කැන්ඩි ළමිස්සිගෙන් රටක් නැලවූ මරියසෙල් එක්ක කතා කරමු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හිනැහෙමින්, හඬාවැටෙමින්, වැටෙමින්, නැගී සිටිමින් යන මේ දිගු ගමන තුළදී අපට හමුවන මිනිසුන් විවිධාකාරය. විටෙක අපි ඔවුන් අසල නවතිමින් යන ගමනෙහි ගමනාන්තය වෙනස් කර ගන්නෙමු. සමහර විටෙක ඒ සමඟ ගමනේ වේගය වැඩි වනවා සේම අඩුවනවාද විය හැක. එබැවින් අප නතරවන්නා වූ නවාතැන් ගැන වඩා හොඳ අවබෝධයක් තිබීම වැදගත්ය. තවත් නව වසරක් ඉතා ඉක්මණින් උදා වී ඇත. එබැවින්ය My Story සමඟ එක්වෙන ආදරණීයම ඔබට ඒ මතක් කිරීම. ඉතින් එහෙනම් කලාවේ සොඳුරු ඉසව්වක අපට හමුවී අපේ දුක් සංතාපයන් අමතක කොට ජීවිතය විඳින්නට කියාදුන් ආදරණීයම හිතක් එක්ක අදත් කතා කරමු.

හැත්තෑව දශකයේ, කණ්ඩායම් සංගීතයේ ආභාෂයද සමඟ මෙරට සංගීත වේදිකාවට පැමිණි කැන්ඩි ළමිස්සි හමුවන්නටයි අද මේ සූදානම. ඇය ශෙරිල් මරියසෙල් ගුණතිලක නම් වන්නීය. "මම ඉපදුණේ නුගේගොඩ. මගේ තාත්ති ව්‍යාපාරියෙක්. ඔහු විජේභද්‍ර ගුණතිලක. අම්මි සෙල්වියෝ මොරින්. මට ඉන්නෙ එකම එක නංගි කෙනෙක් විතරයි. ඇය ඉන්නේ විදේශ ගතවෙලා. නංගි ශිරාණි. සංගීතය, ගායනය, වාදනය, නර්තනය කියන මේ හැමදෙයක්ම පවුලෙන්ම ආව දේවල් අම්මි, තාත්ති වෘත්තිය විදියට කලාවේ නොයෙදුණාට ඉතා ඉහළ කලා රසයක් තිබුණා එයාලට. ඉතින් ඒ ඔස්සේ ඒ දේවල් නිරායාසයෙන්ම මටත් ආවා. හැබැයි මගේ එකම නංගි නම් කලාවට කිසිම සම්බන්ධයක් නැහැ. ඇය ඉන් බැහැරවයි හිටියේ."

පවුල තුළින් ලැබුණ ආභාෂයද සමඟ කලාවට පෙම්බැඳි ඇය ඉතා කුඩා වියේදීම සංගීත ලෝකයට අවතීර්ණ වූවාය. එයට ඈ අධ්‍යාපනය ලැබූ පාසලක් බොහෝ සෙයින් බලපාන්නට ඇත. පාසලේ ඇය තරමක් දඟකාර චරිතයක් වුවද විෂය බාහිර හා විෂය සමගාමී කටයුතු සියල්ලද මැනවින් කරන්නට උත්සුක වූවාය.

 

