කුස අතගගා එන්න අපි සෙල්ලම් කරමු කීවා - තීක්ෂණ අනුරාධ
තීක්ෂණ.. දැන් චූටි පුතාගේ වයස කීයද? එයාගේ නම මොකක්ද?
අපේ චූටි පුතාගේ නම ජේඩන් ජේක් අනුරාධ. දැන් චූටි පුතාට වයස අවුරුදු දෙකහමාරයි. ලොකු පුතාගේ නම ඒඩන් ලූක් අනුරාධ. එයාගේ වයස අවුරුදු පහහමාරයි. දැන් එයා පාසල් යනවා.
චූටි පුතා දැන් කොහොමද? දඟයිද?
අම්මෝ ඔව්.. ලොකු පුතා දඟ සියයට පහයි නම් පොඩි පුතා සියයට අනූ පහක් විතර දඟයි. අයියයි මල්ලියි හරි එකතුයි. දෙන්නා එකතුවෙලා සෙල්ලම් කරනවා. දෙන්නා එක තැනකට වෙලා කරන වැඩවලට අමතරව වැඩිපුරම කරන්නෙ දුවන එකයි. මල්ලි හැමවෙලේම එයාගේ අයියව අනුකරණය කරන්නයි හදන්නෙ. අයියා උඩ පැන පැන දිව්වොත් මල්ලිත් උඩ පැන පැන දුවනවා. අපි දෙන්නටම එකම ජාතියේ සෙල්ලම් බඩු අරගෙන දෙන්නෙ නැහැනෙ. ඉතින් සෙල්ලම් කරද්දි අයියා සෙල්ලම් ට්‍රක් එකක් ගත්තොත් මල්ලිටත් ඒකම වුවමනා වෙනවා. ඉතින් එතනින් අයියා මලෝ වලිය පටන් ගන්නවා. රණ්ඩුව පටන් ගත්තෙ මල්ලි වුණාට අපෙන් බැණුම් අහන්නෙ අයියයි.
ලොකු පුතා මල්ලියෙක් පවුලට එකතු වෙනවා කියලා දැනගනිද්දි එයාගේ ප්‍රතිචාර කොහොමද?
එයා මල්ලි බබෙක්ට ගොඩක් ආසාවෙන් හිටියෙ. මුල්ම බබාට පස්සෙ දෙවැනි බබෙක් පවුලට එකතු වුණාම එයාට තියෙන ආදරේ නැතිවේවි කියලා පොඩි ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවා කියලනෙ හැමෝම කියන්නෙ. ඒ නිසා ''පුතා තනියමනෙ ඉන්නෙ.. තාත්තිටයි අම්මිටයි ඔයා එක්ක හැමදාම සෙල්ලම් කරන්න බැහැනෙ.. ඒ නිසා ඔයාගේ පාළුවට අපි ඔයාට මල්ලි කෙනෙක් ගේනවා.'' කියලයි අපි හැමවෙලේම කිව්වෙ. ඒ නිසාම මල්ලි එනකම් ලොකු පුතා හරිම ආසාවෙන් හිටියෙ. එයා අනුරාධිකාගේ කුස අතගගා ''එන්න මල්ලි අපි සෙල්ලම් කරමු'' කිය කියා මල්ලි ඉපදෙන්නත් කලින් ඉඳන්ම එයා එක්ක කතා කළා. ඉපදුණාට පස්සෙ අපි හැමවෙලේම දෙන්නටම එක වගේම ආදරය කළා. ඒ නිසා ලොකු පුතා මල්ලිට හරි ආදරෙයි.
තීක්ෂණ රූපවාහිනියේ ගීත ගයද්දි, වැඩසටහන්වලට සහභාගි වෙද්දි චූටි පුතාගේ ප්‍රතිචාර කොහොමද?
