ගැටුම් නොමැතිව ප්‍රේම කරන්න නම් තමුන් සිටින මතයේම නොසිට අනෙකාට ඇහුම්කන්දීම ඉතාම වැදගත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ සුන්දර ‘රුමලි’ මේ දිනවල ප්‍රේක්ෂකයින් අතරට එන්නෙ ‘සීසර්ලා’ නාට්‍යයේ චරිතයක් සමගයි. ඊට අමතරව ඇය රංගනයෙන් දායකවූ තවත් ටෙලිනාට්‍ය නිර්මාණයක් ළඟදීම විකාශයට නියමිතය. ටෙලි රංගනයට අමතරව අලුත් සිනමා නිර්මාණයකටත් පසුගියදා ඇය දායකවූ බව සඳහන් කරයි. මෙලෙසින් හමුවන සුන්දර ‘රුමලි’ බාහිරින් පෙනෙන දකින ඇයගේ රූපයට වඩා ලස්සන අදහස් - සුන්දර සිතිවිලි ඇති තරුණියක වග මේ පිළිසඳර අවසන ඔබට වැටහේවි.සැබෑ ප්‍රේමය කුමක්ද? යන්න ගැන කතා කිරීමට ‘රුමලි’ වඩා උචිත පරමාදර්ශී ප්‍රේමවන්තියක වගද සඳහන් කළ හැකිය.

මෑතකදී වැඩ අවසන් කළ සිනමා නිර්මාණය ගැන මුලින්ම සඳහනක් කරන්න කැමතිද?

දිනක්ෂි, පැතුම් රුක්ෂාන් සහ මම දායකවූ වෙනස්ම ෆිල්ම් එකක්. මගේ රංගන ගමනේ වෙනස්ම අත්දැකීමක්. ඒ ෆිල්ම් එක මේ වසරේ තිරගත වේවි. එය අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයන්ට හොඳ සිනමා රසයක් - ආස්වාදයක් ගෙන දේවි.

‘රුමලි’ අද අපි ඔබ සමග ආදරය ප්‍රේමය ගැන කතා කරන්න කැමැතියි. කොහොමද ‘රුමලි’ගෙ ආදරය?

මට තියෙන්නෙ පාසල් සමයේ සිට පැවත එන ආදරයක්. දිගු කාලයක් තිස්සේ පවතින ආදරයක්.

ඒ විදියට දීර්ඝ කාලයක් ආදරය එක ලෙස තබා ගැනීමට මුල්වූ හේතු ලෙස දකින්නෙ?

මුලින්ම අපි ඇසුරු කළේ යාළුවෝ විදියට. කොහොමටත් පාසල් කාලයේ හැටි එහෙමනෙ. කාලයක් යද්දි අපි දෙන්නාට – දෙන්නා තේරුම් ගැනීම එක්ක ආදරයක් පටන් ගත්තා. ඒ ආදරය පවත්වා ගෙන යාමට ප්‍රධාන හේතුව වුණේ විශ්වාසය. එයා කලා ක්ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි. ව්‍යාපාර ක්ෂේත්‍රයේ. ඒ යාළුකම ඇතිවූ දවසේ ඉඳලාම එයා මාත් එක්ක මගේ සෑම වැඩකදීම වගේ සිටින කෙනෙක්. කිසිම විදියකට මාව අපහසුතාවයට පත්වන විදියට වැඩ කරලා නැහැ. මගේ අම්මා - තාත්තා තරමටම එයා මට රැකවරණය ලබා දෙනවා. කලා ක්ෂේත්‍රයේ විවිධ අංශවලදී මම තැබූ පළමු පියවරේ සිට මට සහයෝගය වෙමින් එයා මා එක්ක ඉන්නවා. ඒක මට ලොකු ශක්තියක්. මාත් මට පුළුවන් විදියට එයාට සපෝට් එක දෙනවා. ආදරයක් පවත්වාගෙන යන්න මූලිකම හේතුව වන්නෙ විශ්වාසයයි. ඒ වගේම රැකවරණයයි. එය නිබඳවම මට ඔහුගෙන් ලැබීම නිසයි, මේ ආදරය නොවෙනස්ව පවතින්නෙ.

ප්‍රේමය අලුත් වෙන්න හේතුවූ කාරණා හැටියට දකින්නෙ?

ඒ ආදරය ඇත්තටම අදටත් මට අලුත්. සමහර මගේ යාළුවෝත් ඒ ගැන අහනවා. අද කාලයේ බොහෝ විට ආදරය පවතින්නෙ ද්‍රව්‍යමය දේ මුල් කරගෙනයි. ඒ නිසා තමයි සබඳතා පවතින්නෙ නැත්තෙ. මගේ විදිය ගත්තොත්, ලැබෙන්නෙ නැති දේට වඩා ලැබෙන දේ ගැන බොහොම සතුටු වන කෙනෙක්.

