ගී ලොව සරසන පුංචි තරුව ශේෂා ස්වර්ණමාලී
කලා ක්ෂේත්රයේ ගායන අංශයෙන් දස්කම් පාන පුංචි ගායන තරුවක් පිළිබඳ මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා. මේ පුංචි දියණිය නමින් ශේෂා ස්වර්ණමාලි වීරසිංහ.
ශේෂා ගැන මුලින්ම පුංචි හැඳින්වීමක් කරමු ද?
මම ශේෂා ස්වර්ණමාලි වීරසිංහ. ඉන්නේ අනුරාධපුරේ. මගේ පාසල අනුරාධපුර විලච්චිය සීවලී ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, ඉගෙන ගන්නේ 4 වසරෙ. එතකොට මගේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි, මමයි. තාත්තා ගොවිතැන් කටයුතු තමයි කරන්නෙ. අම්මා සමෘද්ධි බැංකු සහායක ලිපිකාරිනියක්.
ශේෂාට ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන් කියලා ආරංචියි? ඒ යොමුවීම ගැන කියමු ද?
මට පුංචිම කාලේ ඉඳලා වගේ ගීත ගායනයට හැකියාවක් තිබුණා. ඒ නිසාම ඒ අංශයට වැඩි නැඹුරුවක් තිබුණා. පාසලේත් ගීත ගායනා පැත්තෙන් මම ගොඩක් දේවල්වලට සම්බන්ධ වෙනවා. ගීත ගායනයෙන් මම පාසලේත් ගොඩක් ජනප්‍රියයි. ඉතින් පාසලේ විදුහල්පතිතුමා කුලරත්න සර්, පන්තිභාර ගුරුතුමා චින්තක පීරිස් සර් ඇතුළු පාසලේ හැම දෙනාගෙන්ම මට ලොකු ආදරයක් ලැබෙනවා.
පාසලේ ගීත ගායනා කිරීමට අමතරව තව කොහෙද ගීත ගායනා කරලා තියෙන්නේ?
විජය පුවත්පත් සමාගම විසින් තන්තිරිමලේ විහාරස්ථානය මුල් කරගෙන 2022 වසරේ පවත්වනු ලැබූ ජාතික පොසොන් උත්සව මාලාවේ සිවිල් ආරක්ෂක බළකා සංගීත කණ්ඩායම සමඟ එක්ව ‘‘ජයසිරිමා හාමුදුරුවනේ’’ ගීතය ගායනා කරමින් ඒ උත්සවයේ ආරම්භය සනිටුහන් කළා.
ඒ වගේම 2021 වසරේ ලෝක ළමා දිනය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනියේ පැවැත්වුණු එක්තරා මාධ්‍ය සටහනකට ගීත ගායනා කළා.
ඒ වගේම මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මගින් පැවැත්වූ දෙමළ භාෂා පුහුණුවීම් වැඩසටහනක් අවසානයේ ද්‍රවිඩ ගීත ගායනයෙන් සම්බන්ධ වුණා. ඒ වගේ විවිධ වැඩසටහන් රැසකටම සම්බන්ධ වෙලා ගීත ගායනා කරලා තියෙනවා. ඒ වගේම රජරට සේවයේ සහ ‘‘City FM’’ ගුවන් විදුලි නාළිකාවල ‘‘සුභාවිත ගීතය’’ වැඩසටහන්වල ගීත ගායනා කරනවා.
ශේෂාගේම ගීත නිර්මාණයන් තියෙනවද?
ඔව්, මගේ මුල්ම ගීත නිර්මාණය තමයි ‘‘මේ හිරු කිරණ ඇවිත්’’. ඒ ගීතයෙහි පද රචනය සහ සංගීතය කළේ සැමි විමලධර්ම සර්. ඊළඟට මගේ දෙවැනි නිර්මාණය විදියට ‘‘දිලෙන හිරුගේ සොබා කිරණින්’’ ගීතය තමයි නිර්මාණය වුණේ. ඒවාත් එක්ක මම ගීත Cover කරලා තියෙනවා. ඒ ගීත අතර ප්‍රවීන ගායන ශිල්පිනියන් තිදෙනෙක් වන ලතා වල්පොල මහත්මියගෙත්, සුජාතා අත්තනායක මහත්මියගෙත්, රානි පෙරේරා මහත්මියගේ ගීතත් තියෙනවා. ඒ ගීතවලට ගොඩක් දෙනෙක්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා.
ශේෂා වැඩිදුරටත් සංගීතය හදාරනව ද?
ඔව්. මම විශාරද විභාග සඳහා මේ වෙද්දි පුහුණුවීම්වල නිරත වෙනවා. ආරම්භක ප්‍රවේශ විභාගයට මුහුණ දුන්නා. මාගේ සංගීත කටයුතුවලට උදව් කළේ රංගන ශිල්පි දිමුතු චින්තක සර්, විශාරද මෙනුකා දිසානායක මිස්, අනුරාධපුර සිද්ධාර්ථ විදුහලේ දිලුමි මිස් වගේම නීරාවියේ ශානිකා මිස්, ඒ හැමදෙනාම වගේම මගේ පාසලේත් විදුහල්පතිතුමා ඇතුළුව පාසලේ ගුරුවරුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
ධනු විජේරත්න