කුමාර සිරිවර්ධන කියන කලා ලොවේ රස කතා
ජීප් එක දැකලා මිනිස්සු බයවෙලා
සුමිත් තිත්තවැල්ගලගේ සපිරිවර කියන ටෙලි නාට්‍යයේ ෂූටිං මීගමුව ප්‍රදේශයේ තිබුණා. මේ නාට්‍යයේ මාලනී ෆොන්සේකා, ඩග්ලස් රණසිංහ, මොරින් චාරුණී, ජනක කුඹුකගේ, රිචඩ් මානමුදලි සහ මම ඇතුළු පිරිසක් තමයි රංගනයෙන් දායක වුණේ. එක දවසක් රූපගත කිරීම් 3ට විතර අවසන් වෙච්ච නිසා රිචඩ් කිවුවා අපි එහෙනම් අද හැන්දෑවට වැල්ලේ සෙට් වෙමු කියලා. මං ඊට උවමනා බඩු ටික වැල්ලේ ලෑස්ති කරන්නම් කියලත් කිවුවා.
ඒ නාට්‍යයේ මම රඟපෑවේ OIC කෙනෙකුගේ චරිතයක්. මගේ සාජන් විදියට රඟපෑවේ නිමල් යටිවැල්ල. අපිට ජීප් එකකුත් ආර්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් දීලා තිබුණේ. අපි ඉතින් තවත් පරක්කු වෙන්න ඕන නැති නිසා ඇඳගෙන ඉඳපු යුනිෆෝම් පිටින්ම ජීප් එකෙන් වැල්ලට ගියා.
අපිට කලින් රිචඩ් වැඩේ සූදානම් කරන්න කියලා ගිහිල්ලා හිටියේ. අපි ගිහිල්ලා ජීප් එක වැල්ලේ නතර කරා විතරයි. රිචඩ් කුණුහරුප වැලකුත් කියාගෙන අපි ළඟට දුවගෙන ආවා. අපිටත් කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව තග්බීරි ගැහිලා බලන් ඉන්න කොට තමයි රිචඩ් අපිට කතාව කිවුවේ. රිචඩ් වේලාසන ගිහිල්ලා බොහොම අමාරුවෙන් සුදුවා ගෙනල්ලා වැඩේ ලෑස්ති කළා විතරයි අපේ ජීප් එක දැකලා මිනිස්සු බයවෙලා දුවලා හොඳට සප්පායම් වෙන්න ගියපු අපිට අපේම වැරැද්දෙන් ඒ චාන්ස් එක නැති වුණා.
මෙයා අපේ සීයා වගේ
සුමිත් තිත්තවැල්ගල නිර්මාණය කරපු වාර්තා වැඩසටහනක මට රඟපාන්න ආරාධනා ලැබුණා. ආතර් වී දියෙස්ගේ චරිතය තමයි මට රඟපාන්න ලැබුණේ. එක දවසක් මේකප් ටෙස්ට් එකකට මම ගියා. මම ඉතින් මේකප් ටෙස්ට් එක කරලා එළියට ආවම ගෑනු ළමයෙක් කෑ ගහන්න ගත්තා මෙයා අපේ සීයා වගේ හරියටම හරි කියලා. බලනකොට මේ චරිතයට කලින් කීප දෙනෙක්ම ගෙනල්ලා ගැළපිලා නැහැ. මම ඊට හොඳටම ගැළපිලා. ආතර් වී. දියෙස්ගේ මිණිපිරී තමයි හරිම කෙනා තෝරන්නේ.
සනත් විමලසිරිට තෙල් සාත්තුවක්
මීට මාස දෙක තුනකට කලින් චරිත් අබේසිංහගේ චණ්ඩි කුමාරිහාමි ටෙලි නාට්‍යයේ රඟපාන්න ගියා. මේ අත්දැකීම රසවත් වගේම රඟපෑම ගැන අවබෝධයක් නැතිව ක්ෂේත්රයට එන අතිරේක නළුවන් නිසා අපිට විඳින්න වුණු දුෂ්කරතාවයක්.
එදා දවස පුරාම ෂූටිං තිබිලා අන්තිම ජවනිකාව විදියට මටයි සනත් විමලසිරිටයි තව අතිරේක නළුවෙකුටයි තමයි එකට රඟපාන්න තිබුණේ. දර්ශනය පටන් ගන්න කලින් අධ්යක්ෂ චරිත් අපෙන් ඇහුවා මේක එක ටේක් එකෙන්ම ගන්න ඕනේ නැත්නන් කලුවර වැටෙනවා කියලා. දෙබස් තිබුණේ අපි දෙන්නට විතරක් නිසා අපිට ඒවා පාඩම් නිසා අපි කිවුවා අපි එකපාරටම මේක ගමු කියලා. එහෙනම් දැන් ඔන්න අධ්යක්ෂවරයාගේ විධානයෙන් දර්ශනය පටන් ගත්තා. වැඩේ පටන් ගත්තා විතරයි අතිරේක නළුවා එකපාරටම පැනපු ගමන් සනත් විමලසිරිව බදාගත්තා. දැන් සනත්ට අතපය හොලවන්නත් බැහැ. හරියට රඟපාන්නත් බැහැ. මමත් කොහොම හරි සනත්ට රඟපාන්න පහසු විදියට ඔහුගේ පැත්තකින් අල්ලා ගත්තා. සනත් අතපය ගසලා දාන්න කොච්චර ට්‍රයි කළත් අතිරේක නළුවා ඉඩ දුන්නෙම නැහැ. කොහොම හරි ඒ ජවනිකාව අමාරුවෙන් ඉවර කරගන්තාට පස්සේ සනත්ව අල්ලන් හිටපු විදියට සනත්ගේ ඇගේ තෙල් ගාන්නත් වුණා.