"මම ඉගෙන ගත්තේ නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකාවේ. ගෙදරදි නම් ගොඩක් දඟයි. නමුත් පාසලේදී මා ඉතා හොඳ දරුවෙක් ලෙසයි ගුරුවරුන් හඳුනාගෙන සිටියේ. ඇත්තටම කිව්වොත් පාසලේදී මගේ ජීවිතය වුණේ සංගීතය. එයින් තොර වෙන ලෝකයක් මට තිබුණේ නැහැ කියලා කිව්වොත් හරියටම හරි. සමූහ ගායන කණ්ඩායමේ මම හිටියා. ගොඩක් අවස්ථා මට ලැබුණා. මට ලැබෙන හැම අවස්ථාවම මම භාර ගත්තෙත් නැහැ. මගෙ නිදහස තියාගෙනම තමයි මම වැඩ කළේ. අද වගේම ඉස්සරත් මම ගොඩක් නිදහස් චින්තනයක් තිබුණ කෙනෙක්. සංගීතයට මගෙ ලොකු ඇල්මක් තිබුණනෙ. හැබැයි මම ගීත ගයන්න ජනප්‍රිය වෙන්න නොවෙයි යම් හැදෑරීමක් කරන්න තමයි කැමැත්තෙන් හිටියේ. වයස අවුරුදු 10දි විතර තමයි මම සංගීතයට ආවේ. මම ඉදිරිපත් වුණා තරගයකට. ඒක ඔබ්සවර් ටැලන්ට් සර්ච්. (Observer talent Search) 1970 වසරේදී. ඒ තරගයේදී මම 'ජූනියර් Section' එකේ පළමුතැන ලබාගත්තා. ඊටපස්සේ මට ළමා ගායක කණ්ඩායමක් සමඟ ගීත ගායනය කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ කණ්ඩායම "ජූනියර් රිද්මියස්" ඉන්පසු මට තව තව අවස්ථා හිමිවුණා. 1976 දී වගේ තමයි මම කැන්ඩි ළමිස්සි කළේ. ඒකත් ඇත්තටම හිතේ ඇතිවුණ ආශාවක් නිසයි කළේ. මොකද මට ඩැල්රින්ගෙ පටිගතකිරීම් (ඩැල්රින් සුඛි) දැකලා තිබුණා. ඒ දැකීමත් එක්ක තමයි මටත් ගීතයක් කරන්න කැමැත්තක් ඇතිවුණේ. ඒ නිසා කැන්ඩි ළමිස්සි ගීතය පටිගත කරන්න අවස්ථාව ලැබුණා. 

ඩැල්රින් සහ මිනෝන් දෙන්නම තමයි මම ගොඩක් අනුගමනය කළේ. ඒ අභාෂය තුළින් තමයි ගීත ගායනයට මම ආවේ. එයාලා ගීත ගායනා කරන විදිය වේදිකාවේ ඉදිරිපත් කිරීම් කරන විදිය  හරි ‍වෙනස් විශේෂයෙන්ම මිනෝන් ගැන කියන්නම ඕන. ඇයට පුළුවන් සම්පූර්ණයෙන්ම ක්‍රමවත්ව සංගීත සංධ්වනියක්, කණ්ඩායමක් මෙහෙයවන්න. ඉතින් බටහිර ආරට ප්‍රිය කළ මා හට ඔවුන් දෙදෙනාගේ ආභාෂය අතිශයින්ම බලපෑවා. පසුකලකදී මා මුලින් සඳහන් කළ ගීත ගායනා තරගයට ඉදිරිපත් වීමත් එක්කම එවකට ශ්‍රී ලංකාවේ දක්ෂ ජනප්‍රිය ශිල්පීන්ව දැන හඳුනාගන්න මට අවස්ථාව ලැබුණා. ලතා වල්පොල, ඇන්ජලීන් ගුණතිලක, සුජාතා අත්තනායක, එච්.ආර්.ජෝතිපාල, එම්.එස්. ප්‍රනාන්දු වගේ බොහෝ දෙනෙකු මට හඳුනාගන්න ඉඩ ලැබුණා.
1976 වසරේදී කැන්ඩි ළමිස්සි ගීතය රසිකයින් අතරට යෑමත් සමඟ මරියසෙල් ගුණතිලක යන නාමය ශ්‍රී ලාංකික සංගීත ලෝකය තුළ ලියැවෙන්නට විය. ගීතය පදරචනය සහ සංගීතය ඇගේ අතින්ම නිර්මාණය විය. "මේ ගීතය Cotton Feels ගීතයේ තනුව ආශ්‍රයෙන් තමයි මම නිර්මාණය කළේ. නමුත් ඒ රිද්මයට වඩා මෙය ගොඩක් වෙනස්. කැන්ඩි ළමිස්සි තැටිගත කරලා ගුවන් විදුලියට දුන්නා. නමුත් ප්‍රචාරයට අනුමත වුණේ නැහැ. ඒ සිදුවීමේදී මම කාටවත්ම චෝදනා කරන්නෙ හෝ දොස් කියන්නෙ නෑ. ඒ වනවිට ගීත ප්‍රචාරය සිදුවුණේ ප්‍රමිතියකින් යුක්තව. ඊට බලපෑ කරුණු ගණනාවක් තිබුණා. කැන්ඩි ළමිස්සි ගීතය බටහිර ගීතයක් ලෙස ගන්නත් බැහැ. සිංහල ගීතයක් ලෙස ගන්නත් බැහැ කියන දේ ඔවුන් ප්‍රකාශ කළා. නමුත් ගීතය ඉදිරියට ගියා. ජනතාව ආදරයෙන් එය වැළඳගත්තා. කැන්ඩි ළමිස්සි මගේ සංගීත ගමන තුළ සුවිශේෂි කඩඉමක් වුණා."

