කොහොමටත් සිනමා සංගීතය කිරීමේ අදහසක් මට තිබුණෙ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ලාංකීය සිනමාවේ සංගීත අධ්‍යක්ෂිකා අංශයෙන් චරිත බිහිවන්නේ ඉතාම කලාතුරකිනි. ‘ගයත්‍රි කේමදාස’ සංගීතවේදිනිය ද එලෙසින් බිහිවූ චරිතයකි. මෙරට සංගීත ක්ෂේත්‍රයේ අන්තර්ජාතික සළකුණක් වූ නැසීගිය කේමදාස මාස්ටර්ගේ කනිටු දියණිය වන්නේ ඇයයි. ‘ගයාත්‍රි’ ගැන අද බොහෝ දෙනා කතා වන්නේ, කේමදාස මාස්ටර් නැවතූ තැනින් ඇය සංගීත කටයුතු කරගෙන යන නිසාම නොවේ. දෙස් - විදෙස් වශයෙන් ගයත්‍රි ගැන අද බොහෝ දෙනා කතාවන්නේ, පසුගියදා ලොස් ඇන්ජලිස්හි පැවැති ප්‍රථම සිලෝන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී, හොඳම චිත්‍රපට අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය දිනාගත් නිසාය. එලෙසින් ඇය සම්මාන ලැබුවේ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල අධ්‍යක්‍ෂණය කළ ‘‘ද නිව්ස් පේපර්’’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය වෙනුවෙනි. විශ්ව භාෂාවක්, විශ්වීය ආමන්ත්‍රණයක් වූ සංගීතය ඔස්සේ කතාකරන ‘ගයත්‍රි’ පිළිසඳරකට එක් වූ අවස්ථාවකි මේ.

ගයාත්‍රි කේමදාස මාස්ටර්ගෙ දූලා දෙදෙනාගෙන් දෙවැනි දියණිය නේද?

ඔව්, මම දෙවැනි දියණිය. අක්කා අනුපමා.

අක්කා මොනවද කරන්නෙ?

අක්කා ඉන්නෙ කැනඩාවේ. එයා (සොෆ්ට්වෙයාර්) මෘදුකාංග ඉංජිනේරුවරියක්. ඊට අමතරව චිත්‍ර ශිල්පිනියක සහ චෙලෝ වාද්‍ය ශිල්පිනියක ලෙසත් කටයුතු කරනවා.

ගයාත්‍රි මොනවද කරන්නෙ?

මම උසස් අධ්‍යාපනයෙන් පස්සෙ සංගීතය හැදෑරුවෙ චෙක් රාජ්‍යයෙ ප්‍රාග් නුවර සිට. පසුව එහිදී මට මගේ ප්‍රථම ඔපෙරාව කිරීමේ අවස්ථාව හිමිවුණා. ඒකෙ නම ‘පුලාන් දේවි’ ඇමරිකාවෙදි ඉදිරිපත් කළ එය පසුව කැනඩාවේ සහ එංගලන්තයේ පැවැත්වූවා. ඒ විදියට කටයුතු කරමින් සිටියදී නිලේන්ද්‍ර දේශප්‍රිය මහතාගේ ‘තණ්හා රති රඟා’ චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්‍ෂණය කිරීමට ආරාධනා ලැබුණා. ඒ නිසා ලංකාවට ආවා. කොහොමටත් කේමදාස පදනම පවත්වාගෙන යාමට ලංකාවට එන්න හිටියෙ. ‘‘තණ්හා රති රඟා’’ සංගීත අධ්‍යක්‍ෂණයට හිරු- දෙරණ සහ OCIC සම්මාන හිමිවුණා. මම හිතන්නෙ ලාංකීය චිත්‍රපට ක්ෂේත්‍රයේ සංගීත අධ්‍යක්‍ෂණය අංශයෙන් හොඳම සංගීත අධ්‍යක්‍ෂණයට කාන්තාවක් සම්මාන ලැබුවේ ප්‍රථම වතාවටයි.

ඉන්පසුව චිත්‍රපට සඳහා සංගීත අධ්‍යක්‍ෂණය කළේ නැද්ද?

‘‘දුවන මුවන්’’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය කළා. ඊට අමතරව වාර්තාමය වැඩසටහන් වෙනුවෙන් දෙස් - විදෙස් නිර්මාණවලට සංගීතයෙන් දායක වුණා. ඉන්පසුව තමයි, කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල මහත්තුරු මට ආරාධනා කළේ මේ චිත්‍රපටයට. වෘත්තීය වශයෙන් මම කරන්නෙ සංගීත කටයුතු. ඊට අමතරව සංගීතය ඉගැන්වීම් සහ තාත්තාගේ කේමදාස පදනමේ සංගීත කටයුතු පවත්වාගෙන යනවා.

ගයාත්‍රි’ ප්‍රධාන වශයෙන් සංගීතයේ වාදනය කරන්නෙ?

පියානෝ, චෙලෝ එකත් වාදනය කළා. ඒත් ප්‍රධානව මම වාදනය කරන්නෙ පියානෝ එක.

