කාර් එක කළුයි සුදුයි නිසා, මාත් ඒ විදිහටම ඇඳුම් අදිනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනූ ද ? දිනුකි ද? එහෙම නැත්නම් තවත් නම් තියෙනවද?

අතපත්තු මුදියාන්සේලාගේ දිනුකි චමරිකා.  හැබැයි ගොඩක් අය කතා කරන්නෙ දිනූ කියලා.

දිනුකි හරි බිසි නේද?

මම විලසිතා වෙනුවෙන් නිරූපණ කටයුතු කරන ශිල්පිනියක්, ඉතින් ඒ නිසා ඒ වැඩ වෙනුවෙන් නිතරම බිසි. 

හිච්චි දිනුකිගෙ පළමු ටෙලි රංගනය නේද?

මගේ පළවැනි නාට්‍යය. ඊට කලින් කෙටි නාට්‍යයක රඟපෑවා. හැබැයි කවුරුවත් දන්නෙවත් නැති තරමෙ පුංචි කොටසක්. දීර්ඝ ටෙලි චරිතයක් රඟපාන පළමු නාට්‍යය හිච්චි.

කොහොමද ඒ අත්දැකීම?

මම මෙහි තිර පුහුණු පරීක්ෂණයට ගිය වෙලාවේ 250කට ආසන්න පිරිසක් ඇවිත් හිටියා. හිච්චි චරිතය වෙනුවෙන් අවස්ථාවක් ලබා ගන්න. ඒ සියලු දෙනා අතරින් මාව තේරීම ගැන ඇත්තටම සතුටක් තියෙන්නෙ. මා ඇතුළු 20 දෙනෙක් තෝරාගෙන සිටියා, ඒ අතරිනුත් අන්තිමට මාව තෝරාගැනීම ලොකු අවස්ථාවක්.

හිච්චිට ඔබම තෝරා ගන්න හේතුව?

කතාවේ හැටියට අධ්‍යක්ෂක සහ නිෂ්පාදක මහත්වරුන්ට අවශ්‍ය වුණේ වලව් පෙනුම ඇති තරුණියක මේ චරිතයට ගන්න. ඒ නිසා මාව ගන්න ඇති. හැබැයි පෙනුම විතරක්ම නෙවෙයි. හැකියාව නැත්නම් රඟපාන්නත් බැහැනෙ.

කාර් පදින්න හරි ආසලු නේද?

ස්පෝර්ට්  වර්ගයේ කාර්වලට මම ආසයි. දැන් මට තියෙන්නෙ ඒ පිස්සුව. කළු සුදු වර්ගයේ ස්පෝර්ට් කාර් එකක් අප්පච්චි මට අරන් දුන්නා. හැබැයි ඒකෙ දෙන්නටයි යන්න පුළුවන්. අම්මා මාත් එක්ක වැඩවලට යන්න එන නිසා අම්මයි මායි තමයි යන්නෙ. 

මේ ස්පෝර්ට් කාර් එක ගැන පෙම්වතා මොනවද කියන්නෙ?

එයාට වාහනයක් වෙනම තියෙනවනෙ. ඇත්තටම මට කාර් එකක් ගන්න හිතුණෙ මීට පෙර මම ගියේ කුලී රථවල. ඒවායේ ගණන් එක පාර වැඩිවුණා. සෑහෙන වියදමක් අපට දරන්න වෙනවා.  ඒ නිසා ඊට වඩා තමුන්ටම කාර් එකක් තියෙනවා නම් හොඳයි කියලා හිතාගෙන මේ කාර් එක ගත්තෙ. මම කලා කටයුත්තකට සහභාගි වෙලා ගන්න මුදලින් භාගයක් විතර ගියේ කැබ් රථවලට. ඒ ගැන හිතලා-හිතලා අප්පච්චිට කියලා තමයි මේ වාහනය ගත්තෙ. 

දැන් ඒ නිසා ලොකු ඉතිරියක් ඇති?

ලොකු ඉතිරියක් තියෙනවා. ඒ වගේම හරිම පහසුවක්.  නැත්නම් ස්ටයිල් එකක් ගැන හිතලා නෙවෙයි ගත්තෙ. හැබැයි ගනිද්දී ලස්සන කාර් එකක් නම් හොඳයි කියලා හිතුවා. 

කොහොම වුනත් කාර් එකට ගැළපෙන විදියටමලු දිනුකි ඇඳුම් අදින්නෙත් ??

එහෙමම නැහැ ඉතින්. කාර් එක කළුයි සුදුයි නිසා,  මාත් ඒ විදිහටම ඇඳුම් අදිනවා... 

හිච්චි නාට්‍යයේ විතරද රගපාන්නෙ ?

ඇත්තටම දින ලබාදීමේ ප්‍රශ්න නිසා මුලින්ම මේ නාට්‍යයේ වැඩ ඉවර වුනාම තමයි තව එකක් ගැන හිතලා බලන්නෙ. 

වැඩි දෙනෙක් කියන්නෙ නම්, දිනුකි වඩා සුදුසු සිනමාවට කියලයි ඒ ගැන හිතන්නෙ කොහොමද?

 මගේ උස පෙනුම නිසා වෙන්නැති එහෙම කියන්නෙ.  ඉතින් හොඳ ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යයෙන් බාර ගන්නවා. සිනමාවට මම ආසයි.

දිනුකි පෙනුමින් දඟකාර චරිතයක් වගෙයි පෙනෙන්නෙ? හැබෑවට ඔබ මොන විදියද?

පොඩි දේටත් හරිම සංවේදී වෙන චරිතයක්.  සතුටක් වැඩිපුර දැනුනත්, දුකක් දැනුනත් ඇඬෙන තරමේ චරිතයක්. හැබැයි බාහිරින් බලන අය හිතන්නෙ මම දගකාර චරිතයක් කියලා වෙන්නැති. හැබැයි එහෙම කෙනෙක් නම් නෙවෙයි.  බැන්නත්- වැඩිපුර ආදරේ දැනුණමත් අඩන තරමේ කෙනෙක්. 

සඳුන් ගමගේ