කෑම කියන දේ ගැන මම ලොකුවට හිතන්නේ නැහැ. මට ලැබෙන දේ මොකක් වුණත් මම කනවා.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කුඩා කාලේ ඉඳලම අපිට කෑම කවන්න අම්මා ගොඩක් මහන්සි වෙනවා. ඒ හැම අවස්ථාවේම ශරීරයට හිතකර සෞඛ්‍ය සම්පන්න ආහාර අපිට ලබාදෙන්න වගේම ඒ කෑම රසට හදන්නත් අම්මා අමතක කරන්නේ නැහැ. අපිට කෑම එක්ක තියෙන ගොඩක් සුන්දර මතක අපේ පුංචි කාලෙත් එක්ක බැඳිලා තියනවා. කෑමත් එක්ක තියෙන සුන්දර රස මතක බෙදාගන්න අපි හැමෝම දන්නා හදුනන ජනප්‍රිය රංගන ශිල්පිනී "ඕලු" මංජුලා කුමාරි මෙවර සඳැල්ල අපිත් එක්ක එකතු වුණා. 

මංජුලා වැඩිපුරම කෑම ගන්නේ ගෙදරින්ද එළියෙන්ද ?

ගොඩක් වෙලාවට කන්නේ ගෙදරින්. සති අන්තයේ එළියෙන් කෑම ගන්න යන අවස්ථා තියෙනවා. ඊට අමතරව විශේෂ අවස්ථාවකදී එහෙම කෑම ගන්නේ එළියෙන් තමයි. 

එළියෙන් කෑම ගන්නව නම් මංජුලා මොනවද වැඩිපුරම කන්න කැමති ?

එක එක තැන් වල වෙනස් රස තියෙන්නේ. ගොඩක් වෙලාවට බුෆේ වලින් කන්නේ. එතකොට එක එක කෑම ට්‍රයි කරන්න, රස බලන්න පුලුවන්. එතකොට හැම වර්ගෙකම වගේ කෑම තියන නිසා ඒ ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා. කොත්තු වගේ දේවල් කන්න නම් මම ලොකු කැමත්තක් නැහැ. පිටි ජාති වැඩි නිසා.  

මංජුලා වැඩිපුරම කන්න කැමති අකමැති කෑම සහ බීම මොනවද ?

එහෙම විශේෂයක් නැහැ. බත් කනවා. බත් එක්ක ගොඩක් වෙලාවට චිකන්, මට්න්, මාළු වගේ මස් මාංශ වර්ග, සලාද, කොල මැල්ලුමක්, එළවලු එහෙම එකතු කරගන්නවා. පරිප්පු නම් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ වගේම එළියට කෑමකට ගියත් සැලඩ් වර්ග නම් හොයනවා. මොකද මම සැලඩ් වර්ග කන්න හරිම කැමතියි. අම්මා හදන චිකන් කරි එක වගේම අම්මා හදන ඕනෑම කෑමක් කන්න මම හරිම කැමතියි. පුඩින් වගේ දේවලුත් අම්මා හරිම රසට හදනවා. ඊට අමතරව පැස්ටා වගේ දේවල් ගෙදර හැදෙනවා. තව පැණි රස ජාති වලින් නම් චොක්ලට් වලට කැමතියි. බීම වර්ග වලින් නම් මම එක එක කූල් බීම ජාති බොන්න හරිම කැමතියි. ඉදලා හිටලා ගෙදර ජූස් එහෙම නම් හදනවා. හැමදාම නෙමෙයි. තව වතුර ගොඩක් බොන්න ඕන. නමුත් වතුර බොනවා නම් හරි අඩුයි. අකමැතියි කියලා විශේෂ කෑමක් නැහැ. ගොඩක් වෙලාවට ගෙදර මාළු කන නිසා මාළු වලට ලොකු කැමැත්තක් නැහැ. 

මංජුලා ගෙදර කෑම හදනවද ? ඒ මොනවද ?

ඔව් මම තමයි ගෙදර කෑම හදන්නේ. සාමන්‍ය විදියට ගෙදර බත්, පරිප්පු, චිකන්, මට්න්, කොළ වර්ගයක්, එළවළුවක් වගේ දේවල් මම හදනවා. චිකන්, මට්න් වගේ දේවල් හැමදාම නැතත් සතියකට සැරයක් දෙකක් හදනවා. රෑ කෑමට නම් ගොඩක් වෙලාවට පොඩි කෑමක් හදන්නේ. ගොඩක් වෙලාවට පැස්ටා හදනවා වැඩියි. 