ලෝක සිනමා සංගීතයේදී, සංගීත අධ්‍යක්‍ෂවරියක ලෙස ලෝකයේ තවත් සංගීතවේදිනියන් සම්මාන ලබා තියෙනවද?

ලංකාවෙ නම් සංගීත අධ්‍යක්‍ෂණය සඳහා කාන්තා/ පිරිමි දෙපාර්ශවයෙන්ම ප්‍රථම වතාවට තමයි ‘ද නිව්ස්පේපර්’ වෙනුවෙන් සම්මානය ලැබුණෙ. හැබැයි ලෝක සිනමාවේ සංගීතය වෙනුවෙන් මීට පෙර, කාන්තාවන් සංගීත අධ්‍යක්‍ෂනගෙන් සම්මාන ලබා තියෙනවා.

ඇයි ‘ගයාත්‍රි’ ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට නොයන්නෙ? අදහසක් නැද්ද ඒ වෙනුවෙන්?

කොහොමටත් සිනමා සංගීතය කිරීමේ අදහසක් මට තිබුණෙ නැහැ. වාර්තාමය වැඩසටහන් විතරයි බාරගත්තෙ. මෙහෙට ආ පසුව තමයි ‘තණ්හා රති රඟා’ සමඟ සිනමා සංගීතය කෙරෙහි කැමැත්තක් ඇතිවුණේ. ලාංකීය සංගීතයේදී බොහෝ විට සිනමා සංගීත හෝ සංගීත නිර්මාණ අධ්‍යක්‍ෂණයට කාන්තාවගේ දායකත්වය සුලබ නැහැ. වාදන අංශයෙන් ටිකක් හරි දායකත්වය තිබෙනවා. ඒත් සංගීතය ඉගෙන ගෙන ඇවිත් හිටියත්, සංගීත අධ්‍යක්‍ෂණය පැත්තෙන් ලබාදෙන දායකත්වය අඩුයි.

සංගීත අධ්‍යක්‍ෂණය හැමෝටම කරන්න බැරි දෙයක්ද?

චිත්‍රපටයක් වේවා, වෙනත් නිර්මාණයකදී වේවා සංගීත නිර්මාණය කිරීම මගින්, ඒ නිර්මාණයට තවත් තීව්‍ර බවක්, අගයක්, රසයක් ලබා දෙන්න පුළුවන්. එකී නිර්මාණයෙහි අධ්‍යක්‍ෂවරයා නොදුටු පැති පවා ස්පර්ශ කරන්න පුළුවනි. පෙනෙන දේට අමතරව කතාවට තවත් අරුතක් සපයන්න පුළුවනි. චිත්‍රපටයකදී එක් අවස්ථාවක සංගීතය ඇසීම වගේම තවත් තැනකදී නොතිබීමම ඒකත් සංගීතයක්. ‘‘ද නිව්ස් පේපර්’’ චිත්‍රපටයේ ඒ වගේ අවස්ථා දැක ගන්න පුළුවනි. මේ වගේ නිර්මාණවලදී සංගීතයෙන් කතා කළාට ඇගැයීමට ලක්වෙනවා හරි අඩුයි. ඒ නිසා ජාත්‍යන්තරව ලැබුණු මේ සම්මානයට මට හරි වටිනවා.

සිනමා නිර්මාණයක නිමාවේදි නාමාවලිය සමඟ සංගීතය වාදනය වෙනවා. ‘‘ද නිව්ස් පේපර්’’ එකෙත් ඒක එහෙමමයි. ඒ අවස්ථාවට සංගීතය යෙදීමෙන් බලාපොරොත්තු වෙන්නෙ?

ඔව්, බොහෝ විට එන්ඩ් ටයිටල් (End tittle) එකේදී මිනිස්සු නැගිටලා යන අවස්ථා තියෙනවා. මේකෙදී මම කළේ පියානෝ වාදනයයි, හඬකුයි විතරයි. හරියට අහගෙන හිටියොත්. ඒ හඬ වෙන විදිහක්, පියානෝ වාදනය වෙන විදියක්. එයින් මට මේ චිත්‍රපටයේ කතා තේමාවට අදාළව යමක් ප්‍රකාශ කරන්න ඕනෑ වුණා. ඒ සමාජ අසාධාරණය සහ හඬක් අවැසි තැන හඬක් අවශ්‍යයි. කියන දේ වගේම ඒ ස්වභාවය පෙන්වන්න උත්සාහ කළා. ඒත් ඒ අපි ගත්ත ප්‍රයත්නය ගැන කිසිම විචාරකයකු ලියලා හෝ සඳහනක් වත් කරලා තිබුණේ නැහැ.

මේ චිත්‍රපටයෙන් එහාට, ගයාත්‍රිට’ ලැබී තිබෙන අවස්ථා මොනවද?

ප්‍රංශ වාර්තාමය නිර්මාණයක් වෙනුවෙන් සංගීත කටයුතු කරගෙන යනවා. ඊට අමතරව මේ අධ්‍යක්‍ෂවරු දෙදෙනාගේ (සරත් සහ තිරිමාදුරගෙ) අලුත් චිත්‍රපටයේ සංගීත කටයුතු කිරීමටත් සූදානම් වෙනවා.

