කවදාවත් මං වෙච්ච දේවල් ගැන පසු තැවෙන්නේ නැහැ. ඒවා ජිවිතේ වෙන්න තිබුණ දේවල් වෙන්න ඇති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔහු තවමත් තරුණ තරුණියන්ගේ ඉහළ ආකර්ෂණයක් නොඅඩුවම ලබන ආදරණිය ජනප්‍රිය චරිතයක්. චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වගේම  ජනප්‍රිය නළුවෙකු වන හැමෝම ආදරය කරන  චන්න පෙරේරා සමගිනුයි මේ කතාබහ.

මේ  දවස්වල මොනවද අලුත් තොරතුරු? 

මම ප්‍රධාන චරිතයෙන් දායක වෙන මොහාන් නියාස් මහත්මා අධ්‍යක්ෂණය කරන "බඹර වසන්තය" පසුගිය 21  වෙනිදා ඉඳලා තිරගත වෙනවා. එහි ප්‍රචාරන කටයුතුවලට මේ දිනවල දායක වෙනවා.

ඒ එක්කම මම මගේ නවතම චිත්‍රපටය "චමත්කා " අධ්‍යක්ෂණය කරන්න සූදානම් වෙනවා. එහි මූලික කටයුතු දැනට කරගෙන යනවා. එහි තිර පිටපත අධ්‍යක්ෂණය කළේ මහේෂ් රත්සර මද්දුමආරච්චි. මහේෂ්  සහ මම ආයේ මේ විදිහට එකතු වෙන්නේ අංජලිකා  චිත්‍රපටයෙන් පස්සේ .මේකත් අංජලිකා වගේම ලස්සන කතාවක් . මේක සංගීතමය ආදර කතාවක් කිව්වොත් හරි. මෙහි මම රංගනයෙන් දායක වෙන්නේ නැහැ. 

අංජලිකා චිත්‍රපටයට වගේ මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතය ඉන්දියානු නිළියකටද?

අංජලිකා චිත්‍රපටය ගත්තාම ඇත්තටම ඒක මිනිස්සු අතරට ගියේ ගීතවල ආකර්ෂණිය බව නිසා, පූජාගේ රංගනයත් ඒකට දායක වුණා. ඒත් ඒක පූජා නිසා ජනප්‍රිය වුණා කියන දේ මම විශ්වාස කරන්නේ නැහැ. ඒ කාලේ පූජා කියන්නේ අලුත් නිළියක්. පූජාව ප්‍රේක්ෂකයෝ දැනගෙන හිටියෙත් නැහැ. ඇත්තම කියනවනම් ඇය ඉන්දියාවේ පවා කතා බහට ලක්වුණේ සහ ජනප්‍රිය වුණේ අංජලිකා චිත්‍රපටය හරහා මගේ අලුත් චිත්‍රපටයට ඉන්දියානු නිළියක් සොයා යන්න වෙයි කියලා මම හිතන්නේ නැහැ. මෙහි ප්‍රධාන නළුවා සහ නිළිය ලෙස ලංකාවෙන් නවකයන් දෙදෙනෙක්  සිනමාවට හඳුන්වා දෙන්න තමයි දැනට බලාපොරොත්තුව. 

අවසාන වරට චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට දායක වුණේ කොයි කාලෙ ද?

ටෙලිනාට්‍යවලට නම් මම දායක වුණේම නැහැ පහුගිය කාල සීමාවේ. මම දායක වුණු චිත්‍රපටයක් එන්නේ මාස 10කින් විතර .මේ චිත්‍රපටය ගත්තාම සරල ආදර කතාවක්. බඹර වසන්තය කියන්නේ 70 දශකයේ මතකයට ළංවෙන චිත්‍රපටියක් . මිනිස්සු හරි කැමතියි සැහැල්ලු රස වින්දනයට. බඹර වසන්තයත් ඒ වගේ සැහැල්ලු රසවින්දනයක් ලබන්න පුළුවන් චිත්‍රපටයක්. 70 දශකයේ විනෝදාත්මක සිනමාවේ ආවර්ජනයක් වගේ තමයි ඹබර වසන්තය මට දැනුනේ. මෙහි මම සහ ටනාශා සතරසිංහ තමයි ප්‍රධාන චරිතයන් නිරූපණය කරන්නේ. මගේ දෛවයේ සහ මම පෙර කරපු වාසනාවකටද මන්දා  පරම්පරා ගණනාවක් එක්ක ප්‍රේමණිය චරිත කරන්න ලැබිලා තියෙනවා. ඒක මට ලොකු සතුටක්.  