මංජුලා කන්න කැමති, රස කෑම එකක් හදන විදිය රෙසිපි එකක් කියමුද බලන්න ?

මම විතරක් නෙමෙයි හස්බන්ඩ්, බබාලා දෙන්නා හරිම කැමතියි චිකන් කන්න. හැබැයි අම්මාට තරම් රසට හදන්න නම් බැහැ. අම්මා අත්දැකීම් අරගෙනම එයා හදන චිකන් කරි එක හරිම රසයි.  මමත් උත්සාහ කරනවා එයා හදන විදියට හදන්න. ඉස්සෙල්ලාම චිකන් ටික කපලා හොදට පිරිසිදු කරගන්නවා. ගෑරුප්පුවකින් ඒ චිකන් එක පොඩ්ඩක් කට් කරගන්නවා. ඊට පස්සේ මිරිස්, තුනපහ, කහ කුඩු ටිකක් චුට්ට චුට්ට මේ දේවල් එකතු කරගෙන සියඹලා ටිකක් පේස්ට් එක වගේ අරගෙන ඒකත් එකතු කරගන්නවා. ඒකටම විනාකිරි ටිකකුත් දාලා පැයක් විතර තියලා තියනවා. ඒ අතරේ මම බීළූණු ගෙඩි හතරක් විතර කපනවා. තව අමු මිරිස්, කරපිංචා, රම්පේ, සුදු ළූණු, අමු ඉගුරු යන දේවල් ටික කපලා අරගෙන බ්ලෙන්ඩර් කරනවා. පේස්ට් එකක් විදියට ආවම රසයි. එතකොට හොදි ගතියට වඩා උකුවට ග්‍රේවි ගතියට තියෙනවා. භාජනේකට තෙල් ටිකක් දාලා රත්වෙද්දී ඒකට අර පේස්ට් එක දාලා රන්වන් පාට වෙද්දී ලුණු චුට්ට්ක් දාලා ඒකටම කරදමුංගු කරාබු නැටි ටිකක් තලලා එකතු කරගන්නවා. එත්කොට සුවඳත් හොදට තියෙනවා. ඒකටම කහ කුඩු ටිකකුයි, තුනපහ ටිකකුයි දාලා රත් වුණාම සැරට කැමති නම් මිරිස් කුඩු තේ හැඳි දෙකක් තුනක් එකතු කරගන්නවා. ඊට පස්සේ පැයක් විතර තියලා තිබ්බ චිකන් එක තෙම්පරාදුවට එකතු කරලා වතුර මුකුත් නොදා ඒකෙන්ම තැම්බෙන්න තියනවා. එතකොට ඒකෙන්ම බැදෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් වතුර එකතු කරලා තැම්බෙන්න තියනවා. ටිකකින් ගෑරුප්පුවකින් ඇනලා බලනවා චිකන් ටික තැම්බිලාද කියලා. ඊට පස්සේ පොල් කිරි ටිකක් එකතු කරගෙන උයාගන්නවා. ඔය විදියට තමයි මම චිකන් කරි එක හදාගන්නේ.

හස්බන්ඩ් සහ බබාලා කන්න කැමති කෑම මොනවද ? එයාලගෙන් මංජුලා හදන කෑම වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

මම හදන චිකන්, මට්න් වගේ දේවල් කන්න හස්බන්ඩ් වගේම බබාලත් හරිම කැමතියි. මට්න් කන්න හස්බන්ඩ් ගොඩක් කැමතියි. ඒ වගේ දවස් වලට බබාලට කවාගන්නත් කරදරයක් නැහැ. මොනවා හැදුවත් හරිම ආසාවෙන් කෑම කනවා එයාලා. රසයි කියලා කියනවා වගේම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හස්බන්ඩ් වගේම බබාලත් මම හදන ඕනෑම කෑමක් කනවා. 

මංජුලා ගෙදර විශේෂ අවස්ථා වල හදන කෑම මොනවද ? 