මම ඒ කාලෙදි "Midnight Mist" සංගීත කණ්ඩායමේ ගායිකාවක ලෙස තමයි හිටියේ. මම කොහොමත් බටහිර ශෛලියට තමයි පුරුදුවෙලා හිටියේ. මම කොහොමත් බටහිර ශෛලියට තමයි පුරුදු වෙලා හිටියේ. මම ඉන්ද්‍රානි පෙරේරාව හමුවී තිබුණා. නමුත් ඒ වෙද්දී ලතා අක්කලා (ලතා වල්පොල) එහෙම දැනගෙන හිටියට හමුවෙලා තිබුණේ නැහැ. ඉතින් කැන්ඩි ළමිස්සි තැටිගත කිරීම සහ ප්‍රසංගවලට ගායනා කිරීම එක්ක සංගීත ලෝකය තුළ එතරම් දුරක යන්නට හිතේ නොතිබුණත් මට හැකියාව ලැබුණා. රණමොණරා සහ ලෝකෙ වටේ කියන ගීත දෙකත් මේ කැන්ඩි ළමිස්සි තැටියට ඇතුළත් වුණා. බටහිර ශෛලියට ප්‍රිය කළත් මම සිංහල ගීතත් නිර්මාණය කළා. ගැයුවා. නමුත් මේ ශෛලීන් දෙකම මම කරගෙන ආවා එකට. එකක්වත් අත නොහැර. 1980 විතර වෙනකල්ම මම බටහිර සංගීතය එක්ක රැඳුණා කියලා කිව්වොත් තමයි හරි.

ආරම්භයේ සිටම මරියසෙල් ගුණතිලක ගායිකාවක ලෙස බොහෝ විවේචනවලට ලක්වූවාය. හිත රිදෙන හඬා වැටෙන කඩා වැටෙන බොහෝ තැන්වල ආදරණීය දෙමව්පියෝ ඈ ළඟින්ම සිටියහ. එය ඇගේ ජීවිතයට විශාල අත්වැලක් විය. විවේචනය කළ, ප්‍රතික්ෂේප කළ බොහෝ තැන් පසුකලෙක ඈ වෙනුවෙන් විවෘත වූයේ ගායිකාවක, සංගීතවේදිනියක ලෙස ඈ සතු වූ දක්ෂතාව නිසාමය.

