Saaravita.lk|| කලාකරුවෙක් කියන්නෙ ඕනෑම කෙනෙකුගේ ඔළුව වෙනස් කරන්න පුළුවන් කෙනෙකුට

කලාකරුවෙක් කියන්නෙ ඕනෑම කෙනෙකුගේ ඔළුව වෙනස් කරන්න පුළුවන් කෙනෙකුට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලකට පෙර දිනෙක, ඡායාරූපශිල්පියෙකු මෙන්ම ගායකයෙකු ද වන දයාන් විතාරණ මහතාට දුරකථන ඇමතුමක් පැමිණියේ විවාහ උත්සවයක් ඡායාරූපගත කිරීමකට සූදානම් වෙමින් සිටින මොහොතකය.

“මම ලස්සන සිංදුවක් ලියලා තියෙනවා.. වෙඩින් එක දවසට කපල් එකට සර්ප්‍රයිස් එකක් දෙන්න සිංදුව කියන්න පුළුවන් ද..?” කතා කළ පුද්ගලයා විමසුවේය.

“හැමෝටම තමන් ලියන දේවල් ලස්සනයි තමයි.. එවන්නකෝ බලන්න...”
දයාන් විතාරණයන්, සිනාසෙමින් පිළිතුරු දුන්නේය.

“ඒ වචන ටික ඇහුණා විතරයි සිංදුවක් ලිව්වා කියලා පිම්බිලා හිටිය මගේ හුළං බැස්සා...”
එදින, දයාන්ට කතා කළ තැනැත්තා වන වර්තමානයේ ජනප්‍රිය ගී පද රචකයෙකු වන නාරද විජේසූරිය මහතාණන් අප හා පැවසුවේ සිනාසෙමිනි.

මා ගැනම සිතූ මගේ හිතම පැතූ
ඔය හිතට වඩා අගනා කිරුළක්
මේ මිහිපිට ඇතිදැයි මට කියාදෙන්න මගේ සොඳුරියේ..
දයාන් විතාරණයන් ගායනා කරන මේ ගීතය නාරද ලියූ පළමු ගීතයයි.

කවියෙකු ලෙසින් කවිපද කෙතරම් ලියා තිබුණත් ගීත ලිවීම ඊට වඩා බොහෝ වෙනස් කාර්යයක් බව ඔහු වටහාගෙන තිබුණේ මේ ගීතය ලිවීමෙන් පසුවය.

“ඇත්තටම මම ගීතයත් එක්ක සම්බන්ධ වුණේ මෑතකදී.. කවි ලියන්නේ පාසැල් කාලේ ඉඳලමයි. ඒ කාලේ මට යාලුවෙක් හිටියා ගම්පහ ඉඳලා, මාත් එක්ක ට්‍රේන් එකේ යන එන හීන්දෑරි කොල්ලෙක්.. එයයි මමයි කවි ලියලා පත්තරවලට පෝස්ට් කරනවා.. කවියක් පත්තරේක ගියාම අපිට හරි සතුටුයි.. එයා නම් දිගටම ජනමාධ්‍යයත් එක්ක ඉස්සරහට ගියා... මම ටියුෂන් කළා.. ඒ කාලේදී ළමයි දෙන ටියුට්වල හිස් පැත්තේ කවියක් ලියලා දෙන්න මම පුරුදු වෙලා හිටියා.. ඔන්න ඔය වගේ දේ හින්දා කවිකම මට මඟෑරුණේ නෑ.”
එහෙත් කලකට පසු, විදේශගත වන නාරද හට කවිය අමතකව යන්නේ එරට රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමෙන් පසුවය. එහි වැඩකටයුතු සමඟින් බොහෝ කාර්යබහුල වූ ඔහුට කවි වෙනුවෙන් කාලයක් නොමැති විය. පසුකාලීනව රූපවාහිනී නාලිකාව නවතා දැමූ පසු යලි කවි හිත අවදි කරවා ගනිමින්, කවි සේම ගීත ද ලිවීම ඇරඹීය.
“හැම ගීතයක්ම කවියක් වුණාට, හැම කවියක්ම ගීතයක් නෙමෙයි...”

ඔහු පවසන්නේ අවධාරණාත්මකවය.

“මම මුලින්ම ලිව්ව, ගීතයක් කියලා හිතාගෙන හිටපු පද පේළිය දයාන් ලස්සනයි කියලා පිළිගත්තා.. ඊට පස්සේ මම ගීත ගැන හෙව්වා.. රිසර්ච් සෑහෙන්න කළා.... ඒ විදියට මම ගීත ලිවීම ආරම්භ කරලා ලංකාවට ආව පළවෙනි වතාවේ සුනිල් එදිරිසිංහ, දීපිකා ප්‍රියදර්ශනී, යූ. ඩී ආරියසිංහ කියන ගායික ගායිකාවන්ට මගේ ගීත ලබා දුන්නා. කියන්න සතුටුයි දයාන් වගේම ඒ හැමෝම මගේ ගීත ආදරෙන් පිළිගත්තා.. මම හයේ හතරේ ඒවා ගහලම ගීත මාධ්‍යයට පිවිසුණා..”

