කලාව කියන්නෙ විනෝදයට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තිර පිටපත් රචිකාවියක් මෙන්ම අධ්‍යක්ෂකවරියක් ලෙස වර්තමානයේ කටයුතු කරන ගිත්මා අතාවුද මේ වනවිට නාට්‍යය හා රංගන කලාව පිළිබඳව සිසුදරුවන්ට උගන්වන ගුරුවරියක් වෙයි. වර්තමානයේ අධ්‍යක්ෂවරියක් ලෙස කලා කටයුතු කිහිපයකටම දායක වී ඇති ගිත්මා වෙනුවෙන් මෙවර අපි සාරවිට තුළින් මෙසේ ඉඩක් වෙන් කළා. මේ ඇයගේ කතාවයි.

ඔබ ගැන හැඳින්වීමක් මුලින්ම කරමු?

මම උසස් පෙළ දක්වාම ඉගෙන ගන්නේ මිලාගිරි ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයෙන්. පස්සේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා නාට්‍ය හා රංග කලාව විෂයෙන් ප්‍රාසංගික කලා විශේෂවේදී උපාධිය ලබා ගන්නවා. වර්තමානයේ නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ සිසුදරුවන්ට නාට්‍ය හා රංග කලාව උගන්වමින් තිර පිටපත් රචිකාවියක් සහ අධ්‍යක්ෂකවරියක් ලෙස නිර්මාණ කටයුතු වල නිරත වෙමින් සිටිනවා. ඒ අතරම මගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහාත් සුදානම් වෙමින් ඉන්නවා.

ඔබ කලා ක්ෂේත්‍රයට නැඹුරු  වුණේ කොහොමද?

මට මතක ඇති කාලේ ඉඳලා මගේ දක්ෂතා වල වැඩි නැඹුරුවක් තිබුණේ කලාව පැත්තට. මගේ තිඹිරිගෙය විදිහට මම සලකන්නේ මගේ පාසල් වේදිකාව. අපේ පාසලේ විෂය නිර්දේශයට තරම්ම කලාව, ක්‍රීඩාව ආදිය පැත්තට වැඩි ඉඩකඩක් හැමදාම තිබුණා. ඒ වගේම මගේ ජීවිතේ විශාල හැරවුම් ලක්ෂයක් ලෙස සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය  හඳුන්වන්න පුළුවන්. එහිදී විහේෂයෙන්ම ප්‍රසන්නජිත් අබේසූරිය සර්, KB හේරත් සර්, සුදත් මහදිවුල්වැව සර් වැනි විශිෂ්ට ගුරුවරුන්ගෙන් රංගනය, අධ්‍යක්ෂණය, පිටපත් රචනය, චිත්‍රපටකරණය ආදී විෂයන් හදාරන්නට අවස්ථාව ලැබුණා.

ඔබ අධ්‍යක්ෂණය කළ "හිමි අහිමි" ගීත⁣ය සුවිශේෂී ගීතයක්?

මම හිතන්නෙ "හිමි අහිමි" ගීතය බොහෝමයක් දෙනා ආදරයෙන් වැළඳගත් ගීතයක්. මෙම ගීතය ගායනා කරන්නෙ ගායන ශිල්පී සුනීර සුමංග. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ අතිදක්ෂ රංගන ශිල්පියෙක් වන මහේන්ද්‍ර පෙරේරා මහත්මයා. අපි හැමෝම  හොයන්නෙ ප්‍රේමය.. ජීවිතේ.. මොන යුගයක හිටියත් අපි හොයන්නෙ ප්‍රේමය. දෙදෙනෙක් පෙම්වතුන් වෙලා ඉද්දි ඔවුන් අතර තිබෙන රැකවරණය, අවධානය, ඇහුම්කන්දීම, ගෞරවය, ආදරය  විවාහවුවත්.. අවිවාහක වුවත්.. මිනිස්සුන්ට අත්‍යාවශ්‍යයි. මිලමුදල් සැපසම්පත් කොච්චර තිබුණත් ප්‍රේමය අතුරුදහන් වූ තැන බැදීම් පුපුරා යන බව තමයි මේ නිර්මාණය හරහා සියුම්ව සාකච්ඡා කරන්නෙ.

ඔබගේ නවතම අධ්‍යක්ෂණය "බිම්බා පරපුර" ගැන කතා කරොත්?