"මම චිත්‍රපට පසුබිම් ගායනයට එක්වුණේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ "ආදර රත්නේ" චිත්‍රපටයෙන්. ආචාර්ය අජන්තා රණසිංහ ලියූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ "ජුබිලි සුපානෝ" කියන ගීතය මම ෆ්‍රෙඩී සිල්වා සමඟ ගායනා කළා. චතු මධුර, චලිත රංගාලි වගේ චිත්‍රපට හයකට විතර තමයි මම ගීත ගැයුවේ. ගැයූ චිත්‍රපට අතුරෙන් "ආදරණීය වස්සානය" වෙනුවෙන් ගැයූ ගීතය අතිශයින්ම ජනප්‍රිය විය. උපුල්ශාන්ත සන්නස්ගල ලියූ සමන්ත පෙරේරා සංගීතවත් කළ

"කුමරාණෙනි නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායද හිනැහෙන්නේ
මල්යායම නෑ දන්නේ
ඔබේ අසඟින් බලා
සනසන්න මගේ සිහිනේ"

ඒ හඬ දැනෙන්නේ හදවතටමය. ඇගේ හඬට ආදරය කරන සුවහසක් වූ රසික පරපුර වෙනුවෙන් මේ වනවිට ඇය ගීත 500ක් පමණ ගායනා කොට ඇත. එකම ශානරයකට කොටු නොවී ඇය ගැයූ ගීද, ප්‍රසංග වේදිකාවේ කරන්නා වූ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම්ද සමඟ මරියසෙල් ගුණතිලක යනු කැංකේය ගීත යායේ පිපි සුගන්ධවත් පැහැපත් පුෂ්පයක් බව නොකියාම බැරිය.

 

"ජීවිතය කියන්නේ ජය පරාජය දෙකටම. අපි සිතන පතන හැමදේම ඒ විදියටම සිද්ධ වෙන්නෙ නැහැ. ජීවිතේ සිදුවෙන හැම දෙයක්ම පාඩමක් කරගත්තම හරි. ප්‍රේමය ආදරය තුළ මටත් හිමිවීම් අහිමිවීම් තිබුණා. ප්‍රේමයේදී අපි අන්ධ වෙනවා. අපි මුලින් දකින කෙනා නෙවෙයි කල්ගත වෙද්දී ඉන්නේ. නමුත් මා කාටවත් චෝදනා කරන්නෙ බනින්නෙ නැහැ. මොකද මගෙත් අඩුපාඩු, දුර්වලතා තිබුණා. ඒ සියල්ල අතීතයට භාරයි. මම විවාහ වුණේ එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙක් එක්ක. නිවාඩුවක් ගත කරන්න මම ලංකාවට ආවේ. නමුත් හැලහැප්පීම්, ගැටලු රැසක් ඇතිවුණා. එනිසාම මම නැවත ගියේ නැහැ. ඒ වෙද්දී මට පුතාව ලැබෙන්න හිටියේ. මම එයා එක්ක ලංකාවේ තනිවුණා. ජීවිතයේ නොයෙකුත් වේදනාවන් කලකිරීම් ඇතිවුණා. සමහර තැන්වලදී ජීවිතය අතහරින්න හිතුණා. ඒත් මට පුතාගේ මූණ දකිද්දී ඒ ඔක්කොම අමතකයි. එයා නිසයි මම ජීවත් වුණේ.

ඈ රටක් සනසන්නට ගී ගය අතරේ සංගීතය ඉගැන්වීමද කරන්නීය. පවත්නා වසංගත හා ආර්ථික අපහසුතා කාලය තුළ එය යම් තරමකට අඩාලව ඇතත් මේ වසරේ නැවත විධිමත්ව ඈ එය අරඹන්නට අපේක්ෂා කරන්නීය. ටෙෂාන් ඇන්තනි ගුණතිලක රෙසිල් ආදරණීය පුත්‍රයාගේ සාර්ථක හෙට දවස ඇගේ ප්‍රාර්ථනයයි. නව වසරේ ඇගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවායි හදසර අපි ආදරණීය සුපැතුම් එක්කරමු.

රෝස මල් යහන් - රන් මාළිගා තුළින්
සංගීත ලොවට ඉගිලුණා නොවේ
දුක් වේදනා දරන් - කඳුලැල් සුසුම් හෙළා
මේ ගමන ආවේ හිමින් සීරුවේ...

සංගීත ලොවට මතු නොව සමස්ත ජීවිතයටම මේ ගීතය අදාළ කරගෙන අපිත් 2023 වසරේ පරිස්සමට අඩි තබා යමු.