කලාවට කෙනෙක් ආවොත් ආවා ගියොත් ගියා - අනිල් භාරතී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසර පනහක් පුරා එකම ලෙස ජනප්‍රිය ගීතයක් හිමිවීම ගායන ශිල්පියකුට හෝ ශිල්පිනියකට කෙතරම් සතුටක්ද? එසේම එම ගීතය වැඩිහිටි, තරුණ, ළමා භේදයකින් තොරව රටක සෑම දෙනාම දන්නා ගීතයක් වීම කොතරම් අගයක්ද? එයද අද දවසට අදාළ වන සුවිශේෂත්වයද සමඟින් ගත් කල වඩාත් සිතට දැනේ... උඳුවප් සිතලට මුසුවන නත්තලේ අසිරියෙන් ශ්‍රී ලාංකික අපේ සිත් පිරී යන්නේ ඔහුගේ එම ගැඹුරු බාරසාර හඬින්.

බෙත් ලෙහෙම් පුරේ - දිළිඳු ගව ලෙනේ
ඔරුව තුළේ - සිසිලෙ නිඳයි
ජේසු බිළින්දා...

කරුණාරත්න අබේසේකරයන් ලියූ ක්ලැරන්ස් විජේවර්ධන සංගීතවත් කළ මේ සුන්දර ගීතය ඔස්සේ අප අමතන ඔහු අනිල් භාරති නම් වන්නේය. අද හදසර My Story සොඳුරු කතාබහ ඔහු සමඟින්ය. ''මගේ ආදරණීය රසික රසිකාවියන් ඇතුළු සියලුදෙනාටම සුබ අලුත් අවුරුද්දක් කියා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. නත්තලේ අසිරියත් තවම දැනෙනවා. වසරේ ගොඩාක්ම කාර්යබහුල හරිම සුන්දර කාලයක් තමයි නත්තල් කාලය. මා ගයා තිබෙන ගීත සංඛ්‍යාව 125ක් පමණ. ඉන් 40ක් පමණ නත්තල් ගීත. ඒ වගේම මේ ගීත අතරේ ගොඩක් දෙනා ආදරය කරන පල්ලියේ ගීතාවලි අතරට පවා ඇතුළත් වූ බෙත්ලෙහෙම් පුරේ ගීතයට මේ වසරේදී වසර 50ක් සම්පූර්ණ වෙනවා. ක්ලැරන්ස් තමයි ගීතය නිර්මාණය කළේ.

ඔහු තනුව හැදුවා. ඒ වගේම වෙනසකටත් එක්ක බෞද්ධ ගීත රචකයෙක් ලවා නත්තල් ගීතයක් ලියවා ගන්න ඔහුට අවශ්‍ය වූ නිසා තමයි තමන් නිර්මාණය කළ තනුවට වචන ලියන්න කරුණාරත්න අබේසේකරට දුන්නෙ. 1972 වසරේ කැලණිය, දළුගම සරසවි ස්ටූඩියෝවේදී පටිගත කළා. මර්වින් රොද්‍රිගෝ තමයි පටිගත කිරීම සිදුකළේ. මේ ගීතය ඉතාමත් ජනප්‍රිය වුණා. 

ඒ වගේම වසර 50ක් ගතවෙලා ගිහිල්ලත් ජනප්‍රියත්වයේ අඩුවක් නැහැ. මෙවර නත්තලටත් ප්‍රසංග ගණනාවකම බෙත්ලෙහෙම් පුරේ ගීතය මා ගයනවා.''

කුඩා කාලයේ සිටම ගීත ගායනය සිය විනෝදාංශය කරගත් ඔහු M.S. ප්‍රනාන්දු, C.T. ප්‍රනාන්දු ආදී ගායකයින්ගේ ගීත සහ බටහිර ගී ගායනයට හුරුව සිටියේය. ගී ගායනය නිසාම පාසලේදී ගුරුවර, ගුරුවරියන්ගේ දඬුවම් පවා විඳින්නට ලැබුණු බවයි අනිල් භාරතී අතීතය සිහිපත් කරමින් පවසන්නේ. ''මගේ ගම පානදුර. 