හැමෝම හැමදාම අහන ප්‍රශ්නේ  මටත් අහන්න හිතෙනවා... ඇත්තටම ඔය ලස්සන, කඩවසම් බව ඒ විදිහටම රඳාපවත්වාගන්නේ කොහොමද?

සරලව කිව්වොත් මම ජීවිතේට හරිම ආදරෙයි. මම ජිවිතේ විඳිනවා. කොයිතරම් ප්‍රශ්න ආවාත් ජීවිතේ විඳවන්නේ නැහැ. මම හරිම සතුටින් උදාවෙන හැම දවසක්ම පිළිගන්නවා. මිනිස්සුන්ට හදවතින්ම ආදරය කරනවා. මම ජීවිතේ දිහා සුබවාදීව බලන කෙනෙක්. තරැණ කාලේ මම මෙහෙම දැක්කෙ නැහැ .ඒත් අද ජිවිතේ  සිදුවන සියල්ල දිහා සුබවාදිව හිතනවා. තරුණකම රැකගන්න කියලා විශේෂ දේවල් කරන්නේ නැහැ. රූපය රැකගන්න කියලා මගේ කාලසටහනේ වෙලාවක් නෑ. 

ටෙලිනාට්‍ය වලට ආරාධනා ලැබෙනවා අඩු ද නැත්නම් මේ යන රැල්ලට කැමති නැද්ද?

2016 ඉඳලා මම ටෙලි නාට්‍යයක රඟපාලා නැහැ. ඒ අතර කාලේ මම චිත්‍රපට කිහිපයකට වගේම චිත්‍රපට අධ්‍යක්ෂණයටත් දායක වුණා. ඒවත් එක්ක ටෙලි නාට්‍යවලට දායක වෙන්න අවස්ථාවක් ලැබුණෙත් නැහැ. කොහොම වුණත් මම මේ යන මෙගා නාට්‍ය රැල්ලට අකමැති කෙනෙක්. ටෙලි නාට්‍යවලට ආරාධනා නම් ලැබෙනවා. ඒත් මෙගා රැල්ලට කැමැත්තක් නැති නිසා ගොඩක් ඒවා මම භාරගත්තේ නැහැ. හැබැයි මෑතකදී තීරණයක් ගත්තා මෙගා නාට්‍ය නැතුව කොටස් සීයක වගේ කෙටි නාට්‍ය වලට සම්බන්ධ වෙනවා කියලා. දැනට කොටස් සියයයේ නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. 

ඒවායේ මම ආස කරන වෙනස් විදිහේ කතා තේමාවන් සහිත නිසා මම භාරගත්තා. අප්‍රේල් මාසේ වෙනවිට එ් නිර්මාණවල වැඩ පටන් ගනීවි කියලා හිතනවා.  

තාමත් වැඩි ඉල්ලුම ප්‍රේමණිය චරිතවලට ද?  

තාම ප්‍රේක්ෂකයා නම් කැමති මාව ප්‍රේමවන්තයා විදිහට දකින්න කියලා ලැබෙන ප්‍රේක්ෂක ආදරයෙන් ප්‍රතිචාරවලින් හිතනවා. මම දකින විදිහට වයස කියන දේ හිතේ තියෙන දෙයක්. ප්‍රේමය එක වයසකට සීමා වෙන දෙයක් නෙමෙයි. ඕනම වයසකදී ප්‍රේම කරන්න ප්‍රේමය විඳින්න ප්‍රේමයට පණ පොවන්න පුළුවන්. මගේ වයසට ගැළපෙන ආකාරයට ප්‍රේමණීය චරිත ලැබුනොත් ඉදිරියටත් කරනවා. නමුත් මම ඊට වැඩිය එහා ගැඹුරු චරිතයක් රඟපාන්න ආසයි. මාව මෙච්චර ගමනක් ගෙනාවේ ප්‍රේක්ෂක ආදරය.  

තාත්තා කෙනෙක් විදිහට ඔබ ජීවිතේ  තෘප්තිමත් ද ?

