෙඳ දැන්වීමේ. එදා ඉඳලා ඉතින් අද වෙනකම් මම වෙළෙඳ දැන්වීම් බොහෝමයකට පෙනී ඉඳලා තියෙනවා.
දිව්යාදරිට සම්බන්ධ වෙන්න ලැබුණේ කොහොමද?
මේක මට අහම්බෙන් ලැබුණ අවස්ථාවක් කිව්වොත් හරි. මගේ මල්ලි මට කලින් දිව්‍යාදරි ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා හිටියා. ප්‍රදිප් අයියාගේ බෝංචි ගෙදර ඉන්ද්‍රජාල ටෙලි නාට්‍යය හරහා තමයි මල්ලි රඟපාන්න ආවේ. ඒ හින්දා මල්ලිව ගොඩක් හොඳට ප්‍රදිප් අයියා දන්නවා. ඔහු මල්ලිට කියලා තිබුණා පිහිනන්න දක්ෂ ගැණු ළමයෙක් ටෙලි නාට්‍යයට අවශ්‍යයි කියලා. මල්ලි කිව්වා නිකමට වගේ අපි පොටෝ ටිකක් යවලා බලමු ප්‍රතිපලය මොකක් වුණත් කමක් නැ කියලා. මල්ලි රඟපාන නිසා මටත් පොඩි කැමැත්තක් තිබුණා රඟපාන්න. කොහොම හරි පොටෝ ටික යවලා තිර පරික්ෂණයකටත් ඒ අය මට කතා කළා. එකටත් මුහුණ දුන්නට පස්සේ තමයි මට තුෂි කියන චරිතයට ලැබුණේ රඟපාන්න.
පාසල් යන කාලේ කලාවට තිබුණ කැමැත්ත කොහොමද?
ආදරයෙන් මතක් කරන්න ඕනා මගේ පාසල. එෂියන් ගැමර් ජාත්‍යන්තර පාසල. පාසල් යන කාලේ මම ගොඩක් වෙලාවට සංගීතය පැත්තට බර වෙලා හිටපු කෙනෙක්. ඒ වගේම පාසලේ බටහිර හා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම්වල සාමාජිකාවක් විදිහටත් මම කටයුතු කළා. අපේ පාසලේ අධ්‍යාපනයට වගේම වෙනත් බාහිර ක්‍රියාකාරකම්වලට ලොකු තැනක් දිලා තිබුණ පාසලක්. අවුරුද්ද පුරාම ඉතින් නොයෙකුත් වැඩසටහන් පාසල තුළ සංවිධානය වෙනවා. නිවාසන්තර ක්‍රීඩා උළෙල, අවුරුදු උත්සව, වෙසක් උත්සව, නත්තල් උත්සව මේ හැම දෙයක්ම වගේ පාසල තුළ සංවිධානය වෙනවා. ඉතින් ඉගෙන ගන්නවාට වඩා මමයි මගේ යාළුවෝ ටිකයි කළේ මේ හැම වැඩසටහනකට මුලීකත්වය දෙන එක. කොටින්ම කිව්වොත් කලාව පැත්තෙන් පාසලේ මාව නිතරම වගේ දකින්නට ලැබුණා.
දැනට දායක වුණ කලා නිර්මාණ මොනවද?
දිව්‍යාදරි තමයි මගේ පළමුවැනි ටෙලි නාට්‍යය. එහි තුෂි කියන චරිතය ගොඩක් ප්‍රේක්ෂකයෝ කතා කරපු චරිතයක් වුණා. දෙරණේ විකාශය වුණ ශක්ති ටෙලි නාට්‍යයෙත් මම රඟපෑවා. එහි මම ඉදිරිපත් කළේ ටයිනිගේ චරිතය. ඒකත් මම කරපු ලොකු චරිතයක්. හිරු නාළිකාවේ විකාශය වෙන සංසාරිණි ටෙලි නාට්‍යයේ අමෝදි කියන චරිතයෙන් මේ දවස්වල මාව දකින්න පුළුවන්. ඒක මට ලැබුණ වෙනස්ම විදිහේ චරිතයක් කිව්වොත් හරි. ගොඩක් ආරාධනා එනවා නමුත්, භාරගන්නේ නැහැ. මොකද, මම දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටින නිසා.
ගොඩක් තරුණ පිරිස් අද කලාවට සම්බන්ධ වෙනවා?
ඔව්, ඒකට හේතුව විදිහට මම දකින්නේ අද වෙන කොට මේ ක්ෂේත්රයට එන්න පහසු මාර්ග සැකසිලා තියෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍යය. නමුත්, මම දකින විදිහට අපි වගේ තරුණ පිරිස් ප්‍රසිද්ධ වෙන්න බලාගෙන මේ ක්ෂේත්රයට එන එක වැරදියි. මේ ක්ෂේත්රය ගැන දැනගෙන ඒ කියන්නේ යම් හැදැරිමක් සහිතව මේ ක්ෂේත්රයට යොමු විය යුතුයි කියන අදහසේ මම ඉන්නවා. ඒ වගේම කලාවට ගොඩක් ආදරය කරන්න ඕනා. එහෙම කෙනෙක්ට මේ ක්ෂේත්රය තුළ දිගු ගමනක් යන්න පුළුවන් කියලා මම හිතෙනවා.
පවුලේ අය කැමතිද ඔබ කලාවට සම්බන්ධ වුණාට?
මගේ පවුලේ ගොඩක් අය කලාවට සම්බන්ධ වුණ අය. විශේෂයෙන්ම තාත්තා. ඊට අමතරව මගේ මල්ලි. එයා දැනටත් ටෙලි නාට්‍යය කිහිපයකම වගේ රඟපානවා. මගේ ආච්චි සියා දෙන්නත් ගොඩක් සංගීතයට කැමති දෙන්නෙක්. ඉතින් මායි මල්ලියි හැදුණේ ඒ වටපිටාවක් තියෙන නිවසක. ඉතින් ගෙදර අය කවදාවත් මට එපා කිව්වේ නැහැ කලාව පැත්තට යොමු වෙනවට. ඒ අය මට නිදහසේ තිරණ ගන්න අවස්ථාව දීලා තිබුණා. හැමදේටම මගේ සෙවණැල්ල වගේ ඉන්නේ මගේ අම්මායි තාත්තායි. ඊට අමතරව මල්ලිගෙන් ලැබෙන සහයෝගයත් කියලා නිම කරන්න බැහැ.
බුද්ධික සේනාධීර