මම පාසල් කිහිපයකට ගියා. මූලිකවම මොරටුව වේල්ස් කුමර විදුහල ගැන සඳහන් කරන්න පුළුවන්. මගේ තාත්තා නීතිඥවරයෙක්. ඔහු ෆීලික්ස් භාරතී.  අම්මා නීටා භාරතී. මට අයියා කෙනෙක් සහ අක්කා කෙනෙක් පමණයි හිටියේ. අයියා නිහාල් භාරතී. වසර 50ක්ම ඔහු ගුවන් විදුලියේ සේවය කළා. ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස වගේම කලකදී ඔහු එහි අධ්‍යක්ෂ තනතුරකටත් පත්වුණා. 

අක්කා ශාමිනී තෙන්නකෝන්. ඇය වෘත්තියෙන් පුස්තකාලාධිපතිනියක් ලෙස කටයුතු කළා. නමුත් මේ වනවිට මගේ අයියත් අක්කාත් දෙදෙනාම ජීවතුන් අතර නැහැ. මම සංගීත ක්ෂේත්‍රයට ආවේ තරගයකට සහභාගි වෙලා, ඉන් ජය ලබලා. ඒ හැටේ දශකයේ අගභාගයේදී. ඒ කාලේ තිබුණා ඔබ්සර්වර් පත්තරේ ආධුනිකයන්ට කූපනයක්. එයින් අයදුම් කරලා තරගයට ඉදිරිපත් වන්නට පුළුවන්. ජෙට් ලයිනර්ස් කියලා කණ්ඩායමක් තිබුණා. අයදුම් කළ අයට හඬ පරීක්ෂණයකට සහභාගි වෙන්න ඉඩ ලැබෙනවා. මාත් එයට එක්වෙලා ඒ ''Observer Talent Search'' තරගයෙන් ප්‍රථම ස්ථානය ලබාගත්තා. පානදුරේ තමයි ප්‍රසංගය පැවැත්වුණේ.

''Observer Talent Search'' තරගය ජයග්‍රහණය කිරීමත් සමඟ ගායන ශිල්පියෙකු ලෙස ඔහු සතු වූ හඬ පෞරුෂය පිළිබඳ සියල්ලෝම ප්‍රශංසනාත්මකව අගයන්නට වූහ. ඉන්පසු ඔහු සිය මිතුරන් පිරිසක් සමඟ එක්ව ''රේන්ජර්ස්'' නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්තේය. 

එහි ඔහු ප්‍රධාන ගායන ශිල්පියාද විය. ''කාලය මෙහෙම ගතවෙලා යද්දී මට ඉඩක් ලැබුණා ගෝල්ඩන් චයිම්ස් සමඟ එක්වෙන්න. ක්ලැරන්ස් විජේවර්ධන මූන්ස්ටෝන් එකෙන් ඇවිත් ගෝල්ඩන් චයිම්ස් ආරම්භ කළේ. ඒ කණ්ඩායමට ඉංග්‍රීසි සින්දු කියන්න ගායකයෙක් අවශ්‍ය වෙලා තිබුණා. මගේ ඥාති සහෝදරයෙක් තමයි මට මේ පණිවුඩය අරන් ආවේ. ඔහු මාව ක්ලැරන්ස්ට හඳුන්වා දුන්නා. එතැනින් මගේ සංගීත ජීවිතය ස්ථාවරත්වයෙන් ඇරඹුණා. මට මතක අයුරින් ඒ 70 දශකයේ ආරම්භය. ඒ කණ්ඩායමේ මම නිත්‍ය ගායන ශිල්පියා බවට පත්වුණා. එවිට ක්ලැරන්ස් මට ගීතයක් නිර්මාණය කළා. ඒ කාලේ කණ්ඩායම් ගීත තමයි ඉතාම ජනප්‍රිය. මා ගැයූ එම ගීතය එක රුයින් ජනප්‍රිය වුණා. ඒ ගීතය තමයි,

අද වෙයි ඉරු දින - ඇය හමුවේවිද?