අද බොහෝ විට හැඟීම්වලට මුල්වූ ආදර සබඳතා පවතින්නෙ කියලත් සමහරු කියනවා. කොහොමද ඒ ගැන හිතන්නෙ? ආදරය නැවුම් කරගන්න කළ දේ? ජංගම දුරකථනය ඔබට ප්‍රශ්නයක් වුණේ නැද්ද?

ආදරය නැවුම් වෙන්නෙ අපි කරන – කියන දේ එක්කයි. දවස ගානේ හමුවුණත්, දවස ගානේ කතා කළත්, එපාවීමක් නොවන්නේ එතෙක් පහසුවෙන් දෙදෙනා අවබෝධයෙන් කටයුතු කළ නිසයි. කෙනෙකු ඇසුරු කරද්දි අපට ප්‍රීතිමත් පහසුදායක පරිසරයක් නම් තියෙන්නෙ, ඒ ඇසුර හෝ හමුව එපාවීමක් වෙන්නෙ නැහැ. අවංකකම තමයි මූලික වෙන්නෙ. අපි දෙන්නට අද වන විට කියන්න බැරි දෙයක් නැති තරම්. ඒ තරමටම අපි අදහස් ප්‍රකාශ කිරීමේදී සමීපයි. ජීවිතේ බෙදා ගැනීම සිදුවෙනවා. අද දවසේ කොච්චර කතා කළත්, හෙටටත් ඒ විදියටම කතා කළ යුතු දේ අපට තියෙනවා. ජීවිතේ සියලුදේ බෙදා හදා ගැනීම තමයි ආදරය කියන්නෙ. අලුතින්ම වගේ ආදරය පවතින්නෙ අපි දෙන්නා අතර රහස් සහ සඟවා ගැනීම් නැති නිසයි.

අද කාලයේ සමහර සබඳතා හමාර වෙන්නෙ ගැටුම් හෝ ශෝකාන්තයකින්, ඇයි එහෙම වෙන්නෙ?

කෙනෙකු සමග ජීවත්වීම හෝ පවුලේ කෙනෙක් උදාහරණයකට ගනිමු. ජීවත්වීමේදී තමුන් විතරක් නොවෙයි, තවත් පාර්ශ්වයක් සිටින වග තේරුම් ගැනීම වැදගත්. අද කාලයේ බොහෝ වෙලාවට වෙන්නෙ තමුන් ගැන විතරනෙ හිතන්නෙ. කෝල් එකක් ආවෙ නැත්නම් ඒක ප්‍රශ්නයක් කර ගන්න හොඳ නැහැ. ඇයි එයාට කෝල් එක ගන්න බැරි වුණේ කියලා හිතන එකනෙ වැදගත්. එහෙම නැතුව කෝල් එක ගත්තෙ නැහැ කියලා ගැටුම් ඇති කරගත යුතු නැහැ. එහෙම වෙනවා නම් අතිශයින්ම මමත්වය තමයි එතැන තියෙන්නෙ. ආදරයේදී එහෙම විය යුතු නැහැ. මට වගේම අනෙක් කෙනාටත් තනි ජීවිතයක් තිබූ බව තේරුම් ගැනීම වැදගත්. තව කෙනෙක් තවත් කෙනෙකු වෙනුවෙන්ම ජීවිතය පරිත්‍යාග කිරීමම නෙවෙයි ආදරය කියන්නේ. දෙදෙනාගේ මතයන්ට ගරු කරමින් එක් මතකයට පැමිණීම තමයි නියම ආදරය. අද කාලයේ ස්වභාවය දකින්න ලැබෙන්නෙ අඩුවෙන්. ෆේක් හෙවත් ව්‍යාජ ජීවන රටාවකට හුරුවී තිබීම නිසා තමයි එහෙම වෙන්නෙ. අපි බැඳී සිටින කෙනා සමග ගත කරන ජීවිතය ලස්සන කර ගන්නෙ කොහොමද කියන එක ගැන තමයි සිතිය යුත්තෙ. තමාගේ ජීවිතය ගැන කෙතරම් දුරට හිතනවද? අනෙක් කෙනාගෙ ජීවිතය ගැනත් ඒ විදියටම සිතීම වැදගත්. දෙදෙනෙක් ජීවිත ගමන යාමට නම් පෙනුමට සහ ඒ ආකර්ෂණයට එය කළයුතු නැහැ.

හමුවීම් කෙසේ විය යුතුද?