ගයාත්‍රිට’ මෙහේ සිනමාකරුවන්ගෙන් ඇරයුම් ලැබෙන්න නැද්ද? නැත්නම් ඔබ මෙහි සිටින වග ඔවුන් දන්නෙ නැද්ද?

ඇරයුම් නම් නොලැබෙන තරම්. ලැබෙනව නම්, මීට වඩා මා ගැන කතා වෙන්න තිබුණනෙ.

වාණිජ හෝ ජනප්‍රිය රැල්ලේ හෝ සම්භාවය හෝ ඕනෑම නිර්මාණයක සංගීතය ඔබ බාර ගන්නවද?

නිර්මාණය හොඳ නම් එතැනදී වර්ග කිරීමක් නැහැ. අපේ තාත්තා ගත්තොත්, එයා ඒ විදියට නිර්මාණවලට දායක වුණා. රෝස කැකුළ රෝසා, ජැක් ඇන්ඩ් ජිල් වගේ ගීතවලට සංගීතය කළා. නිර්මාණයක් ඇතුළෙදි චින්තනයක් එක්ක මිසක වාණිජද, සම්භාව්‍යද කියන ප්‍රශ්නයත් මට නැහැ. එහෙම වෙන්න ඕනැත් නැහැ.

අපි හිතමු, අලුත් ගායක හෝ ගායන ශිල්පිණියකගේ ගීතයකට ඔබ ලවා සංගීත නිර්මාණය අවශ්‍යයි කියලා. ඒ වගේ දෙයකට ඔබ සම්බන්ධ කර ගන්න පුළුවනිද?

ගීතවලදී නම්, මට ටිකක් සැළකිලිමත් වෙනවා. ඒ නිර්මාණය හොඳ නම් බාර ගන්නවා.

රටක් සංගීත රසයෙන් රසගැන්වූ මහා සංගීතඥයකුගේ දියණියක වන ඔබගෙ ගෙදර ජීවිතයේ රස මොනවගේද?

දවස තරමක් කාර්ය බහුලයි. ඒ නිසා උදෑසනම අවදිවෙනවා. පොත් කියවීමට මම හරි ආසයි. උදේවරුව ඒ වෙලාවට යොදා ගන්නවා. ඊට අමතරව ඒ කාලයේදී තාත්තාට හිටිය වගේම මටත් සුනඛ සුරතලුන් කීප දෙනෙකු ඉන්නවා. එයාලගෙ කෑම බීම ගැනත් බලන්න වෙනවා. පාරේ ඉඳලා මුණ ගැහිච්ච ඒ අයගෙ දුක සැප බලන්න වෙනවා. ඒ හැර, දවසම සංගීත කටයුතු තමයි.

ගයත්‍රි’ගෙ මුළු ජීවිතයම සංගීතය විතරද?

මම විවාහ වෙලා ඉන්නෙ. මගේ සැමියා එංගලන්ත ජාතිකයෙක්. මේ අපේ රටේ ප්‍රශ්න තිබියදීත්, එයා මේ වෙලාවෙ ඉන්නෙ මා එක්ක. එයත් මගේ සහ කේමදාස පදනමේ කටයුතුවලට උදවු වෙනවා.

ලස්සන හඬකුත් තියෙන ගයාත්‍රි ගායනයට කැමති නැද්ද? හඬ පුහුණුවත් අනෙක් අයට උගන්වනව නෙ?

ගායනයට මගේ එච්චරම කැමැත්තක් නැහැ. පිටරට සිටියදී පවා පියානෝ වාදනය සහ හඬ පුහුණුව තමයි ඉගැන්වීමට මූලිකත්වය දුන්නෙ.

ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ නිර්මාණ සහ ගී අතරින් ඔබ වඩාත්ම ප්‍රිය ගීත නිර්මාණය මොකක්ද?

දකුණු ඇහැ වහලා වම් ඇහැට කැමතියි කියලා කියන්න බැහැ. ඇස් දෙකම අවශ්‍යයිනෙ. තාත්තගෙ නිර්මාණ එකක්වත් අහක දාන්න බැහැනෙ. හෙමින් සැරේ පියා විදා සිට ඕනෑම එකක් රස විඳින්න පුළුවනි. සෙනෙහස පුපුරා - උතුරා ගීතයත් විශේෂිත නිර්මාණයක්. එකිනෙකට ඒ ගීතවල අනන්‍යතාවයක් තියෙනවා. ඒ ඔක්කෝම අතරින් ‘‘පිරිනිවන් මංගල්‍යය’’ මට සුවිශේෂයි.

චෙක් ජනරජයේ ‘ප්‍රාග්’ නුවර ජනතාව අතර තාත්තාට හොඳ පිළිගැනීමක් එදා තිබුණා නේද? ඒකට හේතුව?

තාත්තා සංගීතයෙන් කළ පෙරළිය නිසා වෙන්න ඇති.

සඳුන් ගමගේ