වසර 04ක් පමණ මා එහි සිටියා. පසුව මේ කණ්ඩායම විසිර යාමත් එක්ක මා තීරණය කළා ස්වාධීන ගමනක් යන්න. ඒ අනුව මා ප්‍රසංග සඳහා අනිල් භාරතී නමින් තනිව ගීත ගයන්නට ගායන ශිල්පියෙකු ලෙස එක්වුණා. මා ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායමේ ඉන්න කාලේදී ගීත 6ක් පමණ ගායනා කළා. ඒ ගීත සියල්ල රසිකයින් ඉතා ආදරයෙන් වැළඳ ගත්තා. අද වෙයි ඉරු දින, බෙත්ලෙහෙම් පුරේ, සඳයි තරුයි, මා ආදරෙයි නංගියෙ මා ආදරෙයි, මා මුලින් ලියූ පෙම්පත වගේ ගීත මා ගැයුවේ ගෝල්ඩන් චයිම්ස් ඉන්න කාලයේදීමයි.'' 

චිත්‍රපට පසුබිම් ගී ගායන ශිල්පියකු ලෙසද ඔහු අවස්ථාවන් දෙකකදී එක්ව ඇත. ''දමයන්ති'' චිත්‍රපටය වෙනුවෙන් ඉන්ද්‍රානි පෙරේරා සමඟ ඔහු ගැයූ ''මල් මල් හැඟුමින් පැතුම් පිරී'' ගීතය අතිශයින් ජනප්‍රිය විය. එමෙන්ම ''සිහසුන'' චිත්‍රපටය වෙනුවෙන්ද ඔහු පසුබිම් ගී ගයන්නට එක්විය.

''මම සංගීත කණ්ඩායම්වල සිටියාට කළේ ගායනය පමණයි. වාදනය කිරීමට එක්වුණේම නැහැ. මෙහෙම කිව්වොත් හරි. ගායන ක්ෂේත්‍රයට එන්නත්, වෘත්තියෙන් එහි රුඳී ඉන්නත් මම හිතලා තිබුණේ නැහැ. ආසාවට ගීත ගායනයට එක්වුණේ. මෙතරම් දුර ගමනක් එන්න හිතුවෙත් නැහැ. ඇත්තටම සංගීතය හැදෑරීමක් කරලා, සංගීත දැනුමත් එක්ක ආවා නම් මීට වැඩි දුරක් මේ ක්ෂේත්‍රයේ යන්න තිබුණා. රෑකාන්ත, ග්‍රේෂන් ආනන්ද වගේ අයව ගන්නකෝ උදාහරණයකට. එයාලම එයාලගේම ගීත හදාගන්න පුළුවන්. නමුත් මට කව්රු හරි ගීතයක් හදලා දුන්නොත් පමණයි ගායනා කරන්න පුළුවන් වෙන්නේ. ඒ අඩුව මට හොඳින්ම දැනුණා. නමුත් මගේම ආරකට මා ගයන ගී රසිකයින් ඉතා ආදරයෙන් වැළඳ ගැනීම ගැන මට සතුටුයි. මා ගැයූ ගී අතර ගීත 40ක් පමණ නත්තල් ගී වීම නිසාම නත්තල් කාලයට අනිවාර්යයෙන් මගේ හඬ ඇහෙනවා. නැත්නම් ගොඩාක් වෙලාවට ඇහෙන්නේ ජනප්‍රියම ගීත ටික විතරයි. ඒ වගේම 60, 70 දශකවලනේ මේ ගීත මා ගායනා කළේ. කැසට්වල තමයි බොහෝ ගීත තිබුණේ. නමුත් දැන් කැසට් යුගය ඉවරයිනේ. මගේ මිතුරන් බොහෝ දෙනෙක් මට කියුව දෙයක් තමයි මේ ගීත කොහොමද නැවත මිනිස්සු අහන්නේ කියලා. ඇත්තටම කිව්වොත් දැන් කැසට් නැහැනේ. මගේ මිතුරන් මට අදහසක් දුන්නා නත්තල් ගීත කිහිපයක් අරන් සී.ඩී. එකක් කරන්න කියලා. ඒ අනුව මම සංයුක්ත තැටියක් කළා. ''Best of අනිල් භාරතී Christmas Song'' කියලා. ගීත 12ක් තියෙනවා එහි. මීට වසර හයකට පෙර මා එය කළේ. මේ දිනවල ඒ සීඩී එක සීඝ්‍රයෙන් අලෙවි වෙනවා. දැන් මේ වනවිට මා ක්ෂේත්‍රයට ඇවිත් වසර 53ක් වෙනවා. ජනප්‍රියත්වයට පත්වෙලා නම් වසර 52ක් පමණ වෙන්නේ.''

