කලාව කියන්නේ මට පවුලෙන්ම උරුම වුණ දෙයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා ඉසව් කිහිපයකටම දක්ෂ පවිත්‍රි විජේකෝන් මෙවර සාරවිට තරු කතාබහට අප සමග මෙසේ එක් විය. සිරස රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ ද වොයිස් ශ්‍රී ලංකා රියලටි වේදිකාව තුළින් රටක් හඳුනාගත් පවිත්‍රි රංගනයටද අති දක්ෂයෙක් වෙයි. මේ දිග හැරෙන්නේ ඇය සමග කළ කතා බහයි.

පවිත්‍රිව අපට අඳුන්වලා දෙන්න

පවිත්‍රි  කියන්නේ කලාවට ගොඩක් ආදරේ කරන කලාවත් එක්කම ජීවත් වෙන කෙනෙක්.  රංගනය ගායනය වාදනය නර්තනය කියලා කියන්නේ මගේ ජිවිතේ. මේ දිනවල මම වැඩියෙන්ම කාලය ගත කරන්නේ රංගන කටයුතුත් සමග. නමුත් සංගීත කටයුතු තවදුරටත් ඉගෙන ගනිමින් තමයි ඉන්නේ. ඒ අතරේ නර්තනය විනෝදාංශයක් විදිහට කරගෙන යනවා.

ඔබත් ද වොයිස් ශ්‍රී ලංකා වේදිකාවෙන් අඳුනගත්තු කෙනෙක්

සිරසින් ඉදිරිපත් කරපු ද වොයිස් ශ්‍රී ලංකා වේදිකාව හරහා  මට ආදරය කරන රසිකයින් පිරිසක් මුණ ගැහුණා. ඒක මගේ ජිවිතේ මට ලැබුණ භාග්‍යයක් විදිහට තමයි මම දකින්නේ. නමුත් එම තරගයට මම සහභාගී වීම හරිම අහම්බයකින් සිදුවුණ දෙයක්. නමුත් එහිදී ප්‍රවීණ සංගීතවේදීන් පස් දෙනෙකුගෙන් මට ලැබුණ ගුරුහරුකම් මගේ ගමන තවත් ශක්තිමත් කළා. මම හිටියේ උමාරියා මිස්ගේ කණ්ඩායමේ. ඇයගේ සහයෝගය මගේ ඉදිරි ගමනට මූලාරම්භයක් වුණා. විවිධ දක්ෂතාවන් පිරුණ ගායක ගායිකාවන් සමග තරග කරන්න ලැබීම මට ලොකු අත්දැකීමක් . ඒ ලබපු පන්නරය සමග තරගයෙන් ඉවත්වීමත් සමගම මන් මගේ ගුරුවරයා වුණ සුරේන් දිසානායක සර්ගෙ මගපෙන්වීම යටතේ මගේ පළමු ගීතය දිසිහීන.. නිර්මාණය වුණා.

ඔබ කලා ඉසව් කිහිපයකටම දක්ෂ කෙනෙක්. වැඩිපුරම ඔබ දක්ෂ මොකටද

එහෙම වැඩිපුරම කැමති කියලා එකක් තෝරගන්න බෑ. පවිත්‍රි කියන භූමිකාව ඇතුලේ ඒ ඒ කාලේට මට ලැබෙන වැඩත් එක්ක සතුටින් කලා කටයුතු කරගෙන යනවා. නමුත්  මේ කාලේදි නම් වැඩියෙන්ම කාලය ගත වෙන්නේ රංගන කටයුතුත් සමග. ඊට අමතරව ගුවන්විදුලි ගායිකාවක් විදිහටත් නාට්‍ය කණ්ඩායම් සමාජිකාවක් විදිහටත් රන්වල බලකායේ සාමාජිකාවත් විදිහටත් වැඩ කරගෙන යනවා.

ඔබ කලාවට සම්බන්ධ වුණාට පවුලේ අය කැමතිද

කලාව කියන්නේ මට පවුලෙන්ම උරුම වෙන දෙයක්. අම්මා වගේම තාත්තත් කලාවට ගොඩක් ලැදියි. ඒ නිසාම මම කුඩා කාලේ ඉදලම කලාවට නැඹුරුයි. පාසල් කාලේදිත් නර්තනය ගායනය රංගනය තුළින්  සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඒ වගේම හාතලව ක.වි, කුලියපිටිය මධ්‍ය විද්‍යාලය සහ මහනුවර මහාමායා බාලිකාව යන මම අධ්‍යාපනය ලැබූ පාසල් වල වේදිකාවෙන් ගත් අත්දැකීමුත් මගේ කලා ගමන පෝෂණය කළා. අනික මන් දකින විදිහට කලාව නිසා අලුත් විදිහට දකින්න පුළුවන්. ඒ වගේම නිදහස්ව සතුටින් කාලය ගත කරන්නත් කලාව හේතු වෙන්වා.

ඉදිරි ඉලක්ක මොනවද ඔබගේ

ඉලක්ක විදිහට මට තියෙන එකම අරමුණු තමයි තව තවත් දැනුම එකතු කර ගන්න එක.. මම අධ්‍යාපනය අතින් ඉහළට ‍යන්න කැමතියි. ඒ නිසා කලා කටයුතු කරන ගමන් උසස් අධ්‍යාපනය හදාරන්න  තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.

කලා ක්ෂේත්‍රය තුළ විවිධ කතා තියෙනවා දැන්

ඔව් මේ ක්ෂේත්‍රය පිළිබඳව විවිධ කතා තියනවා. නමුත් ඒවට අපි ප්‍රතිචාර දක්වන විදිහ  අනුව අපිට අපේ ගමන හොද විදිහට හදා ගන්න පුළුවන් කියලා තමයි මම නම් දකින්නේ.

පවුලේ අයගෙන් ලැබෙන සහය අමතක කරන්නම බැහැ ඔබට

මගේ අම්මයි තාත්තායි දෙන්නම විදුහල්පතිවරු. මගේ අයියා ඉංජිනේරු කෙනෙක්.  කලාවට මම ආස කරපු නිසා මාව ඒ පැත්තට යොමු කළා. මට මගේ එක උපන් දිනේකදි අම්මගෙන් ලැබුන වටිනම තෑග්ග තමයි මගෙ වයලීනය. ඒ හරහා අද වෙද්දි මම විශාරද දක්වා සංගීතය හදාරලා තියෙනවා. ඒ හැමදේම පිටුපස්සෙ මට ලොකු ශක්තියක් වෙන්නෙ වගේම කලා කටයුතු සදහා ලොකුම සහයෝගය දක්වන්නේ  මගේ පවුලේ අය.

පවිත්‍රිගේ අනාගතය කොහොම වෙයිද

අනාගතය ගැන නම් හරියටම කියන්න දන්නේ නෑ. නමුත් හොද විදිහට හැම දෙයක්ම සිදු වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා කලා කටයුතුත් ඉදිරියටම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම  දිසිහීන මගේ ගීතයට අමතරව තව ගීත කිහිපයක් නිර්මාණයෙන් දායක වෙලා තියෙනවා.  අලුත් නිර්මාණ වලින් තව දුරටත් කලාව හා සම්බන්ධ වීම තමයි මගේ බලාපොරොත්තුව.

බුද්ධික සේනාධීර