ලෝකයේ රටවල් බොහෝ සංඛ්‍යාවක සංචාරය කර ඇති ඔහු ලෝකේ රටවල්වලට සුභාවිත ගීතය ගෙන යෑමේ වෙනස්ම කටයුත්තක නියැලී සිටියි. ඔහුගේ ‘නිල් හීන’ කවි පොත පසුගිය වසරේ එළිදැක්වීම හා සමගාමීව එම ප්‍රසංගයන් ගම්පහ, කොළඹ හා නුවරද පැවැත්විණි.

“අන්න එහෙමයි මගේ ප්‍රේමය’ නමින් අලුත් කවි පොතක් නිකුත් වුණා.. මගේ ගීතවලට මම සංචාරයේ යෙදෙද්දී ලැබෙන අත්දැකීම්, මම ආගිය තැන් ඉබේටම ඇතුළත් වෙනවා..”

වැඩිපුර කාලයක් විදේශ රටවල වාසය කරමින් මෙරටට ගීත ලිවීම, තාක්ෂණයේ දියුණුව සමඟ අසීරු කාර්යයක් නොවුවත්, ගීත නිර්මාණයේදී දෙගුණයක් මහන්සි විය යුතු බව ඔහු පැවසීය. එලෙසම ඒ සඳහා වැය වන වියදම ද මෙරට සිට නිර්මාණයක් කරනවට වඩා මිලෙන් වැඩි බව ද ඔහු සඳහන් කළේය.

ගී පද රචකයෙකු ලෙසින් වැඩි ජනප්‍රියත්වයක් හිමි කර ගන්නට ඔහු සමත් වූයේ අමරිසිර පීරිස් මහතා ගායනා කරන මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක’ ගීතය සමඟිනි.

වර්තමානයේ සුනීර සුමංග ගායනා කරන
‘නෙළා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය,
බලා දුර හිඳ කතා නොකරම සුසුම් පපුවක සිර කිරීමය.’
ගීතය ද බොහෝ සේ ජනප්‍රිය වූවකි.

“මේ ගීතය මෑත ඉතිහාසෙය් ලියවුණු ආදරයට දැක්වුණු හොඳම නිර්වචනයක් කියලා ගොඩක් අය කියලා තිබ්බා.. මට හරිම සතුටුයි ආදරේට නිර්වචනයක් දෙන්න පුළුවන් වෙච්ච එක ගැන..”

තමන්ගේ ආදර හීන බිදුණු විට, පළිගන්නවට වඩා කළ හැකි දේ තිබෙන බව වර්තමාන ළමුන්ගේ හිස්වලට දැමිය යුතු බවත්, නිර්මාණයකින් විඥානයක් ලබා දිය යුතු බවත් ඔහුගේ අදහසයි.

“කලාකරුවෙක් කියන්නේ ඕනම කෙනෙකුගේ ඔළුව වෙනස් කරන්න පුළුවන් කෙනෙකුට... නරක පැත්තට, විරුද්ධ දිශාවට යන සමාජයක් ඇදලා බැදලා අල්ල ගන්න කෙනා තමයි කලාකරුවා කියන්නේ... ගීත කියන්නේ ඒ විදියට සමාජය යහපත් පැත්තට ගන්න පුළුවන් කලාකරුවෙක් භාවිතා කරන එක මාධ්‍යයක් විතරයි... කලාකරුවන් තමන්ගේ කොටස නිවැරදිව නොකරපු නිසා තමයි වර්තමානේ නාමික බුදුවරු බිහිවෙන්නේ, රහත්බව, සෝවාන්බව සල්ලිවලට විකුණන්න පුළුවන් කියන මට්ටමට එන්නේ.. ආදරයෙන් පැරදුණාම, ආදරේ කරපු කෙනාව මරලා දාන්නේ, නිරුවත් ඡායාරූප සමාජගත කරන්නේ.. ”

ගීත කලාවේ වර්තමාන ස්වභාවයත්,  කලාකරුවාගේ වගකීමත් පැහැදිලි කරමින් ජනප්‍රිය ගී පද රචක නාරද විජේසූරිය පැවසුවේය.
යලි කවි පොතක් නිර්මාණය කිරීම පසෙක තබමින් ඔහු මේ වන විට සූදානම් වන්නේ , සංචාරකයෙකු ලෙසින්, තමන් යන එන තැන්, දකින විඳින දේ වීඩියෝ හරහා බෙදා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්නටය. ඔහු මින් පෙර මතක පොත ලෙසින් නිර්මාණය කළ පොතෙහි දිගුවක්, දෙවැනි කොටසක් ලෙසින් ගෙන ඒමේ බලාපොරොත්තුවක් තිබෙන බව ද ඔහු පැවසීය. මේ දිනවල ශ්‍රී ලංකාවේ රැඳෙමින් ඔහු එම වැඩකටයුතුවල මුල් පියවර තබමින් සිටියි.

පවනි උමයංගනා