අනිල් භාරතී යනු ඔහුටම අනන්‍ය වූ ගැඹුරු හඬ පෞරුෂයකින් ගී ගයන ශිල්පියෙකි. අදටද ප්‍රසංගවලට එක්ව ගී ගයන ඔහු අමතන්නට ඔබටද හැකිය. 077 7748503 දුරකථනය ඕනෑම මොහොතක සිය රසිකයින් වෙත විවෘත බවයි ඔහු පවසන්නේ.
''මම දැන් දරු මුණුබුරන් සමඟ සතුටින් කාලය ගත කරනවා. මගේ ආදරණීය බිරිඳ රෑපා භාරතී. අපිට ඉන්නේ පුතාලම දෙන්නෙක්. ලොකු පුතා රුචින්ද්‍ර, දෙවෙනියා ලක්ෂාන්. දෙන්නාම විවාහකයි. විදේශ ගතවෙලා ඉන්නේ. දැන් මට මුණුබුරන් පස් දෙනෙක් ඉන්නවා.

පුතාලත් සංගීතයට කැමතියි. නමුත් මම එයාලට මගේ ගීත ගයන්න කියලා කිව්වේ නෑ. ඒ වගේම එයාලා වැඩිපුර නැඹුරු වුණෙත් බටහිර ගීත ගායනා කරන්න. එයාලා දෙන්නම ගියේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට. ඒ නිසාම එයාලා ගොඩක් බටහිර ගීතයට, ඉංග්‍රීසියට නැඹුරු වීම නිරායාසයෙන්ම සිදුවුණා. මමත් එයාලට මේ ක්ෂේත්‍රයට එන්න අනුබල දුන්නෙ නැහැ. කලාව ඉතා අවබෝධයෙන් රුඳිය යුතු ක්ෂේත්‍රයක්. ආවොත් ආවා, 

ගියොත් ගියා. නිසි අවබෝධයකින් කල්පනාවෙන් හිටියොත් තමයි මේ ක්ෂේත්‍රයේ හොඳින් ඉන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනයත් අංක එක. ඒක ක්‍රමානුකූලව ලබාගැනීම අවශ්‍යයි. නිසි අධ්‍යාපනයක් තියෙන කෙනෙකුව කවදාවත් වට්ටන්න බැහැ. එනිසාම දරුවන් අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යෑම ගැන මම සතුටු වුණා.''

රටවල් 26ක ප්‍රසංග සඳහා එක්ව ඇති ඔහු 2003 වසරේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේදී සිය අනිල් භාරතී Live in Concert ප්‍රසංගයද පැවැත්වීය. මෙරට ඉහළම වටිනාකමක් සහිත කලාභූෂණ සම්මානයද ඇතුව ඇගයීම් සම්මාන රුසකින්ද පිදුම් ලැබූ ඔහු ඉදිරියේදීත් තම ආදරණීය රසිකයින් ගීතයෙන් පිනවීමට පෙරමඟ බලා සිටී. හදසර අප ඔහුට නිදුක් නිරෝගී සුව සමඟ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

මොනිකා සේරසිංහ