කඳුළු මතකයක් ගැන අශිකා මතසිංහ කියන කතාව
වෙනස් නොවී කෙනෙක්ට හැමදාම එක වගේ හැඩට ඉන්න ලැබෙන්නෙ හරිම කලාතුරකින්. ජනප්‍රිය නිළි අශිකා මතසිංහ කියන්නෙත් ඒ විදියට එදා වගේම අදත් වෙනසක් නොවී රූපය පවත්වාගෙන යන කෙනෙක්. අශිකා විවාහ වෙලා ඉන්නේ හමුදා නිලධාරියෙක් එක්ක කියලා ඇගේ ප්‍රේක්ෂක ඔබ දැනටමත් දන්නවා ඇති
අශිකා හමුදා නිල නිවාසයේ වාසය කරන කාලයේදි වුණු අමතක නොවන සිදුවීමක් ගැන පුවත්පතකට මෙසේ කියා තිබුණා.
"එයා අනුරාධපුරේ සේවය කරද්දී අපි හමුදා නිල නිවාසවලයි පදිංචිවෙලා හිටියේ. මේ සිදුවීම වෙද්දී අපේ චූටි පුතා ඉපදිලා මාස තුනයි. සුරේන්ද්‍ර පාපන්දු සෙල්ලම් කළා. ඉතින් දවසක් එයා පාපන්දු සෙල්ලම් කරමින් ඉඳිද්දි වැටිලා ඔළුව බිම තදින්ම වැදිලා තිබුණා. ඔළුව බිම වැදුණ ගමන් එයාගේ මතකය අමතක වෙලා. හැබැයි එයාට මගේ නම විතරයි මතකේ තිබුණේ. ඉස්පිරිතාලේ ගෙනිච්චත් මෙයා වෛද්‍යවරුන්ගෙන් ''මට ළමයි ඉන්නවද'' කියලයි අහලා තියෙන්නේ.
ඒ කාලේ අපේ අලුත් වාහනය ගත්තු අලුතමයි. මම ඒ වාහනය පැදලවත් තිබුණේ නැහැ. ඒ හැමදේම මට අමතක වුණා. මම ලොකු බබාලා දෙන්නව පිටිපස්සේ සීට් එකේ තිබ්බා. චූටිම බබාව ඉස්සරහින් ඩ්‍රයිවින් සීට් එකට එහා සීට් එකේ බිම කාපට් එකේ කොට්ෂීට් එක පිටින්ම තිබ්බා.කිසිම දෙයක් හිතන්නේ නැතිව මම එදා ඉක්මනටම සුරේන්ද්‍ර හිටපු තැනට ගියා. ඒ වෙද්දිත් කට්ටිය සුරේන්ද්‍රව පුටුවක වාඩි කරවලා ඔළුව හෙළවෙන්නේ නැතිවෙන්න පුටුවේ ගැටගහලා ගිලන් රථයකට නංවලයි තිබුණේ. කෑම්ප් එකේ ඉඳන් ඒ සෙල්ලම් පිටියට ටික දුරක් යන්න ඕනේ. හැබැයි එදා මම එතනට ගියේ කොහොමද කියලවත් අද මතක නැහැ. එද්දී නම් මට ඩ්‍රයිවර් කෙනෙක් ඒ අය දුන්නා. සුරේන්ද්‍රව ගිලන් රථයෙන් ගෙනියද්දී මට මුළු ලෝකයම නැතිවෙනවා කියලා දැනුණා. එයා මගේ දිහා බැලුවා. මාව අඳුරගත්තා. රෑ එකොළහමාරට විතර එයාට හොඳට පියවි සිහියත් ලැබුණා. ඒ කාලය ඇතුළත මම අනන්තවත් මැරි මැරී ඉපදුණා. මගේ මුළු ලෝකයම කඩා වැටුණා කියලා හිතුණා. දරු තුන්දෙනාව නිදි කරවලා මම බුදුන් සහ පත්තිනි මෑණියන් සිහිකරමින් වැඳ වැඳ මුළු රුයක් පුරාවට ඇහැරිලා හිටියා."