තාත්තා කෙනෙක් විදිහට මගේ ජීවිතේ සම්පූර්ණයි කියලා මට දැනෙනවා. දුවලා දෙන්නාට තාත්තෙක් විදිහට කල යුතු සියලු දේ නොපිරිහෙළා මම ඉටු කරනවා. ඒ වගේම මගේ දුවලා දෙන්නා පුළුවන් උපරිම  ශක්ති ප්‍රමාණයෙන් මං බලාගන්නවා. දුවලා දෙන්නා තමයි මගේ ජීවිතේ පළමු තැන ඉන්නේ. ඒ දෙන්නා ඉන්න තැන ගැන තාත්තෙක් විදිහට සතුටු වෙනවා. ලොකු දුව මාස්ටර් උපාධිය කරන්න සූදානම් වෙනවා. පොඩි දුව තොරතුරු තාක්ෂණය පැත්තෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරනවා.

දුවලා දෙන්න කලාවට ආසාවක් නැද්ද?

ඒ දෙන්නාම කලාවට ආසයි.  චූටි දුව මගේ චිත්‍රපටයක රඟපෑවා .ඇයට ඊට අමතරව ගීත ගායනා කරන්න පුළුවන්. ලොකු දුවත් මගේ නිර්මාණ කිහිපයකම පුංචි කාලේ රඟපෑවා. දෙන්නාම කලාවට දක්ෂ වුණත් ඒ දෙන්නා මේ පාර තෝරාගනිවි කියලා මම හිතන්නේ නැහැ.

නීතියෙන් වෙන් වුනත් දියණියන්ගේ අම්මා හැටියට ගයාත්‍රිට තිබෙන බැඳීම තාම වෙනස් වෙලා නැද්ද?

ඇය මගේ දරුවන්ගේ අම්මා . ඇයට තියෙන ගෞරවය එදා වගේම අදටත් තියෙනවා. ඒ හැර ඇයගේ පෞද්ගලිකත්වයට මගේ බාධාවන් නැහැ. නිතියෙන් ඇත් වුණත් ම⁣⁣ගේ දියණියන් දෙපළගේ මව හැටියටත් ම⁣ගේ පළමු බිරිද හැටියත් ඇයට තියෙන බැඳීම අදටත් වෙනස් වෙලා නැහැ.

ජීවිතේ අත්විඳින්න සිදු වූ දේවල් ගැන පසුතැවිල්ලක් නැද්ද ?

කවදාවත් මං වෙච්ච දේවල් ගැන පසු තැවෙන්නේ නැහැ. ඒවා ජිවිතේ වෙන්න තිබුණ දේවල් වෙන්න ඇති. මම ලස්සන දුවලා දෙන්නෙක් ලැබුණා. මට දුවලාට හරිම ආදරෙයි. මං හැමදාම  ප්‍රාර්ථනා කරෙත් දුවෙක්ව. මට දුවලා දෙන්නෙක්ම ලැබුණා. ජීවිතේ ඒඑ් කාලවලදී මං කරන්න ඕන හැම දෙයක්ම කළා.  මගේ ජීවිතේ මං ආස කරපු දේවල්වලින් සියයට 99 මට ලැබිලා තියෙනවා. ඒ නිසා නොලැබුණ  සියයට එක ගැන මං හිතන්නේ නැහැ. ජීවිතේ මම සොයන සතුට තියෙන්නේ ධර්මය තුළ කියලා මම විශ්වාස කරනවා. අවුරුදු 10 ක පමණ කාලයක ඉඳලා බෞද්ධ දර්ශනය ගැන සහ හින්දු ආගම, කතෝලික ආගම සම්බන්ධ පොත්පත් පරිශීලනය කරනවා දේශන අහනවා. මේ සොබාදහමේ රිද්මය හරි තැනින් අල්ල ගත්තාම ලස්සනට ජිවත් වෙන්න පුළුවන් පරිසරයක් ඉබේටම හැදෙනවා.

නැවත ආදරයකට හෝ විවාහයකට යන්න හිතුණොත්? 

ආදරය අල්ලලා තද කරලා ගැටගහලා කොන්දේසි දාගෙන විවාහ කොළයට සිමා වෙන්න ඕන දෙයක් නෙමෙයි. ආදරය නිදහසේ ගලායන්න ඕන දෙයක්. විවාහයක් ගැන හිතයිද ඉදිරියට මොනවා වේවිද කියන්න මං දන්නේ නැහැ. හැබැයි මම ආදරය කරයි. ඒ කෙනා ආදරය කරන තාක් මරණය දක්වා ඒ ආදරය යාවි. 

නදීශා අතුකෝරළ