අපේ ගෙදර රූපවාහිනිය බැලෙන්නෙ නැති තරම්. හැබැයි ඈත ගම්වල ප්‍රසංගවලට මම යද්දි අනුරාධිකාවයි පුතාලා දෙන්නවයි එක්කගෙන යනවා. ඉතින් වේදිකාවෙ මම ගී ගයද්දි ''ආ.. තාත්ති තාත්ති..'' කියලා කෑගහනවා. ඒක පුතාට අරුමයක්. දැන් එයා මගේ (සඳ පිනි දිය), (සායම් කිරිල්ලි) ගීත දෙක වාහනයේ යද්දි වැඩිපුරම අහනවා. දැන් එයාට සමහර වචනත් කියන්න පුළුවන්. හැබැයි රූපවාහිනියෙන් නම් පුතා මාව දැකලා නැති තරම්. ඒ තරමටම අපි රූපවාහිනිය බලන්නෙ නැහැ. අනුරාධිකායි මායි සහභාගි වුණු වැඩසටහන් පවා YouTube එකෙන් බලන්නෙ. අපි කාර්යබහුලයි. ගොඩක් වෙලාවට ශබ්දාගාරවල, ප්‍රසංගවල ඉඳලා ඇවිත් ගෙදර ඉන්න පොඩි වෙලාවෙදිත් රෑපවාහිනිය ඉස්සරහට වෙලා ඒක බල බලා හිටියොත් අපිට අපේ දරුවන්ව මඟහැරෙනවා. ඒක ඒ අයට කරන අසාධාරණයක්. ඒ නිසා ගෙදර ඉන්න හැම මොහොතකම ඒ දෙන්නා එක්කම කාලය ගත කරන්න මායි අනුරාධිකායි උත්සාහ ගන්නවා.
දැන් ලොකු පුතා පාසල් යනවනෙ. ඒ කාලෙදි චූටි පුතාගේ ප්‍රතිචාරය කොහොමද?
ලොකු පුතා දැන් රාජගිරියේ ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නවා. ලොකු පුතා ඉස්කෝලෙ ගියාට පස්සෙ පොඩි පුතාට හරි පාළුයි. අයියව එක්කගෙන එන්න අපිත් එක්ක පාසලට ගියාම එයා වාහනයට වෙලා අයියව දකිනකම් හරිම ආසාවෙන් ඉන්නෙ. පාසල ඇරිලා අයියා ඈතින් එද්දිම හඳුනාගෙන ''අන්න අයියා එනවා'' කියලා කෑගහනවා. අයියව දකිද්දි එයාට මාර සතුටුයි.
චූටි පුතා නිසා හිත කලබල වුණු සිදුවීමක් මතක් කළොත් එකපාරටම මතක් වෙන්නෙ මොකක්ද?
පුතාලා දෙන්නටම හරි දාංගලේ. අපේ කාමරේ ලොකු ඇඳ උඩ නැගගෙන ඉස්සර මේ දෙන්නා ඇඳ වටේ දිව්වා. එහෙම දුවද්දි දවසක් පොඩි පුතාව ඇඳෙන් වැටුණා. එතකොට එයාට අවුරුදු එකහමාරක් විතර ඇති. එදා මායි අනුරාධිකායි හොඳටම බය වුණා. වාසනාවට එදා පුතාට කිසිම කරදරයක් වුණේ නැහැ. හැබැයි අපි පුදුම විදිහට බය වුණා. ඒ බය වුණු තරම නිසාම එදා රූම අපි දෙන්නා ඇඳ ගලවලා ඇඳේ මෙට්ටය බිමින් දාගෙන තමයි නිදාගත්තෙ. අදටත් අපි ඇඳේ මෙට්ටය බිම දාලයි නිදාගන්නෙ. කොහොමටත් පොඩි පුතාට අවුරුදු පහක් විතර වෙනකම් අපි එහෙම මෙට්ටෙ බිම දාගෙන නිදාගන්න හිතාගෙන ඉන්නෙ. දැන් හිතට බයක් නැතිව රූට නිදාගන්න පුළුවන්.
අද රටේ තියෙන ප්‍රශ්නත් එක්ක දරු දෙන්නාගේ අනාගතය ගැන මොකද හිතෙන්නෙ?
රටේ තත්ත්වය හැමෝම දන්නවා. දැන් හැමදෙයක්ම අවිනිශ්චිතයි. වෙනදා වගේ දරුවන්ට හැමදේම දෙන්න බැරිවෙලා තියෙනවා. ඉස්සර එයාලව ඉඩ ලැබෙන හැම මොහොතකම ආච්චිලා බලන්න එක්කගෙන යනවා. ඉන්ධන ප්‍රශ්න නිසා ඒ දේවල් කර ගන්න බැරිවෙලා තියෙනවා. කොහොම හරි මේ අමාරු කාලෙත් එක්ක ඒ දෙන්නව සරල, සාමාන්‍ය දරුවන් දෙන්නෙක් විදිහට සමාජයට එකතු කරන්න තමයි අපි උත්සාහ කරන්නෙ. මේ අමාරු කාලෙදි සරල ක්‍රමවේදයකට දරුවන්ව හැඩගස්වන්න අපි උත්සාහ කරනවා.
දිශානි