එක එක අවස්ථාව අනුව හදන කෑම වෙනස් වෙනවා. සුදු බත් කන්න කැමති අයට ඒ විදියට හදනවා. නැත්නම් ෆ්‍රයිඩ් රයිස්, චිකන්, පරිප්පු, අල කරි, මට්න් බිරියානි, සැලඩ් වර්ග, බිත්තර වගේ සිම්පල් විදියට හදනවා. සමහර අවස්ථා වල පිරිස වැඩි වුණොත් එළියෙන් කෑම ගේන අවස්ථා තියෙනවා. ඒ අයත් මම හදන කෑම වලට හරි කැමතියි. කෑම හොඳයි කියලා කියනවා. එක එක වෙලාවට රසේ වෙනස්කම් ඇති වෙනවා. 

කෑමත් එක්ක මංජුලාට තියෙන අමතක නොවෙන සිදුවීම් මොනවද ?

ගොඩක්ම කෑම හදන්න ගිහින් හරි ගිහින් නැතුව අයින් කරපු අවස්ථා එහෙම නම් තියෙනවා. පුඩින් හදද්දී සීනි දාන්න අමතක වෙලා වැරදුණු අවස්ථා එහෙම තමා අමතක නොවෙන සිදුවීම් වලට තියෙන්නේ.

මංජුලා ඔය අතරේ සෞඛ්‍යය ගැන හිතනවද ?

මෙහෙමයි, මම ගොඩක් කෑම කන්න අවධානය යොමු කරන්නේ නැහැ. මොකද මගේ දවසේ ප්‍රධාන අරමුණ බබාලා දෙන්නට කෑම කවන එක. දවල්ට නම් බත් හොඳට කනවා. රෑට ගොඩක් වෙලාවට කෑම කැවෙනවා අඩුයි. ඉස්සර දිගටම එළවළු සුප් එකක් බිව්වා. දැන් ඒක බොන්න වෙලාවක් එන්නෙත් නැහැ. උදව්වට කෙනෙක් හිටියත් බබාලගේ වැඩ එක්ක ඒ දේවල් මගහැරෙනවා. ඉදලා හිටලා හවසට පොඩ්ඩක් ඇවිදිනවා. ඊට අමතරව ගෙදර වැඩ ටික කරනවා. වර්ක් අවුට් එකකට කියලා කරන්නේ ඒක තමයි.

ලබන අලුත් වසර පිළිගන්න මංජුලා මොනවගේ කෑමද හදන්නේ ? 

එදාට කැවිලි පෙවිලි හැදෙනවා නම් අඩුයි. හැම මාසෙකම පළවෙනිදටත් අපේ ගෙදර කිරිබත් හදනවා. ජනවාරි පළවෙනිදාට කිරිබත් එක්ක කෑම මේසයක් හදනවා. නමුත් එදාට ගෙදර කැවිලි පෙවිලි හදන්නේ නැහැ. සිංහල දෙමළ අලුත් අවුරුද්දට නම් ගෙදර කැවුම්, කොකිස් එහෙම හදනවා. මොකද අපේ රටේ මේ චාරිත්‍ර, නැකත් ගැන බබාලටත් දැනුමක් ලැබෙන්න ඕන. ඒ නිසා ඒ දේවල් අපේ ගෙදරම සිදුකරනවා. 

විදේශ සංචාරයන් වලදී රසවිදපු කෑම මොනවද ?

රටවල් නම් ගණනාවකම සංචාරය කරලා තියෙනවා. ඒ ඒ රටවල් වලට ආවේණික කෑම බීම රස විදින්න ලැබෙනවා ඒ රටවල් වල සංචාරය කරද්දී. ඒ කෑම වලටත් මම හරිම ආසයි. නමුත් ප්‍රධාන වශයෙන් ලංකාවේ කෑමට මුල්තැන දෙන්න පුලුවන්. මොකද අපි කොහෙ සංචාරය කරලා ආවත් ලංකාවේ කෑම කන්න බලාගෙනනේ එන්නේ. ඉතින් අපි පුරුදු වෙලා තියෙන ලංකාවේ රසට අපි හරිම කැමතියි. 

මංජුලාට කෑම ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද ?

කෑම කියන දේ ගැන මම ලොකුවට හිතන්නේ නැහැ. මට ලැබෙන දේ මොකක් වුණත් මම කනවා. එහෙම අරවා මේවා හොයන්නේ නැති තරම්. ඉස්සෙල්ලා කිව්වා වගේ දවසේ තියෙන ලොකුම අරමුණ බබාලා දෙන්නට කෑම කවන එක තමයි.

අමා අලහකෝන්