දවසක් දුටුවා, දෙකක් දුටුවා, ඊළඟ සතියේ යාළුවීම හොඳය කියලා හිතුවොත්, අන්න එතැනදී තමයි ඉක්මණට වරදින්නෙ. අද ඉන්නවා. හෙට නැහැ විය යුතු නැහැ. අඩුතරමින් මාසයක් දෙකක් හරි කතා කරලා දෙදෙනාගේ ජීවිත රිද්මය ගැනවත් වටහා ගැනීම කළ යුතුයි. පවුල් පසුබිම සහ විශේෂයෙන්ම තමා කියනදේ තේරුම් ගන්න පුළුවන්ද කියනදේ වටහා ගැනීම වැදගත්. මාසයක් යාමට කලින් ප්‍රශ්න ඇතිවන්නෙ ඒ වටහා ගැනීම නැති නිසයි. 

ගැටුම් නොමැතිව ප්‍රේම කරන්න නම්?

ඕනෑම සබඳතාවයකදී පොඩි - පොඩි විරසකවීම්, නොහොඳ නෝක්කාඩුවීම් ඇතිවෙනවා. ප්‍රශ්න නොඑන තැනක් නැති තරම්. හැබැයි ගැටුමක් වළක්වා ගත හැකි හොඳම විදිය වන්නේ තමුන් සිටින මතයේම නොසිට අනෙකාට ඇහුම්කම්දීම අනුවයි. එක්කෙනෙකුගේ ඉවසීම ගැටුම් වළකාලන බව කියන්න පුළුවනි.

පෙම්වතා හඳුනා ගැනීමෙන් පසුව, රුමලි ඒ ගැන මව්පියන්ට කියන්න බියක් දැක්වූයේ නැතිද? නැත්නම් කෙළින්ම විවෘතව ඒ ගැන කිව්වද?

අපෝ නැහැ. එකපාරටම ගිහින් කියන්න තරම් මට ශක්තියක් තිබුණෙ නැහැ. මගෙත් එක්ක ළඟින් ඇසුරු කරන යාළුවෙක් විදියට මුලින්ම හඳුන්වලා දුන්නෙ. ඒත් අද තමුන් යාළු වූ විගස ගැහැණු ළමයි ගිහින් අම්මට කියනවා. ඒක වැරදි නැහැ තමයි. ඒත් අම්මා එක්වරම ඊට අනුබල නොදී සොයා බැලීම වැදගත්. මොකද ජීවිතය හදිසි විය යුතු නැහැ. හැම දෙයක්ම ජීවිතේ අවශ්‍ය කාලයට කළ යුතුයි. ප්‍රේමවන්තයින් ලෙස කරන ඇසුරට එහා ගිය අතිශය සමීප ඇසුරක් නම් පැවැත්විය යුත්තේ විවාහයෙන් පසුවයි. මම මේ විදියට ප්‍රකාශ කරන්නෙ මම හිතන විදිය ගැනයි. අවශ්‍ය කාලයේදී අවශ්‍ය දේ කළොත් විතරයි, ජීවිතේ සතුටින් ගමනක් යන්න පුළුවන් වෙන්නෙ. වැලන්ටයින් ඩේ එක පවා සැමරුවට කමක් නැහැ. තමුන්ව රැක ගන්න හිතන කෙනෙක් හමුවූ පසු, වැලන්ටයින් ඩේ එක පවා සමරන්නට අවශ්‍ය, ආදරණීය විදියට මිසක, සීමා-මායිම්වලින් එහාට ගිහින් නෙවෙයි. ප්‍රේමය සුන්දරයි. ඒක සුන්දරම වන්නේ හරි කෙනා හමුවූ පසුවයි.

ඔහු කෙරේ, ඔබට වැඩියෙන්ම ආදරයක් ඇතිවෙන්න හේතුවූ කාරනාව?

මම යාළුවෙක් විදියට ඇසුරු කළ කාලයේ ඉඳලාම එයා මට දැක්වූ ගරුත්වය වගේම රැකවරණය, ආරක්ෂා කිරීම මම සැබෑ ලෙස අත්විඳි දෙයක්. එයාගේ දුටු ලොකුම කොලිටි එක ඒක. මගේ තාත්තා ළඟ සිටින තරමේ ආරක්ෂිත හැඟීමක් තමයි මට එයා ළඟ ඉන්න කොට දැනෙන්නෙ. සෑම දෙයකින්ම මට කිසි බියක් වෙන්න එයා ඉඩ තියලා නැහැ. සැබෑ ආදරය එයා සැබෑ ලෙස අරුත්බර කරලා තියෙනවා. මාත් එයාට හරිම ගරුත්වයක් දක්වනවා.

සඳුන් ගමගේ