"බිම්බා පරපුර" මම බොහෝ සෙයින්ම ප්‍රේමකරන නිර්මාණයක්. පිටපත් රචනයේ ඉඳලාම ⁣බොහෝම වෙහෙසුණු නිර්මාණයක්. ඵෙතිහාසික කතා පුවතක් ප්‍රස්තූතය කරගන්න නිසා රීසර්ච් කරමින් ලියූ පිටපතක් "බිම්බා පරපුර". මෙම ගීතය රචනා කළේ ජයවර්ධනපුර කලාපයේ අතිරේක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකධූරයේ සේවය කරන මෙත්සිලා අනුරාධිනි රත්නායක මැතිණිය. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ විශිෂ්ට රංගධරයකු වන කමල් අද්දරආරච්චි මහත්මයා. කැමරාකරණයෙන් සහය වෙන්නේ සිසිකිරණ පරණවිතාන මහත්මයා. මේ නිර්මාණය පිළිබඳව කතාකරද්දි. ෆැන්ටසියත් යථාර්ථයත් එකම රාමුවකට ගෙනල්ලා කරපු එක්ස්පෙරිමන්ට් වැඩක්. මම හිතනවා අපේ මහන්සිය බොහෝදුරට සාර්ථකයි කියලා. ගීතය පිළිබඳ ඉතාම ධනාත්මක ප්‍රතිචාර මැද ගෙවෙන ඉතාමත් තෘප්තිමත්  දින කිහිපයක් තමයි අපි දැන් ගෙවමින් ඉන්නේ.

අලුත් වැඩක් කරනවා නේද දැන්?

මේ දිනවල කාලතරණය ප්‍රස්තූත වුණ ටෙලිනාට්‍යය පිටපතක් සහ කෙටි චිත්‍රපටයක් රචනා කරමින් ඉන්නවා. ඒ නිර්මාණ දෙකේම රූගත කිරීම්  ඉතාම ඉක්මණින් ආරම්භ කරන්නට සැළසුම් කරමින් ඉන්නවා.

ඔබ තවමත් මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්?

ඇත්තටම මම තවමත් ක්ෂේත්‍රයට ආධුනිකයෙක්. ඒ නිසා මට මේ සම්බන්ධව අදහසක් තියෙනවා. වර්තමානයේ ගොඩක් වෙලාවට රංගන ක්ෂේත්‍රයෙන්ට පහසුවෙන් අවතීර්ණ වෙන්නේ ⁣කලා පවුලකට සම්බන්ධ පුද්ගලයෙක් හෝ රියලිටි තරඟ වලින් ආපු ගායක ගායිකාවන්, බක්මහ අවුරුදු කුමාර කුමාරියන්. නමුත්, විශ්ව විද්‍යාල ඇතුළේ  කට්ටකාගෙන විෂය ඉගෙනගන්න ,ප්‍රැක්ටිස්  කරන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂ රංගන ශිල්පීන්, රචකයන් ඉන්නවා. වේදිකාව පැත්තට ගියොත් දෙවනත් වෙන්න රඟපාන නළුනිළියො ඉන්නවා. ඇත්තටම හැමතැනකම වගේම ක්ෂේත්‍රය තුළත් දක්ෂයෙකුට තව කෙනෙක් අතදෙන්නෙ බොහොම කලාතුරකින්. මම තිරපිටපත් රචනය සහ අධ්‍යක්ෂණය තෝරාගැනීමත් එක්ක හීනයක් තියෙන මිනිස්සුන්ට තරමක් හෝ උදව් කරන්න හැකියාවක් මට ලැබුණා. ඒක ආශිර්වාදයක් විදිහට මම දකිනවා.

නවකයින් වෙනුවෙන් වචනයක් කියනවා නම්?

ඇත්තටම කලාව කියන්නෙ විනෝදයට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. වේදිකා නාට්‍යයක් වුණත්, සිනමාව වුණත් ඒක එහෙමයි. ඒක වෘත්තියක්. ඒ නිසා අනිවාර්යයෙන්ම හැදෑරීය යුතු විෂයක්. මම හිතන්නේ  ක්ෂේත්‍රයට අඩිය තියන්න ලේසිම ක්‍රමය නෙවෙයි නිවැරදිම ක්‍රමය තමයි වැදගත්. එතකොට තමයි පැවැත්මක් තියෙන්නේ. විෂය අධ්‍යයනය කරන්න. විෂය සොයා යන්න. විෂයට ගරු කරන්න. විෂයට අවංක වෙන්න. රංග කලාව කියලා කියන විෂය කවදාවත් ඉගෙ/න ගෙන අවසන් කරන්න බැරි විෂයක්. හැමදාම මේක අලුත් වෙනවා. ඒ නිසා අපි හැමදාම විෂය ගවේෂණයක ඉන්න ඕන.

බුද්ධික සේනාධීර